2024 ජනවාරි 20 වන සෙනසුරාදා

නාරම්මල ඝාතනය

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 231

පොලිස් මූලස්ථානයේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අතර තුරදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් සිදුවූ දෙවැනි මිනිස් ඝාතනය වාර්තා වී තිබේ. පොලිස් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

කුරුණෑගල නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී කළ වෙඩි තැබීමකින් මෙසේ පුද්ගලයකු මියගොස් තිබුණේ ඉකුත් 18දා සවස් යාමයේදීය. එදින පස්වරු 6.30 ට පමණ වෙඩිතැබීම සිදුවී තිබෙන බව වාර්තා වේ. වෙඩි ප්‍රහාරයෙන් අලවිට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු පියකු මියගොස් තිබෙන අතර ඔහු වෘත්තියෙන් කාර්මිකයකු බව කියැවේ.

වාර්තා වන ආකාරයට මියගිය පුද්ගලයා ඔහුට අයත් ලොරි රථයෙන් කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ඔස්සේ සිය නිවෙස වෙත ගමන් කරමින් සිට ඇත. ඒ මොහොතේ නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයේ මෙහෙයුමක යෙදී සිටි සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් රථය නවත්වන ලෙස අණකර ඇත. නමුත් රියැදුරා රථය නොනවත්වාම ධාවනය කර ඇති නිසා උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු ලොරි රථය පසුපස යතුරුපැදියකින් හඹාගොස් ඇත. පසුව දම්පැලැස්ස හංදිය ආසන්නයේදී ලොරි රථය නවත්වා ගෙන තිබෙන අතර පරීක්ෂා කිරීමට උත්සාහ ගෙන ඇත. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහාත් සැකකරු පාලනය කර ගැනීමේ අදහසිනුත් ගිනි අවිය එල්ලකර සිටීමට පොලිස් නිලධාරියා ක්‍රියාකර ඇත. එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුට වෙඩි වැදී ඇතැයි කියති.

සිදුවීම අසළ රැඳී සිටි පිරිසක් දැක තිබෙන අතර වෙඩිතැබූ නිලධාරියා සමඟ ඔවුන් වාද කර ඇත. ඒ අවස්ථාව කෙනකු ජංගම දුරකතනයකින් පටිගත කරගෙන තිබේ. කලබලය මැද අපහැදිලි හඬක් වුවද එහි මෙසේ අසන්නට ලැබේ.

“මූ මැරෙන්න ඇති නේද ? අනේ නෑ අපි එහෙම හිතාගෙන ආවේ නෑ. එහෙම කියන්න එපා සත්තු නෙවේනේ. බල්ලො බලල්ලු නෙවේනෙ ඔහොම මරලා දාන්න. ඔයාලා මාර මනුස්සයෝනේ....''

මේ කතාව වෙඩිතැබූ පොලිස් නිලධාරීන් හා සිද්ධිය සියැසින් දුටුවන් අතර වූවකි. එසේම මේ ප්‍රකාශයද සිද්ධිය ඇසින් දුටුවන්ගේය.

''මාර අත්වැරදීම් එව්වා... පොලීසියෙන් ආවා. අර මල්ලි නැවැත්තුවා. මෙතැන ඇවිල්ලා නැවැත්තුවාට පස්සෙ පිටිපස්සෙ සීට් එකේ ඉඳපු එක්කෙනා ඇවිල්ලා ගැහුවා. ඊළඟට අනිත් එක්කෙනා ඇවිල්ලා කුණුහරුපයක් කියලා වෙඩිතිබ්බා ඔළුවටම'' 

කවුද වෙඩි තිබ්බෙ? ''වෙඩි තිබ්බ එක්කෙනා පස්සෙ අපි දන්නෙ පොලිසියෙන් කියලා. සිවිල් හිටියෙ. ඇවිල්ලා වෙඩි තිබ්බා. ඊටපස්සෙ නැවැත්තුවෙ නැත්තෙ ඇයි කියලා වෙඩි තිබ්බෙ කියලා කිව්වා...''

නවත්වද්දී ලොරිය ධාවනය වෙමින්ද තිබුණෙ? ''නෑ, නෑ. බයික් එක නැවැත්තුවා ආපු ගමන්. එතකොට මේ ලොරියත් නැවැත්තුවා ඇවිල්ලා. පිස්ටල් එක අතින්ම ලෝඩ් කරගත්තා. මෙතෙන්ට ආවා. කුණුහරුපෙකුත් කිව්වා, කියලා තිබ්බා ඩොග් ගාලා. එකයි. එහෙමම කොල්ලා ලොරියෙ වැටුණා. ලේ පාර ඔහොම්ම ලොරිය යටින් ගලන් ගියා. පොලිස්කාරයො ආවා, ජීප් එක ආවා. පොලිස්කාරයා දාගත්තා, ගියා. ලෙඩා මේක ඇතුළෙ. පැය බාගෙකට විතර පස්සෙ තමා අරන් ගියෙ...''

වෙඩිවැදුණු තැනැත්තා රෝහල් ගතකොට තිබුණේ සෑහෙන වෙලාවක් ගතවූ පසුවය. මේ අනුව කියැවෙන්නේ වෙඩි වැදීමෙන් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවකි. පොලිස් වෙඩි පහරකින් එම පුද්ගලයා මියගිය සිද්ධියෙන් පසු දම්පැලැස්ස හංදිය අසලටත් පසුව නාරම්මල පොලීසිය ඉදිරිපිටටත් රුස්වූ මියගිය අයගේ හිතවතුන් ඥාතීන් හා ප්‍රදේශවාසීන් නිසා නාරම්මල පොලීසිය ඉදිරිපිට කලහකාරී තත්ත්වයක් උදාවිය. එම අවස්ථාවේ පැවති වර්ෂාවද නොතකා සිද්ධියට විරෝධය පළකරමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් නාරම්මල පොලීසිය ඉදිරිපිට එදින රාත්‍රියේ රැස්වී කළහකාරී ලෙස හැසිරීම නිසා මේ උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි.

රුස්වූ පිරිස පොලීසියේ ගේට්ටු කඩා බිඳ දමා දේපළවලට හානි කළහ. එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබුණි. මේ අතර සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට විමර්ශනයක් ක්‍රියාත්මක අතර මියගිය පුද්ගලයාගේ පවුල වෙනුවෙන් සහන සැලසීමට පොලීසිය මාර්ගයෙන් කටයුතු කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය වාර්තා කළේය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03