නස්රුදීන්ගේ කතාන්දරයකට අනුව ඔහුගේ රජ්ජුරුවෝ අලුත් නීතියක් පැනවූහ. නගරයට ඇතුළුවන දොරටුව අසල එල්ලුම් ගසක් සවිකරන ලද අතර එතැනින් ප්‍රවේශ වන පුද්ගලයන්ගෙන් නගරයට එන හේතුව අසා එය අසත්‍යයක් බව හෙළි වුවහොත් එල්ලා මරණ බව ප්‍රසිද්ධ කර තිබුණි. නගරයට එන වැසියන්ගේ කතාව ඇත්තදැයි රාජපුරුෂයෝ පරීක්ෂා කරන්නේ කෙසේද? නගරයට එන සියලුම දෙනාට මැරුම්කන්නට සිදුවූ බව නස්රුදීන් කියයි. පසුව මෙය මහා විපතක් වූ පසු නස්රුදීන්ම නගරයට ඇතුළුවන්නට උත්සාහ කළේය. රාජපුරුෂයෝ ඔහු අල්ලා ඇතුළුවන හේතුව ඇසූහ. “මම එල්ලා මැරෙන්න යනවා” නස්රුදීන්ගේ උත්තරය අනුව එය අසත්‍යයක් නම් එල්ලන්නට සිදුවේ. එල්ලා මරන්නට තීරණය කළහොත් සත්‍යයක් බවට පත්වේ. නීති පනවන විට සිදුවන ව්‍යාකූල පැති පාලකයන් සලකා බැලිය යුතු බව මෙයින් උගන්වයි.
නස්රුදීන් ජීවත් වූ කාලයේ හා සමාන ඔහු වැනි නිර්භීත මිනිසුන් මෙරට වෙසෙති. ආණ්ඩුවේ නරක නීති ගැන ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන නමුත් පාලකයන්ට දැනෙන්නේ නැත. භාණ්ඩාගාරයට එකතු කරගත යුතු මුදල හැර මනුෂ්‍ය වටිනාකම් ගැන ආකල්ප නිලධාරීන්ට හෝ ආණ්ඩුවට නැත. බදු නොගෙවීම අපරාධයක් බව තීරණය කරන අණ පනත් සකස් කිරීමට සූදානම් වීම මෙහිදී සලකා බැලිය යුතු බරපතළ තත්ත්වයකි.
බදු නොගෙවීම වරදක් බව දැනටත් වලංගුය
ආණ්ඩුවට නිත්‍යනුකූලව අය කරගත හැකි බදු නොගෙවීම ඉදිරියේ අලුත් අණ පනත් අවශ්‍ය නැත. දැනටත් බදු නොගෙවන පිරිස සොයා නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේ. ආදායම අනුව බදු ගෙවිය යුතු කණ්ඩායම හඳුනාගත නොහැකිවීම ආණ්ඩුවේ වරදකි.
අධිකරණයේදී පෙනී සිටින නීතිඥයන් අය කරගන්නා නඩු ගාස්තුව වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම අනිවාර්ය කරන්නට නොහැකි ඇයි? වෛද්‍යවරුන්, ටියුෂන් පන්ති වෙනුවෙන් අය කරන ගාස්තු සඳහා අදාළ ලියාපදිංචියක් සහිත බිල්පතක් ඉල්ලා සිටින්නට පාරිභෝගිකයන්ට නොහැකි වී ඇත්තේ මන්ද? බස් රථයක ගමන් කරන මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට අයිතියක් තිබේ. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම දඬුවම් නියම කළ හැකි වරදකි. ධාවනය කරන බස් රථ අතරින් ඉතාම සුළු කොටසක් පමණක් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර ඒවා ද අතරමගදී ගොඩවෙන බස් මගීන්ගෙන් මුදල් පමණක් එකතු කර ගනී. ධාවනය වන බස්වලට ප්‍රවේශපත් නිකුත් කරන නීතිය ක්‍රියාත්මක කරගන්නට නොහැකි ආණ්ඩුවක් පොදු ජනතාව බදු නොගෙවීමේ වරදකට කොටු කරන්නේ කෙසේද?
යුක්තිය හා සාධාරණත්වය රටට තිබිය යුතු ගුණාංගයකි. ජනතාවට නඩු පවරන නීති හදන්නට කලින් ජනතාව පත් කළ මහජන නියෝජිතයන් සියලුම දෙනා බදු ලිපිගොනු නඩත්තු කිරීම පිළිබඳව හෙළි කළ යුතුය. මැතිවරණයකට තරග කරන අවස්ථාවක වත්කම් ප්‍රකාශ කළ යුතු බවට නීතියක් ඇති රටක පත්වූ පසු පවා වත්කම් නිසි පරිදි හෙළි කරන මැති ඇමැතින් ගණන විශාල නැත. එසේ තිබියදී බදු ලිපිගොනු නඩත්තු කිරීම හා වත්කම් අනුව බදු ගෙවීම ප්‍රශ්න කරන නීති හදන්නට සදාචාරාත්මක අයිතියක් තිබේද?
රටට ඇති නස්පැත්තිය ඉහළ සිට පහළටම
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය අද පවතින අතිශය නරක තැනට පත්වීමට මූලික හේතු ගණනාවක් තිබේ. තමන්ගේ වගකීම් හා යුතුකම් සලකා යුක්තිගරුක ලෙස ජීවත් නොවීම ප්‍රධානය. ඉහළ සිට පහළටම දූෂණය, නාස්තිය, අයුතු සම්පත් ප්‍රයෝජනයට ගැනීම වැනි කරුණුවලදී වරදකරුවෝ වෙති. අතීතයේ සිටි මහත්වරු රජයේ දේපළ රාජකාරිවලට පමණක් භාවිත කළහ. නිල වාහනය පෞද්ගලික වැඩවලට යොදා නොගත් අතර ඇතැම් විශිෂ්ට නායකයෝ නිල ගමන්වලදී සිය පවුලේ අයකු සම්බන්ධ වුවහොත් අතින් මුදල් ගෙවා රජයේ ගිණුම් පියවූහ. අනෙක රජයෙන් දෙන මුදල් වියදම් නොකළේ නම් ඒවා ආපසු භාරදුන් අවස්ථා තිබේ. දැනට මෙවැනි සිරිත් නොදන්නා දේශපාලනඥයන් සිටින සමාජයක පහළ තලයේ ජන කොටසට පමණක් බදු ගෙවන ලෙසට බල කළ හැකි පසුබිමක් නැත.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පමණක් නොව විපක්ෂයේ පිරිස පවා තමන්ට වාසස්ථානයක් තිබියදී නිල නිවාස හෝ ඒවායේ දීමනා ලබාගනිති. ඡන්දයෙන් පරාජය වූ පසුව ද සෑහෙන කාලයක් වරප්‍රසාද භුක්ති විඳින අතර නඩු පවරා නිවාසවලින් ඉවත් කරන්නටත්, විදුලිය හා ජල බිල්පත් අය කරගන්නටත් සිදුවී තිබේ. මහජනතාව නිසියාකාරයෙන් බදු ගෙවිය යුත්තේ මෙම පැවැත්ම සඳහා බව නොරහසකි. තමන්ගේ නායකයන් ගැන ප්‍රසාදය හීනවෙමින් පවතින අතර ඊළඟ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන්නේ නැති බව අවධාරණය කරන පුරවැසියන්ට එවැනි තීන්දු ගන්නට සිදුවූයේ මන්ද යන කාරණය පාලකයන් අධ්‍යයනය කළ යුතුය.
ආණ්ඩුවක පැවැත්මට බදු අවශ්‍යය. මල නොතලා රොන් ගන්නා සේ අය කරගත යුතු බව හුවා දක්වා තිබේ. තලා පෙලා බදු අය කරන රටක අභිවෘද්ධියක් අපේක්ෂා කළ නොහැක. ලෝකයේ අනෙක් රටවල ජනතාව නිසි පරිදි බදු ගෙවන අතර එයට සමාන ප්‍රතිලාභ සමාජය අත්පත් කරගනී. මහජනතාව ගෙවන බදුවලින් බදු රහිත ජීවිතයක් ගත කරන අතරවාරයේ නොගෙවන ජනතාව එල්ලන්නට තීන්දු කිරීම ද බරපතළ අපරාධයකි.
අලුත් විධිවිධාන අවුල් ජංජාලයක් බවට පත්ව ඇත
බදු ගැන අලුත් ආන්දෝලනයට පසුබිමක් තිබේ. රජයේ ආදායම පහත වැටී ඇති අතර වියදම ඉහළට නැග ඇත. වියදම පාලනය කරන්නට පියවර නොගන්නා ආණ්ඩුව වියදම ආවරණය කරගැනීම සඳහා තවත් ආදායම් මාර්ග සොයමින් සිටී. රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන පසුබිමක අනුගමනය කළ හැකි එකම ක්‍රමය බදු නොවේ. ලෝකයේ අනෙක් රටවල් ආර්ථිකය ප්‍රසාරණය කරන අතර එය උදෙසා අලුත් ආයෝජන නිර්මාණය කරනු ලබයි. තව තවත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කරන්නට ඉඩ පහසුකම් සපයන අතර එම ප්‍රමාණය වැඩිවන හේතුවෙන් උපයාගත හැකි ආදායම ඉහළ නගී. ජනතාව මත බදු පනවන ආණ්ඩුව ඒවා ඉවසාගත නොහැකිව සිටින අතරවාරයේ සියලුම දෙනා බදුවලට ලියාපදිංචි විය යුතු අතර එය නොකිරීම වරදක් බව දක්වයි. 2025 වසරේ සිට වත්කම් අනුව එනම් මරාල බද්දක් ද පැනවෙන බව ජනවාරි පළමුවැනිදා ආරක්ෂක සේනා මූලස්ථානය විවෘත කරමින් ප්‍රකාශ වී තිබේ. මෙවැනි බදු ගෙවූ පසු ජනතාවට ජීවත් විය හැකිද?
පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රකාශ වූ පරිදි සංචාරක හෝටලයක දොඩම් වීදුරුවක් සඳහා රුපියල් හයදහසක් අය කර ඇත. එම මිලට පසුබිම බදු බව දැක්වේ. සංචාරක කර්මාන්තය දියුණු කරන්නට වෑයම් කරන රටක මෙවැනි මුදලක් වැය කරන්නට සිදුවීම පුරවැසියන්ගේ බදු හා සමානව සැලකිය යුතු අංශයකි. ආදායම් ලැබිය හැකි අංශ අඩාල වීමෙන් පසු පුද්ගලයන්ට බදු පනවන්නට සිදුවන අතර අවසානයේ දී ජනතාව ද උත්පාදනයට උත්සාහ නොකරන පිරිසක් බවට පත්වනු ඇත. ටින් අංකයක් අනිවාර්ය කිරීමත් එය ලබාගැනීමට ඇති දුෂ්කරතාවයත් සලකා රට මහත් ජංජාලයක්ව පවතින අතර බදු නොගෙවන පිරිස සොයාගෙන මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පවරන්නට ද උත්සාහ කළහොත් තවත් සංකීර්ණතා ඇතිවිය හැකිය.
බැංකු මඟහැර ගනුදෙනු කරන සමාජයක්
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් පරිහරණය අවම කරන සමාජයක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටියේය. කාඩ්පත් ප්‍රචලිත කරන අතර අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන පිරිස දිරිමත් කළේය. එය යහපත් ප්‍රවණතාවයකි. නිසි පරිදි ශුද්ධ මුදල් සංසරණයට ඉඩ සැලසීමක් බව සඳහන් කළ යුතුය.
කෙසේ නමුත් ගනුදෙනු බැංකුවලින් බැහැරට යන ප්‍රවණතාවයක් පැතිරෙමින් පවතී. මුදල් ඇති සමාජය තමන්ගේ ධනය තැන්පත් නොකරන අතර ගනුදෙනු නෝට්ටුවලට හරවමින් පසුවන බව නිරීක්ෂණය කළ හැකිය. මෙහි විපත බැංකුවල පිරිවැටුම පහත වැටීමය. අනෙක ආර්ථිකය තවත් සංකෝචනය වීමය.
බදු වැඩි කළ පසු ඒවා ගෙවන ජනතාව තමන්ට ගෙවන්නට සුදුසු තරමක් දක්වා වෙහෙසෙන්නට නැඹුරු වෙති. ධනය වැඩිපුර උපයන තරමට ධෛර්යයෙන් වැඩ කළහොත් එයින් වැඩිම කොටස ආණ්ඩුව අය කරගන්නා හෙයින් සීමාසහිත උත්පාදනයකට යොමුවන්නට ඉඩ තිබේ. විවෘත ආර්ථික ක්‍රමය පවතින රටකට එය ගැලපෙන්නේ නැත. ආණ්ඩුව හා තීරණ ගන්නා නිලධාරීන් ප්‍රායෝගික විය යුතු අතර ක්‍රමානුකූලව කටයුතු කරන තත්ත්වයකට යා යුතු වේ. හදිසි පටු තීරණ අනුව ජනතාව තවත් අපහසු තැනකට පත් කළහොත් ආර්ථිකය අලුත් වටයකින් අපහසුතාවයකට පත්වීම වැළැක්විය නොහැකිය.
I සාරා කන්දෙගොඩ