මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත, හෙවත්, ආන්දෝලනාත්මක ''ඔන්ලයින් සේෆ්ටි'' පනත එළැඹෙන 23 සහ 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය. මීට අදාළ පනත් කෙටුම්පත සැප්තැම්බර් 15 ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර ඔක්තෝබර් 3 වැනිදා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් විසින් සභාගත කෙරිණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසක් අතර පවත්වා තිබිණි. එහිදී එම පිරිස මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පෙන්වා දී තිබුණේ මෙම පනත ගෙන ඒමේදී පාර්ශ්වකරුවන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදුකළ යුතුව තිබූ නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී ඇති බවත්, මෙම පනත තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇහිරීමත්, දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශන පිළිබඳව තීරණ ගැනීම සිදුවන බවත්ය.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා ඇත්තේ මෙම පනත ගෙන ඒම 2016 වර්ෂයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත්, අධිකරණ අමාත්‍යවරුන් දෙදෙනකු යටතේ ක්‍රියාත්මක වූ, නීති කොමිසම විසින් මෙම පනත සකස් කර ඇති බවත්ය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය තමා වෙත පැවරූ බවද ඒ අනුව තමා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද, මාර්ගගත ක්‍රම හරහා වින්දිත භාවයට පත්වන කාන්තාවන් ළමුන් ඇතුළු පිරිස්වලින් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යන බැවින්, මෙම පනත හරහා ඔවුනට සිදුවන පීඩා අවම කිරීමට අරමුණු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත යනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද සකස් කරන ලද පනත් කෙටුම්පතකි.
බීබීසි නිව්ස් සිංහල වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාව තුළ කිසියම් සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම, අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා සිදු කිරීම, අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරුල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම මෙම පනත මගින් වැරදි ක්‍රියා ලෙස සඳහන් කර තිබේ.
මෙම පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති පුද්ගලයකු බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකටම යටත් කිරිමේ හැකියාව ඇති අතර. සේවා සපයන්නන්හටද දඬුවම් කිරිමේ හැකියාවද ඇත. එමඟින් සේවා සැපයිම අඩාල වීමේ අවදානමක් ඇතිවිය හැකිය. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ව්‍යපාරවල නිරත පුද්ගලයන් හටද මෙම පනත හරහා ගැටලු ඇතිවීමේ ඉඩක් පවතියි. පනතට අදාළ කොමිසමේ සියලු සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවීම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන තවත් කරුණකි. (මූලාශ්‍රය බීබීසි නිව්ස් සිංහල)
මෙම පනතට තමන් විරුද්ධ බවට විපක්ෂයේ බොහෝ පක්ෂ නිවේදනය කර තිබේ. ඒ අතර ආසියා ශාන්තිකර කලාපයේ සේවා සපයන අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම් එකතුවක් වන ආසියානු අන්තර්ජාල හවුල (Asia Internet Coalition) ද ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට යන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. මෙම පනත කිසිදු හවුල්කරුකුගේ උපදේශනයකින් තොරව, විසම්මුතිය හා ශ්‍රී ලංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් කරන කුරිරු ක්‍රියාවලියකට මඟපාදන්නක් බව එහි සඳහන් විය. සිය සේවාවන් භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් බැරූරුම් ලෙස සැලකිලිමත්වන බවත්, නීති නිර්මාණය කිරීමේදී කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙසත් ඔවුන් රජයට යෝජනා කර තිබිණි. එමෙන්ම මෙවැනි නීති මඟින් ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් ආර්ථිකයට බලපෑමක් ඇති නොකරන ලෙසද ඔවුහු ඉල්ලා තිබිණි.
මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී එය අභියෝගයට ලක් කරමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ඇතුළු පෙත්සම්කරුවන් 45කට වැඩි පිරිසක් වෙනුවෙන්, නීතිඥවරුන් 31 දෙනෙක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.
“පනත් කෙටුම්පතේ 11 සහ 12 වගන්තිවලින් ඉතා පුළුල් බලතල කොමිසමට ලැබෙන අතර එම බලතල අධිකරණයේ කාර්යභාරයටද අත පොවන බවද පැමිණිල්ලේ නීතිඥයෝ කියා සිටියහ. කොමිසමට ඔවුන්ගේ අභිමතය පරිදි තහනම් හෝ වැරදි හෝ ප්‍රකාශයක් සන්නිවේදනය කළ ඕනෑම පුද්ගලයකුට හෝ අන්තර්ජාල සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට හෝ දැන්වීම් සහ විධාන යැවීමට හැකියාවක් ඇති බවයි. එයට අමතරව පනත් කෙටුම්පතේ 11 ඊ සහ ඌ වගන්ති යටතේ වෙබ් අඩවි අවහිර කිරීම, නිශ්චිත මාර්ගගත ස්ථානවලට අන්තර්ජාල සේවා නොසපයන ලෙස සේවා සපයන්නන්ට විධාන කිරීම වැනි පුළුල් බලතල කොමිසමට ලැබෙන බව පැමිණිල්ලේ නීතිඥයෝ සඳහන් කළහ. කොමිසම විසින් මෙවැනි බලතල ඔවුන්ගේ අභිමතය පරිදි පාවිච්චි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 12 සහ 144 උල්ලංඝනය කිරීමක් වේ.” යනුවෙන් පැමිණිල්ලේ නීතීඥයන් කරුණු ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව අධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දන්වන තුරු පනත අනුමත කිරීමට අවසර හිමිවූයේ නැත. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් මතුකළ විරෝධයෙන් පසු එහි නීතිමය වලංගුභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැහැදිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පසුගියදා පාර්ලිමේන්තුවට දන්වා තිබූ අතර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා එම තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත කළයුතු බවත්, වගන්ති කිහිපයක් යෝජිත සංශෝධනයන්ට යටත්ව පනත් කෙටුම්පතෙහි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ප්‍රකාශ කොට තිබේ. එලෙස සංශෝධනයට ලක් කළ යුතු වගන්ති වන්නේ අංක 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53 හා 56 යන වගන්තිය.
ඉහත කරුණුවලට යටත්ව, පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කරන අතර, ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබිණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සමීක්ෂණයක් කර තිබේ. එම සමීක්ෂණය අනුව 56%ක් ප්‍රකාශ කර ඇත්තේ එම පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බවයි. සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව තමන් දැනුම්වත් යැයි සමීක්‍ෂණයට සහභාගි වූවන්ගෙන් 34% ප්‍රකාශ කර තිබේ. එම පිරිසෙන් අයගෙන් 56%ක් සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස ඉන් අවම වන බවයි. ඉන් වැඩි වෙනසක් සිදු නොවන බවට 25%ක් ප්‍රකාශ කර ඇති අතර 19%ක් පවසා ඇත්තේ සමාජ මාධ්‍ය අවභාවිත වීම ඉන් අවම වන බවටය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා