පාසල් මට්ටමේ විභාග මෙන්ම රජයේ ඕනෑම විභාගයක් පැවැත්වීමේදී විභාග දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමුකරයි. එසේම කිසිදු අපේක්ෂකයකුට විභාග වංචාවක් සිදුකරන්නට ඉඩක් නොමැති බව අවධාරණය කරයි. එහෙත් ඇතැම් විභාග අපේක්ෂකයන් හා පුද්ගලයෝ සිය වංචාව හසු නොවෙතැයි සිතා කටයුතු කරති. මෙසේ සෑම වසරකම අඩු වැඩි වශයෙන් විභාග වංචා වාර්තාවේ. එකී වංචාවල නිරත වී නීතියෙන් දඬුවම් විඳ නිකරුණේ ජීවිතය අඳුරු කරගත් අය බොහෝය. මෙවර මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පන්නා ඇතැයි කියන කතාවය.
1968 අංක 25 දරන විභාග පනත අනුව විභාග ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයකි. ප්‍රශ්න පත්‍රය සකස් කළ අවස්ථාවේ සිට විභාගය පැවැත්වෙන දින විභාගය ආරම්භ වී මිනිත්තු 30ක් ගතවන තෙක්ම තත්ත්වය එසේය. එසේම විභාග පනත ප්‍රකාරව වංචා කරන අයට එරෙහිව දඬුවම් නියම කොට තිබේ. නීතිය එසේ වුවද අපේක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයකු පෙනී සිටීම, විභාග නිරීක්ෂකයන් විසින් අපේක්ෂකයන්ට අනුබල දීම, දුරකතනයෙන් තොරතුරු හුවමාරු කිරීම, නවීන තාක්ෂණික මෙවලම් භාවිතය දැනට වාර්තා වී ඇති බරපතළ සිදුවීම් කිහිපයකි.
මේ වනවිටත් 2023 උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබේ. කොතැනකවත් විභාග වංචාවක් සම්බන්ධයෙන් වාර්තා නොවූ පසුබිමක හදිසියේ වාර්තා වූයේ උසස් පෙළ කෘෂි විද්‍යා II ප්‍රශ්න පත්‍රය පන්නා ඇති බවකි. එම විභාගයේ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය පවත්වා තිබුණේ ඉකුත් 08 වැනිදාය. II ප්‍රශ්න පත්‍රය පවත්වා ඇත්තේ 10 වැනිදාය. අදාළ ප්‍රශ්න පත්‍ර දෙකම විභාගය පැවැත්වීමට මත්තෙන් අන්තර්ජාලයේ වට්ස්ඇප් හරහා හුවමාරු වී තිබෙන බව වාර්තා වී තිබේ.
මේ අතර නොසිතූ මොහොතක එකී ප්‍රශ්න පත්‍රයේ ඡායාරෑපයක් උපකාර පංති පවත්වන ගුරුවරයකු අතට පත්ව තිබිණ. ඔහු අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන කෙනෙකි. මොහු එම ප්‍රශ්න පත්‍රය සිය අත්අකුරින් පිටපත් කරවාගෙන තම උපකාරක පංතියේ දරුවන්ට ලබා දී අනතුරුව සිය මුහුණු පොතේ පළකරවා ඇත. ඒ සමඟම අදාළ ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට සැකයක් මතුවී තිබේ. විභාග දෙපාර්තමේන්තුව හරහා පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත්තේ ඒ අනුවය. සැකකාර ගුරුවරයාට ප්‍රශ්න පත්‍රය ලැබී ඇත්තේ වෙනත් පාර්ශ්වයක් මගිනි. ඔවුන් මෙවර විභාගට පෙනී සිටින අපේක්ෂකයන් බවට තහවුරු කරගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. වැඩිදුර විමර්ශනයේදී හෙළිවී තිබුණේ මිතුරන් කිහිප දෙනකු හරහා ප්‍රශ්න පත්‍රය සංසරණය වී තිබෙන බවකි.
දිගින් දිගටම සිදුකළ විමර්ශනයේ කෙළවර මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු ළඟ නතර වූවේය. ඔහු 38 හැවිරිදි අයෙකි. මේ අතර උසස් පෙළ විභාගයට අයත් කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය මොරටුව මහා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයෙන් පන්නා තිබෙන බවද හෙළිකර ගැණින. එහිදී හඳුනා ගැනුණේ ඉහත කී 38 හැවිරිදි පුද්ගලයා එක්තරා විද්‍යාලයක පැවති විභාග මධ්‍යස්ථානයක ශාලාධිපතිවරයාගේ සහායකයා බවය. එම තැනැත්තා ශාලාධිපතිවරයාගේ හිතවත්කමට සේවයට පැමිණ තිබුණි. මොහු සේවයේ සිටියදී විභාග මධ්‍යස්ථානයට ප්‍රශ්න පත්‍ර ලැබීමෙන් පසුව කාර්යාල සහායකයා එහි මුද්‍රා කඩා ප්‍රශ්න පත්‍රය පිටතට ගෙන ජංගම දුරකථනයෙන් ඡායාරෑපයක් ලබාගෙන එම ඡායාරෑපය ඔහුට හිතවත් සිසුවෙකුට වට්ස්ඇප් මගින් යවා ඇති බව විමර්ශනයේදී හෙළි කරගෙන ඇත. අනතුරුව එම සිසුවා විසින් අදාළ ප්‍රශ්න පත්‍රය හිතවත් මිතුරන් අතර බෙදාහැර ඇති බවද අනාවරණය වී ඇත. එසේ ලබාගත් සිසුවකු විසින් එම ඡායාරෑපය වෙනත් පිටස්තර සිසුවකු වෙත යවා තිබේ. ඒ ඔස්සේ එය අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සැකකාර ගුරුවරයා වෙත ලැබී තිබෙන බව හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
තවදුරටත් විභාගය පැවැත්වෙමින් ඇති නිසා ප්‍රථමයෙන් ප්‍රශ්නපත්‍රය ලබාගත් සිසුවාගෙන් වැඩිදුර ප්‍රශ්න කොට නැති බව වාර්තා වේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත. 52 හැවිරිදි එම ගුරුවරයා ගුරු වෘත්තියට පැමිණ වසර 20ක් පමණ වන බවත් මීට වසර 15ක පෙර සිට උත්තර පත්‍ර පරීක්‍ෂාව හා විභාග පරීක්ෂක වශයෙන් සහභාගි වන බවත් කියා ඇත.
විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි 2016 සිට 2019 කාලය තුළ විවිධ මට්ටමින් විභාග වංචා හසුකර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සමත්ව ඇත. ඒ අනුව උසස් පෙළ විභාගය පැවැත්වීමේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව අතර 2016 වසරේදි 856 ක්ද, 2017 වසරේදී 459 ක්ද, 2018 වසරේදී 288 ක්ද, 2019 වසරේදී 567 ක්ද විය. එම පැමිණිලි විභාග කිරීමෙන් පසුව පිරිසකගේ විභාග ප්‍රතිපල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 2016 වසරේදි 244ක්ද, 2017 වසරේදී 205ක්ද, 2018 වසරේදී 119ක්ද, 2019 වසරේදී 71ක් එසේ අත්හිටුවා ඇත.
සැකකාර ගුරුවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශය නිසා විභාග දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමෙන් පසු කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සහ දෙවැනි කොටස නැවත පැවැත්වීමට තීරණය කර ඇත. ඒ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස පෙබරවාරි මස 01 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙයි. එහි පළමු කොටස පෙබරවාරි මස 01 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා නැවත පැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
I සමන්ත ප්‍රදීප් විල්තෙර