විදුලිබල මණ්ඩලය පෞද්ගලීකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබුණි. මේ විරෝධතා ගොඩනැගුණේ බරපතළ දේශපාලන ආර්ථික සංවාදයක් අභිමුවය. අප මේ සූදානම් වන්නේ ඒ පිළිබඳ විමසා බැලීමට නොවේ. විරෝධතාවයෙන් ඉක්බිති ඇතිවූ අලකලංචිය ගැන සොයා බැලීමටයි.
ජනවාරි මුල් සතියේ විදුලි වෘත්තිය සමිති සිය වෘත්තීය ක්‍රියාමාර්ගය කරා එළැඹියේය. ඒ අනුව ඔවුන් ජනවාරි තුන්වැනිදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණි. මෙම වැඩවර්ජනය අතර, මුදල් කවුන්ටරද වසා දැමීමට ඇතැම් විදුලි සේවකයන් කටයුතු කර තිබුණි.
වර්ජනය ආරම්භ වීමට පෙරම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණේ, සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශ කඩ කරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. වර්ජනය ආරම්භ වූයේ මෙවන් අනතුරු ඇඟවීම් අභිමුවය.
විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කර ඇති පසුබිමක, මුදල් කවුන්ටර වැසී යාමෙන් මහජනතාව අපහසුතාවයට පත්වූ බව විදුලිබල අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව කියා සිටියේ ඒ අනුවයි. ඔවුහු මෙම තත්ත්වය සරලව නොදැකීමට තීරණය කළහ. ආන්දෝලනාත්මක තීරණ ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ ඉන් අනතුරුවයි.
ආරම්භයේදී විදුලිබල මණ්ඩල ලිපිකරු කාර්ය මණ්ඩලයේ 15 දෙනකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීහු කටයුතු කළහ. කොරේ පිටට මරේ කියා විදුලි සේවකයෝ මේ සමග තවත් විපතට පත්වූහ. වෘත්තීය සමිති නායකයන් හඬ නගන්නට වූහ. ආණ්ඩුව එයින්ද නොනැවතුණි. වැඩ තහනම් කරනු ලැබූ විදුලි සේවක සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ දමනු ලැබීය.
ලංකා විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට අදාළව ගෙන එන “විදුලි පනත” හකුළා ගන්නා ලෙස ඉල්ලමින් ඉකුත් 3,4 සහ 5 වැනිදා යන තෙදින ලංවිම වෘත්තීය සමිති විසින් සංවිධානය කළ උද්ඝෝෂණයට එක්වූ පිරිස ලෙඩ නිවාඩු දමා ඊට සහභාගි වී ඇතැයි වෘත්තීය සමිති කියා සිටියේය. එම නිවාඩුවලට නිසි අනුමැතිය පවා ලබා තිබියදී රනිල්, රාජපක්‍ෂ හා කංචන එක්ව වෘත්තීය සමිති ව්‍යාපාර හා වෘත්තීය අයිතිවාසිකම් මර්දනය කරමින් සේවක දඩයමක් අරඹා ඇතැයි ඔවුහු සඳහන් කළහ.
මෙම මර්දනයට එරෙහිව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවීමට වෘත්තීය සමිති කටයුතු කරමින් සිටියි. පසුගියදා පැවැති වෘත්තීය සමිතිය ඒකාබද්ධව පැවැත්වූ සාකච්ඡාවේදී එම ක්‍රියාමාර්ග සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඔවුන් තීරණය කළ බව අනාවරණය විය. එහෙත් අත්‍යවශ්‍ය විදුලි සේවකයන් පන්දහසක් එකවර ඉල්ලා අස්වීමට සූදානම් බව ඇතැම් වෘත්තීය සමීති නායකයෝ කියා සිටියහ. මේ අනුව තත්ත්වය ක්‍රමයෙන් බරපතළ වන බව පෙනී යයි.
මෙම වැඩතහනම සම්බන්ධව ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසිදු නම්‍යශීලී ප්‍රතිචාරයක් නොදක්වන බව පෙනී යයි. කෙසේ වෙතත් පන්දහසක් ඉල්ලා අස්වීම පිළිබඳ කතාවට විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රතිචාර දැක්වූයේය.
''පසුගියදා මෙවැනි ප්‍රකාශයක් විදුලිබල මණ්ඩලයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටින එක්තරා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු කර තිබූ බවට මාධ්‍ය තුළින් වාර්තා කර තිබුණා. මම එය සත්‍ය හෝ අසත්‍ය ප්‍රකාශයක්ද නොදනිමි. එම ප්‍රකාශය කළ පුද්ගලයාට ඉවත්වීමට තවදුරටත් පත්වීමක් නොමැති වුවත් විදුලිබල මණ්ඩලයේ කිසිවකු හෝ ඉල්ලා අස්වීම ලබාදෙන්නේ නම් එය කඩිනමින් භාරගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියට මා විසින් දැනුම් දී ඇත. එලෙසම එම පිරිස්වල ඉල්ලා අස්වීමේ ලිපි භාරගෙන විදුලිබල මණ්ඩලයට ඔවුන් විසින් ගෙවිය යුතු ණය පහසුකම් කඩිනමින් පියවා ගන්නා ලෙසද දැනුවත් කරනු ලැබුණි.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ ආයතනයේ වියදම් අඩු කිරීමේ වැඩපිළිවෙළ හෝ ජනන සැලසුම් පරිදි හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හෝ සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයන්ට එරෙහිව ගන්නා විනය සහ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද නොකර ක්‍රියා කිරීමටද කටයුතු කරන ලෙසද දන්වා සිටිනු ලැබේ.''
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පවතින තත්ත්වයේ බරපතළ බව පැහැදිලි කරයි. අමාත්‍යවරයා සෘජුවම වෘත්තීය සමයේදී සමඟ ගැටුමකට පැටලී ඇති බව මේ අනුව පෙනී යයි. මීට අමතරව අමාත්‍යවරයා විසින් පසුගියදාක විදුලිබල මණ්ඩල සේවකයන් ලබාගත් ණය පහසුකම් පිළිබඳ තොරතුර අනාවරණය කර තිබුණි. රුපියල් බිලියන දොළහක පමණ ණය විදුලි සේවකයන් ලබාගෙන ඇති බවත් එහි ණය පොලියෙන් තුනෙන් දෙකක් පමණ ගෙවන්නේ විදුලි මණ්ඩලය බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
කෙසේවෙතත් විදුලි වෘත්තීය සමිති නිලධාරීහු අමාත්‍යවරයාට සහ රජයට දැඩිව දෝෂාරෝපණය කරති. නිසැක වශයෙන්ම අමාත්‍යවරයාත් ආණ්ඩුවත් ගෙදර යවන බව ඔවුහු කියා සිටිති. විදුලිබල මණ්ඩලය පමණක් නොව රාජ්‍ය ආයතන ගණනාවක්ම විකුණා දැමීමට ගෙනයන වැඩපිළිවෙළ නතර කිරීම සඳහා 29 වැනිදා පෙත්සමක් අත්සන් කර, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ කර, 5 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට විරෝධතාව ආරම්භ කර, ජනතා වරමක් නොමැති පාලනය අවසන් කිරීමේ සටන අරඹන බව ඔවුහු කියා සිටිති.
ආරම්භයේ සඳහන් කළ පරිද්දෙන් තත්ත්වය ඉතා සංකීර්ණය. මේ හරි වැරුද්ද කා මත හෝ තබා විග්‍රහ කළ හැකිය. එහෙත් එම විග්‍රහයන් යුක්තිය යුත්ත නොවේ. විදුලි බල මණ්ඩලයේ තීන්දු තීරණ නිසාවෙන් මෙන්ම, විදුලිය ඇතුළු බලශක්තිය පිළිබඳ ආණ්ඩු ගත් තීන්දු තීරණ නිසාවෙන් ජනතාවක් ලෙස අපි පීඩාවට පත්වී සිටිමු. යුක්තිය ඉටුවිය යුත්තේ මහජනතාවටය.
I චමිඳු නිසල් ද සිල්වා