2024 ජනවාරි 20 වන සෙනසුරාදා

මැතිසබය ගිනියම්වූ දවසේ මෙහෙයුම

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 124

 විශ්‍රාම යන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ අතීත මතකය 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක, මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් ධුරවලට අමතරව තුන්වැනි බලධාරියා වන්නේ වේත්‍රධාරීවරයාය. එසේම පාර්ලිමේන්තුවේ බලාධිකාරියේ සංකේතය වන සෙංකෝලය නිල වශයෙන් දැරීමේ සහ ආරක්ෂා කිරීමේ පරම බලය සහ වගකීම ඇත්තේද වේත්‍රධාරීවරයාටය. වසර 42ක රාජකාරී කාලයට නිල වශයෙන් සමුදෙමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මෙම මස 30 වැනිදා ඉසිඹු ලැබීමට නියමිතව සිටී. ඔහුගේ දීර්ඝ සේවා කාලයේ ලැබූ සුවිශේෂී අත්දැකීම් ඇසුරෙන් ඔහු දේශයට කළ විශේෂ අනාවරණය ඇතුළත් මේ ලිපි මාලාව ඒ නිමිත්තෙනි. 

නල්ලුරුවේ උපන් ඩබ්ලිව්.එස්.එම්. ප්‍රනාන්දු පියාට සහ වාද්දුවේ උපන් එස්.එම්. සමරසූරිය ප්‍රනාන්දු මවට දාව වර්ෂ 1964 ජනවාරි 31 වැනිදා කොල්ලුපිටියේදී ජන්ම දායාදය ලැබූ නරේන්ද්‍ර මිහිඳු කුමාර ප්‍රනාන්දු දරුවාගේ පාසල් කාලයේ නිවහන වූයේ පාමංකඩ සුවිශුද්ධාරාම මාර්ගයේ නිවෙසකි. එහි සිට කොළඹ ඉසිපතන විද්‍යාලයට ඇතුළත් වූ මිහිඳු දරුවා වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීය. පාසල් කාලයේ යහළු යෙහෙළියන් ඇතුළු හැමෝම ඔහු ඇමතුවේ මිහිඳු යන නමිනි. වාණිජ අංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානමින් සිටි අවධියක මිහිඳු තරුණයාට මුලින්ම ලැබෙන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක කනිෂ්ඨ විධායක ශ්‍රේණියේ රුකියාවක්‍ වශයෙන් ක්‍රිකට් සෙල්ලම් කරන්නටය. එහෙත් දෛවය ඔහුට සෙල්ලම් කරන්නට ඉඩ නොතැබුවේය.  ඒ වෙද්දී මිහිඳුගේ පියාණන් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නියෝජ්‍ය සංස්කාරකවරයකු වශයෙන් වැඩකර විශ්‍රාම ගොස් සිටියේය. මිහිඳු පාර්ලිමේන්තුවේ ලිපිකරු දෙවැනි ශ්‍රේණියේ පුරප්පාඩුවකට සම්මුඛ පරීක්ෂණයකට ගියේ පියාගේ පෙරුත්තටය. සම්මුඛ පරික්ෂණයට ගිය මිහිඳුට එවක පාර්ලිමේන්තුවේ මහලේකම් වී සිටි නිහාල් සෙනවිරත්නයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉදිරියේ ළදරුවකු මෙන් දණගසන්නට සිදුවිය. එසේ දණගැසූ ඔහු යළි සිට ගත්තේ සම්මුඛ පරික්ෂණය අවසානයේ පාර්ලිමේන්තුවේ දෙවැනි ශ්‍රේණියේ ලිපිකරුවකු හැටියට පත්වීම් ලබා සිත සතුටිනි.

ඔහු පවසනුයේ එතැනින් ඇරඹුණු පාර්ලිමේන්තු ගමන ඉනිමඟක් සේ ක්‍රමයෙන් නැග වැල් පාලමක ගිය ගමනක් බවයි. ලිපිකරු තනතුරින් ඇරඹුණු ගමන පරිපාලන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) වශයෙන් උසස්වීම් ලබා සිටියදී වෘත්තීය සුදුසුකම් සහ පෙනුම සැලකිල්ලට ගෙන සහකාර වේත්‍රධාරී ධුරයට අයැදුම් කරන්න පාර කියූවේ එවකට පාර්ලිමේන්තුවේ මහලේකම් වී සිටි ධම්මික කිතුල්ගොඩ සහ එස්.බී. ජයසේකරයන්ය.

පරිපාලන දෙපාර්තමේන්තුවෙන් වේත්‍රධාරියකු වූ 3 වැනියා නරේන්ද්‍ර ප්‍රනාන්දු නම් අපේ කතානායකයාය. පළමුවැනියා වූයේ මෙරට බැබලුණු වේත්‍රධාරීවරයකු වූ රොනී අබේසිංහ සහ දෙවැන්නා වූ විජය පල්ලියගුරුගේය. 2000 වසරේ සහකාර වේත්‍රධාරී වී ඉන්පසු පුරප්පාඩු උසස්වීම් පටිපාටිය අනුව 2006 නියෝජ්‍ය වේත්‍රධාරීද, 2018 අගෝස්තු 30 වැනිදා වේත්‍රධාරී තනතුරටද පත්වූ නරේන්ද්‍ර ප්‍රනාන්දු 1947 සිට එදා මෙදාතුර පාර්ලිමේන්තුවෙ 6 වැනි වේත්‍රධාරිවරයා වන්නේය.

“මම 2018 වසරේ සිට මේ දක්වා වේත්‍රධාරී ධුරය දැරුවා. වැඩ කරද්දී අභියෝග බාධක ආවේ නැතුවාම නෙමෙයි. ඒත් ඒ හැම අවස්ථාවකම මම ඒ අභියෝගවලට මුහුණ දුන්නා. නියෝජ්‍ය වේත්‍රධාරී ඇතුළු මගේ කාර්ය මණ්ඩලය මට ඔවුන්ගේ උපරිම සහාය ලබාදුන්නා. මගේ වැඩ සාර්ථක වුණේ ඔවුන්ගේත් ශක්තිය නිසායි.” අප කතානායකයා පැවසූයේ එසේය. ඔහුගේ ජීවිත කතාව මතකයට නැගූ අවස්ථාවේදී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සංවේදී වූ අතර දෑසින් කඩාහැලුණු කඳුළු කැට අතරේ ඔහු පැවසූයේ ඔහුගේ සෑම ජයග්‍රහණයක් පසුපසම සිය පියා සෙවණැල්ලක් මෙන් සිටින වග දැනෙන බවයි. 

2018 වසරේ නොවැම්බර් මස 15 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ සහ පාර්ලිමේන්තු ඉතිහාසයේ නොමැකෙන දිනයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර බලය නොමැති බවට විශ්වාසභංග යෝජනාවක් මගින් සම්මත වූ දා සාමකාමී ලෙස වේදිකාවෙන් බැසයාමට පිරිසක් මැලිවූහ. එදින පැවති කලබගෑනිය සම්බන්ධයෙන් හැන්සාඩ් වාර්තාවේද සඳහන් වී තිබේ. රූපවාහිනී තිරයෙන් ජනතාව දුටුවේ උත්තරීතර කතානායක අසුනේ මන්ත්‍රීවරයකු වාඩි වී සිටින බවයි. තවත් පිරිසක් සටන්පාඨ කියමින් සභා ගැබ දෙවනත් කරද්දී වතුර බෝතල්, හැන්සාඩ් වාර්තා මැතිසබේ සිසාරා පියඹා ගියේ ඒ කළු පැල්ලම තව තවත් ජාත්‍යන්තරය හමුවේත් ඉස්මතු කරමිනි. වේත්‍රධාරීවරයා ලෙස නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එදින තම අත්දැකීම මෙසේ දිගහැරියේය. 

“එදා පාර්ලිමේන්තුව පවත්වන්න යනකොට පාර්ලිමේන්තුව පවත්වන්න ඉඩ දුන්නේ නෑ. කතානායක පුටුව වටකරගෙන පාර්ලිමේන්තුව සභා ගර්භය මැදට ඇවිත් යන පාර හරස්කර තිබුණා. අපි ඒ අවස්ථාව රූපවාහිනී තිරය මගින් දුටුවා. මැතිසබේ සාමාන්‍යයෙන් ඝණ පූර්ණ සීනුව නාද කරන්නේ විනාඩි 5යි. එදින විනාඩි 5ටත් වඩා යනවා. මම සෙංකෝලය අරගෙන නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී සමගින් අපිට ආරක්ෂාව තියෙනවා කියල හිතලා ලොබියෙ රැඳිලා හිටියා. මට මතකයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවක විපක්ෂයේ සිටියේ. ඔහු මගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා වේත්‍රධාරී ඔබතුමා මොකක්ද කරන්න යන්නේ කියලා. මම කිව්වා “සර්, මම මේ කතානායක හමුවන්න යන ගමන් ඉන්නේ. ගිහින් මේකට අවශ්‍ය පියවර ගැන කියන්නම්” කියලා. රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේ මට කිව්වා “වෙරි ගුඩ්” කියලා. මම කතානායක කාර්යාලයට යද්දී 20ක් විතර කාමරයේ හිටියා. මම ගියාම මගෙන් කතානායක ඇහුවා නරේන්ද්‍ර, අපි දැන් මොකද කරන්නේ? රැස්වීම පවත්වනවාද? නැද්ද? අපි රුස්වීම පවත්වනවා මම කිව්වා. එතකොට කතානායකතුමා පුදුමයෙන් වගේ ඇහුවා අපි කොහොමද ඉතින් රුස්වීම කරන්නේ? මම ඉල්ලීමක් කළා මට මේකට හිතන්න ඕනෑ. පොඩි වෙලාවක් දෙන්න කියලා. ඒකට කලින් මට මුලින්ම දෙයක් කරන්න ඕනෑ. ඒ මේ කාමරේ ළඟ ඉන්න පිරිස ඉවත් කරන්න කියලා. මම එහෙම කිව්වාම කතානායකතුමා ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඇතුළු දෙදෙනකු පමණක් ඉතිරිකර අසල සිටි පිරිස ඉවත් කළා.

මම කතානායකතුමාගෙන් ඇහුවා මේ තත්ත්වය එක්ක ඔබතුමා පාර්ලිමේන්තුවට යන්න එනවද කියලා. “මම හමුදාවෙ හිටපු නිලධාරියෙක්. ඔයා මට කියන්න. මම එන්නම්. මට ප්‍රශ්නයක් නෑ.” කතානායකතුමා පැවසුවා. මම හිතනවා මේ මට ඒ ලැබුණු හයිය පිටුපස මගේ පියා සිටියා කියලා. ඒ ශක්තිය මට ලැබුණේ පියාගෙන්.

මම කතානායකතුමාට කිව්වා මට මේ වෙලාවෙ පොලීසිය ඕනෑ. ඒකට අවසර දෙන්න පුළුවන්ද කියලා. කතානායකතුමා වාචික අවසරය දෙන්න හදද්දී මම කිව්වා මට වාචික බෑ. ලිඛිත අවසරයක් ඕනෑ කියලා. එතකොට ව්‍යවස්ථාදායක අංශයේ අධ්‍යක්ෂ හිටියේ එච්.ඊ. ජනකාන්ත. ඔහු පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල උදේට එදින කාර්යාවලිය ගැන කතානායක දැනුවත් කරන්න පැමිණෙනවා. ඔහු හැකි ඉක්මනින් ලිඛිත දැනුවත් කිරීමක් හැදුවා. ඒ ස්ථාවරය අරගෙන ඒ කාලයේ පාර්ලිමේන්තු පොලිසියේ අධ්‍යක්ෂ හිටියේ සරත් කුමාර. ඔහු කැඳවා මා ඉල්ලුවා කාන්තා පිරිමි දෙපැත්තෙන්ම පොලීසියේ 40ක් ඕනෑ කියලා. හැබැයි බඳපටි, තොප්පි, ලාංඡන කිසිම දෙයක් නැතිව ඇඳුම පමණකින් සමන්විත නිලධාරීන්. ඒ වෙලාවෙ කතානායකතුමා මගෙන් ඇහුවා ඔයා මේ 40 කින් මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ වෙලාවෙ ආරච්චි හිටියෙ විද්‍යාරත්න. මම කිව්වා මම මුලින්ම කතානායකතුමාට ඉඳගන්න පුටුවක් යවනවා ආරච්චි අතේ. ආරච්චිට මම කිව්වා ඔයා මේ පුටුව අරගෙන ගිහින් තැනක් පෙන්නුවා එතැනම තියන්න ඕනෑ කියලා. ඊළඟට පොලිස් වළල්ලක් දැම්මා. ඒක ඇතුළෙ තමයි මම සෙංකෝලය අරගෙන යන්නෙ. මගේ පිටුපසින් තව වළල්ලක් දාලා කතානායකතුමා ගේනවා.

මේක කිව්වාම කතානායකතුමා ඇහුවා පාර්ලිමේන්තුව ඇතුළට කොහෙන්ද යන්නේ? යන්න බෑනෙ. මම කිව්වා මට යන්න ස්ථානයක් තියෙනවා. මම ඒක කියන්න හදද්දී අතුරලියේ රතන හිමියන් එම ස්ථානයට වැඩියා. රතන හිමියන් කතානායකතුමාගෙන් ඇහුවා දැන් යනවාද කියලා. මම කිව්වා යන්නෙ නෑ කියලා. දැන්ම යන්න බෑ කියලා. ඒක දැනගෙන රතන හිමියන් කාමරෙන් පිටවී ගියා.

ඊටපස්සෙ කතානායකතුමා මගේ මූණ දිහා බලාගෙන ඇහුවා ඇයි ඔයා ඒම කතාවක් කිව්වෙ කියලා. මම ඊටපස්සෙ කතානායකතුමාට කිව්වා මගේ ප්ලෑන් එක කාටවත් දෙන්න බෑ. ඒක ඔබතුමාගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා. කතානායක කාමරයට සැරින්සැරේ මැති ඇමැතිවරුන් ඇවිත් ඇහුවාමත් මම කිව්වේ ඇතුළට යන්න බැරි නිසා යන්නෙ නෑ කියලා.''

දෙවැනි ලෝක යුද්ධයට නොදෙවැනි මෙහෙයුමේ සැලසුම නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා තවදුරටත් මෙසේ හෙළිදරව් කළේය. 

“කතානායක පාර්ලිමේන්තුව ඇතුළට ගිහින් කතා කරන්නේ කොහොමද කියලා මම ඊළඟට සැලසුම් කළා. ඒ වෙලාවෙ සම්බන්ධීකරණ ඉංජිනේරු හිටියෙ ලලිත් අධිකාරි. ඔහු ගෙන්වා ඇහුවා දුරස්ථ මයික්‍රෆෝනයක් ඇතුළෙ පද්ධතියට සම්බන්ධ කරල දෙන්න පුළුවන්ද කියලා. ඔහු ඒකට අවශ්‍ය පියවර ගැනීමෙන් ඒ ගැටලුවත් විසඳුණා. මගෙන් කතානායකතුමා ඇහුවා කොහෙන්ද යන්නෙ කියලා. මට එළියට පේනවා ඇතුළෙ ගාලගෝට්ටියක්.

මම කිව්වා අපි ලොබියෙන් ඇවිත් පළවැනි විපක්ෂ පැත්තෙ ලොබි දොරෙන් ඇතුළුවෙමු කියලා. ඒ වැඩේ සාර්ථක වුණා. මහ ලේකම් මණ්ඩලයවත් නොදැන අපි ඇතුළු වුණා. හැමෝම පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. මේක තනිකරම මම වේත්‍රධාරී විදිහට ගත්ත ආරක්ෂක ක්‍රියාමාර්ගයක්. ඒ විදිහට ගිය අපිට පොඩි ප්‍රශ්නයකට හිටියෙ ආරච්චි ගෙනගිය පුටුව. පුටුව තියන්න තිබූ තැන නෙමෙයි වෙන තැනක තියලා තිබුණේ. ඊටපස්සෙ ඒ පුටුව ඔවුන් අතට ගිහින් ඔවුන් පුටුවෙනුත් ගැහුවා. ඒකෙන් මාවත් පැත්තකට වැටුණා. සෙංකෝලය තබන මේසය පෙරලුවා. පොත් විසි කළා. ඒ වගෙ තර්ජනාත්මක ලොකු දෙයක් ඇතුළෙ වුණා. අපි පාර්ලිමේන්තුව විනාඩි 7ක් පැවැත්වුවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට උදවු කරන්න සේවා සහායකයන් 12 දෙනකු ඉන්නවා. කතානායකතුමාට ඉඳගන්න පුටුවක් නැතිව ඔහු ඉන්දවූයේ පාර්ලිමේන්තුවේ සේවා සහායකයකුගේ පුටුවක. ඔහු ඒ පුටුවෙ කිසිම ප්‍රතික්ෂේප කිරීමකින් තොරව නිහතමානීව ඉඳගත්තා. නැවත විනාඩි 7 අවසන් වෙලා එළියට යද්දි අපි ඉක්මනින් එළියට ගිහින් විදුලි සෝපානයකින් ගිහින් පවතින තත්ත්වය සමනය වෙනකල් පාර්ලිමේන්තුවෙ පොලිස් අධ්‍යක්ෂගෙ කාමරයේ මුල්ලක විනාඩි 45ක් විතර රුඳී සිටියා. ඒ අතරතුර කතානායකගෙ නිලරථය වෙනුවට පොලිස් ජීප් රථයක දමා නිල නිවෙසට පිටත් කළා.''

“ඒ වෙලාවෙ මගේ කාර්යය වුණේ පාර්ලිමේන්තුව බාධාවකින් තොරව පැවැත්වීම විතරයි. මේ සිද්ධිය මගේ ජීවිතයේ මම මුහුණ දුන් අමාරුම අත්දැකීමක්. ඒකට මම සාර්ථකව මුහුණ දුන්නා. නිලධාරීන් වෙන අපිට පක්ෂ අදාළ නෑ. අපි කරන්නේ නීතිය. මම හිතනවා මේක මේ ලෝකෙ කිසිම වේත්‍රධාරියකු මෙම අත්දැකීමට මුහුණ දී තියෙනවා දැයි සැකසහිතයි. මේ සිද්ධිය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වී තිබුණා.” නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එසේ පැවසූයේය.

(මැතිසබේ වෙන්නට ගිය මහා විනාශය වැළකුණු හැටි. ලබන සතියේ දේශය කියවන්න.)

I සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02