2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ලංකාවේ වීසා අහසින් පොළවට

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 254

වීසා ක්‍රමයේ වෙනසක් සිදුවීමට යන බවට පසුගිය සතියේ පුවත් කිහිපයක්ම වාර්තා වී තිබුණි. දැනට පවතින වීසා ක්‍රමයේ සංකීර්ණ භාවය හේතුකොටගෙන මෙම වෙනස සිදුකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමවේදය යාවත්කාලීන වීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට අපි තීරණය කළෙමු.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරුණු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යල්පැන ගිය ක්‍රමවේදයකි. එම ක්‍රමවේදය සංචාරකයන්, විදෙස් ශ්‍රමිකයන් ආයෝජකයන්, ඇතුළු විශාල පිරිසකගේ කාලය නිකරුණේ නාස්ති කෙරෑ ක්‍රමවේදයක් විය. පැහැදිලිවම මෙය රටේ ආර්ථික වර්ධනය කෙරෙහි බලපෑම් සහගත සංචාරක ආයෝජන ආදී ක්ෂේත්‍ර කෙරේ ඇතිකළේ හානිකර බලපෑමකි.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයකුට නිකුත් කරනු ලැබුවේ මාසයක වීසා බලත්‍රයක් පමණි. මාසයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රුඳී සිටින්නේ නම්, තමන්ගේ වීසා කාලය දීර්ඝ කරගැනීම ඔවුන් ලංකාව තුළදී සිදුකළ යුතුවිය. සැබවින්ම නිවාඩුවක් ගත කරන්නට පැමිණ සංචාරකයකුට මේ අනවශ්‍ය කරදරයක් විය. මෙරටට පැමිණෙන සංචාරකයන් බොහෝ අවස්ථාවලදී මේ පිළිබඳ මැසිවිලි නඟනු අප දැක තිබේ.

එපමණක් නොව ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන රුගෙන එන ආයෝජකයන්ට පවා, වීසා නිකුත් කිරීම සම්බන්ධව අනුගමනය කරනු ලැබුවේ දැඩි ක්‍රමවේදයකි. ආයෝජකයන් සඳහා පහසුකම් ලබාදෙන බවට නිරන්තර උදම් ඇනූ බලධාරීහු, මෙම ක්‍රමවේදයන් සරල කිරීමට මෙතෙක් අපොහොසත්ව සිටියෝය. දීර්ඝ කාලයක් රට තුළ රුඳෙමින් තමන්ගේ ආයෝජන සම්බන්ධව කටයුතු කරද්දී, වීසා වෙනුවෙන්ද අමතර වෙහෙසක් දැරීමට බොහෝ ආයෝජකයන්ට සිදුව තිබූ බව සිහිපත් කළ යුතුය.
තවද ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලැබූ වීසා ප්‍රතිපත්ති හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ස්ථීර වාසයට කැමැති ධනවත් රටවල පුරවැසියන්ට පවා සහනයක් නොලැබුණි. ස්ථිර පදිංචිය සඳහා වීසාවක් ලබා ගැනීමට එවැනි පිරිස් වෙත නොහැකිවීම සැබවින්ම කණගාටුවට කරුණක් විය. රට තුළට විදේශ විනිමය රුගෙන ආ හැකි මෙවන් අවස්ථා කලක සිට මගහැරුණේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ව්‍යුහය පවතින ඇල්මැරුණු ස්වභාවය හේතුවෙනි.

එහෙත් හඳුන්වාදීමට යන බව කියන නව වීසා ක්‍රමවේදය හරහා විදේශයක සිටින පුද්ගලයකුට වීසාවක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවට පැමිණීම අනිවාර්ය නොවේ. තමන්ට අවශ්‍ය කාලය සඳහා වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ නිදහසේ තම වැඩ කටයුතු කර ගැනීමට මේ හරහා අවකාශය සැලසෙයි. මෙම නව ක්‍රමවේදය පිළිබඳ ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා මෙලෙස පැහැදිලි කොට තිබුණි.

''අපි මෙතෙක් ලංකාවේ තිබුණු සියලුම වීසා ක්‍රම පිළිබඳ ඇමතිතුමන් සමඟ එක්ව අධ්‍යයනය කළා. පසුව අපි සම්පූර්ණ වීසා ක්‍රමවේදය වෙනස් කළා. දැන් සරල වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබෙනවා. ඉදිරි සතියක දෙකක කාලය තුළ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙනවා. මෙහිදී සිදුවෙලා තියෙන්නෙ පැවති සංකීර්ණ වීසා ක්‍රමවේදය සරල කරලා හඳුන්වාදීම.''

ආගමන විගමන පාලකවරයාගේ පැහැදිලි කිරීම අනුව, නව රෙගුලාසිවලට යටත්ව විදේශිකයන්ට තමන්ට අවැසි කාලයක් සඳහා වීසා ලබාගැනීමට හැකියාව පවතී.

''දැන් නව වීසා ක්‍රමවේදය යටතේ, නව  වීසා ගණනාවක් හඳුන්වා දීලා තිබෙනවා. ඔන්ලයින් රුකියා කරන අයට, ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉඳගෙන වැඩ කරන්න “NOMAD” වීසා බලපත්‍රයක් ලබාදෙනවා.''

“NOMAD” වීසා පිළිබඳ කතාව වසර කිහිපයක සිටම ප්‍රධාන වශයෙන් අවධානයට ලක්වූවකි. මෙම ක්‍රමවේදය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නම්, විදේශිකයන් මාර්ගගත ක්‍රමයට උපයන මුදල් ශ්‍රී ලංකාව තුළ වැයකරනු ඇත. ඒ හරහා රටේ ආර්ථිකයටද නව ජවයක් ලැබේ. කෙසේ වෙතත් මෙම ක්‍රමවේදයන් මේ වනවිටත් ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරමින් සිටින බව සඳහන් කළ යුතුය. රටක් ලෙස අපි දැනටමත් බොහෝ සෙයින් ප්‍රමාද වී සිටිමු.

මීට අමතරව ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන එන ආයෝජකයන් සඳහා අපි වසර දහයක් දක්වා වීසා ලබාදෙන ක්‍රමවේදයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමට සූදානම් වේ. මෙම ක්‍රමවේදය හරහා විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවකාශය උදාවනු ඇත. ශ්‍රී ලංකාව තුළ සංචාරය කර  ආයෝජන අවස්ථා පිළිබඳව සිතා බැලීමද මේ හරහා පෙළඹෙනු ඇත.

''Resident Visa'' බලාපොරොත්තු විදේශිකයන්ට ඒ සඳහා අවකාශය ලබාදීමටත් නව වීසා ක්‍රමවේදය හරහා අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී. මේක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් එක්කෙරන වැඩපිළිවෙළකි. කෙසේ වෙතත් මෙම සියලු කටයුතු, මනා අධ්‍යනයකින් යුතුව සිදුකිරීම අත්‍යවශ්‍යවේ.

මේ අතර E-Visa නිකුත් කිරීමේ ක්‍රමවේදය නව වැඩපිළිවෙළක් යටතේ මාර්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු සූදානමින් සිටින බව කියැවේ. ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ඔවුන් ඉදිරියේදී ගිවිසුම් ගතවීමට නියමිතය. මේ හරහා රටවල් 145 කට වීසා නිකුත් කිරීමේ කටයුතු ඔන්ලයින් හරහා සිදු කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අනුව ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමවේදයේ සලකුණුගත වෙනසක් මෙම වසරේදී සිදුවනු ඇති බවට අපි අපේක්ෂා කරමු. කෙසේවෙතත් මෙවන් වෙනස්කම් පිළිබඳ සාධනීය බලාපොරොත්තු රටක් ලෙස අප තුළ ඇතිවන පළමු අවස්ථාව මෙය නොවේ. මින් පෙරද මෙවැනි පුවත් හරහා සමාජ සංවාද නිර්මාණය විය. පසු කලෙක අපටම ඒවා අමතක වී ගියේය. එබැවින් මෙම සංවාද අවසානයක් කරා එළැඹෙන තුරු අපි බලා සිටිමු.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02