2024 ජනවාරි 27 වන සෙනසුරාදා

මහනුවරට පිරිසිදුකම කියා දුන් නෝර්වේ සංචාරකයෝ

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 81

මහනුවර ලෝක උරුම නගරයේ පිහිටි දුම්රිය ස්ථානය ද බොහෝ දෙනා නිතර ගැවසෙන තැනකි. එය දේශීය දුම්රිය මගීන් මෙන්ම විදේශීය සංචාරකයෝ ද විශාල ලෙස භාවිත කරති. ඉංග්‍රීසි පාලන සමයේ තැනූ දුම්රිය ස්ථානය අලංකාර සැලසුමකින් යුක්තය. පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප ගොන්නකින් පැහැදිලි වුණේ මහනුවර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමට පැමිණි විදේශිකයන් කණ්ඩායමක යහපත් ක්‍රියාවකි. එය සංවිධානය කර තිබුණේ සීරෝ ප්ලාස්ටික් ක්‍රියාවිතයේ සංවිධානයෙන් නෝර්වේ සංචාරකයන් පිරිසකගේ සහභාගිත්වයෙනි. මහනුවර පිරිසිදු කිරීමේ දෙවැනි ව්‍යාපෘතිය පෙබරවාරි 10 දින පැවැත්වීමට නියමිතය.

පොලිසැක් බෑග්වල දුම්රිය නැවතුමේ එකතු වී තිබූ රොඩු කුණු, ප්ලාස්ටික් බෝතල් ආදිය ඉවත් කිරීමට විදේශිය තරුණ කාන්තාවන් සහ පිරිමින් ද එකතු වී සිටියහ. ඔවුහු ප්ලාස්ටික් විසි නොකරන ලෙස සඳහන් දැන්වීම් පුවරු ද ඔසවාගෙන සිටියහ. තිහක පමණ පිරිසක් මේ කාර්යයට දායක වූහ. ඉතා සතුටින් අපද්‍රව්‍ය ඉවත් කළ ඔවුන් අවසානයේ දුම්රිය ස්ථානයේ දී සමූහ ඡායාරූපයකට ද මුහුණ දුන්හ. 

මේ ගැන Zeroplastic සංවිධානය මෙසේ අදහස් දක්වා තිබුණි ''මහනුවර දුම්රිය ස්ථානයේ Zeroplastic සංවිධානය විසින් කරන ලද Clean up වැඩේ අරමුණ වූයේ දුම්රිය මගීන් විසින් ප්ලාස්ටික් දුම්රියෙන් පිටතට දැමීම ගැන දැනුවත් කිරීමකටයි. එයට සමාජයේ අවධානය ලබාගැනීමට විදේශිකයන් සමග සිදුකළා මිස, දුම්රිය සේවකයක් අපහසුතාවයකට පත්කිරීමට නොවන බව සලකන්න. වැරදි ලෙස මෙය අර්ථකථනය කර දුම්රිය සේවාව අපහසුතාවයකට පත් නොකරන්න. වරද ඇත්තේ ප්ලාස්ටික් බිම දාන මගී ජනතාව මත මිස, දුම්රිය සේවකයන් මත නොවේ.''

අපි මේ ගැන තවදුරටත් දැනගැනීමට මහනුවර දුම්රිය ස්ථානය නිතර භාවිත කරන රජයේ සේවකයකු වන කපිල අබේරත්නට කතා කළෙමු: 

''අනෙක් දුම්රිය ස්ථානවලට වඩා මහනුවර දුම්රිය ස්ථානය පිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යනවා. නමුත් දුම්රියවලින් යන මගීන් දමන අපද්‍රව්‍ය විවිධ අවස්ථාවලදී දුම්රිය පාරට වැටෙනවා. වේදිකාවත් දුම්රියත් අතර තිබෙන හිදැසට අපද්‍රව්‍ය දානවා. මේ ශ්‍රමදානය වැඩිපුර පැවැත්වුණේ මාතලේ දුම්රිය මාර්ගය මුල්කරගෙනයි. දුම්රිය ස්ථානයේ තැන් කිහිපයකම කසල භාජන තබා තිබෙනවා. මගීන් බොහෝවිට තමන්ගේ අපද්‍රව්‍ය දමන්නේ ඒ භාජනවලටයි. කලක පටන් මගීන් ඒකට හුරුවෙලා ඉන්නේ. ඒ වගේම පිරිසිදු කරන සේවකයන් ද සෑම දිනකම දුම්රිය වේදිකා අවට පිරිසිදු කරනවා අපි දකිනවා.

මේකට තව හේතුවක් තිබෙනවා. කෝච්චි මැදිරිවල ඉන්න මගීන්ට අපද්‍රව්‍ය දාන්න ඒවයේ තැනක් නෑ. කසල භාජන ලංකාවේ කිසිම කෝච්චියක දකින්න නෑ. මේ නිසා ඇතුළේ ඉන්න මගීන් ඒවා පිටතට විසි කරනවා. නැත්නම් කෝච්චි පෙට්ටියේ සීට් යටට දානවා. කෝච්චිවල විකුණන රටකජුවල පොතු පෙට්ටිවල පිරිලා තිබෙනවා. ඒවාගේ අපද්‍රව්‍ය, පොලිතින් දවටන, බෝතල් කෝච්චි පාරටත් වැටෙනවා. බොහෝවිට සිරිපා සමය පටන්ගත් විට මේ තත්ත්වය වැඩිපුර දකින්න පුළුවන්. 

තවත් පිරිසිදු කළ යුතු තැනක් අපේ ස්ටේෂන්වල තිබෙනවා. ඒ තමයි වැසිකිලි. මහනුවර වගේම කොටුව ස්ටේෂමේත් වැසිකිලි අන්තිමයි. විදේශිකයො මේවට ගියාම රට ගැන මොනවා හිතෙනවා ඇද්ද? ඔවුන්ට වැසිකිලි පිරිසිදු කරන්න බෑනේ. බලධාරින් උනන්දු වෙලා මේවා නිතර පිරිසිදුවට තබාගන්න ඕනේ.'' 

මෙසේ විදේශික තරුණ තරුණියන් පිරිසක් පැමිණ කළ ක්‍රියාව අපට ආදර්ශයක් සපයයි. එය එක් අතකින් බලධාරින්ගේ ඇස්ඇරවන්නකි. යළිත් අපද්‍රව්‍ය විසි කිරීමට පෙර සිතා බැලීමට එය අපව පොළඹවයි. දුම්රිය ස්ථානයේ වේදිකාව සහ දුම්රිය මාර්ගය මෙන්ම අනෙකුත් ස්ථාන ද අපුරුවට තබාගත යුතු බවට එම ශ්‍රමදානය අපට ඇස් ඇරවයි.

මුලින්ම දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා තැනෙන්නේ 1867 වසරේදීය. එකල ප්‍රධාන මාර්ගය වන්නේ කොළඹ සිට මහනුවර දක්වායි. එදා ආරම්භ වුණු මහනුවර දුම්රිය පොළ කිහිප වරක් ප්‍රතිසංස්කරණයට ලක්වී අද දකින්නට ඇති ස්වභාවයට පත්ව තිබේ. මුල් කාලයේ දුම්රිය ස්ථානවලට කැලිකසලවලින් ප්‍රශ්නයක් වුණේ නැත. එදා ප්ලාස්ටික්, පොලිතින් භාවිතයක් නොපැවති හෙයිනි. 

පසුව කඳුරට දුම්රිය මාර්ගය පේරාදෙණියේ සිට බදුල්ල දක්වා ඉදිවූ අතර මහනුවර සිට මාතලේ දක්වා ද දුම්රිය මාර්ගයක් තැනුණි. ඉන්පසු කඳුරට දුම්රිය මාර්ගය පේරාදෙණිය හන්දියේ සිට ගම්පොළ හරහා බදුල්ල දක්වා ඇදී ගියේය. නමුත් මේ සෑම දුම්රියක්ම මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ යළිත් පේරාදෙණිය හන්දියට ගොස් බදුල්ල බලා ගමන් කිරීම සිදුවන්නේ මහනුවරට මගීන් රාශියක් පැමිණෙන හෙයිනි. 

මාතලේ මාර්ගය ආරම්භ වන්නේ පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙනි. 1873 වසර වන විට පේරාදෙණිය හන්දියක් බවට පත්වන්නේ ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම නිසයි. මාතලේ දක්වා මාර්ගය තැනෙන්නේ 1880 වසරේදීය.

මහනුවර දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ දැක්වෙන අයුරින් එය අංක දෙක දරන මාර්ගයට අයත්ය. නාම පුවරුවේ ඇති රතු පැහැති දෙකේ ඉලක්කමෙන් එය දැක්වේ. මහනුවර දුම්රිය ස්ථානය අප රටේ ස්ටේෂන් අතරින් අලංකාර මෙන්ම මෙන්ම පහසුකම් අතින්ද ඉහළ තැනක් ගන්නා දුම්රිය ස්ථානයකි. එහි ධාවනාගාරයක් සහ දුම්රිය එන්ජින් හැරවීම සඳහා හැරවුම් පීඨිකාවක් ද සහිතය. දීර්ඝ චාරිකා නිමකර පැමිණෙන දුම්රිය එන්ජින්වල සේවා කටයුතු සහ ප්‍රාදේශීය ගමන් වාර සඳහා යොදාගැනෙන එන්ජින්වල නඩත්තු කටයුතු ද මහනුවර ධාවනාගාරයේ දී සිදුවේ. නමුත් මගීන් වැඩිදෙනෙක් අප සමඟ පැවසුවේ දුම්රිය නිලධාරින්ගේ කාර්යක්ෂමතාවයක් නම් නැති බවයි. දුම්රිය ගමන් ගැන තොරතුරක් දැනගැනීමට දුම්රිය ස්ථානය ඇමතුව ද දුරකථනය ඇමතීමට නිලධාරියෙක් නැත. මෙහිදී විදේශිකයන් ඉතා අසරණ වන අවස්ථා සුලබය. 

මහනුවර දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාව මාතලේ මාර්ගය සඳහා වෙන් වී තිබේ. එහි දෙවැනි සහ තුන්වැනි වේදිකා කොළඹ සිට පැමිණෙන හා කොළඹ කොටුව බලා පිටත් වන දුම්රිය සඳහා බහුලව භාවිත වේ. සිව්වැනි සහ පස්වැනි වේදිකා භාවිත වන්නේ නාවලපිටිය හා පොල්ගහවෙල ආදී ගමනාන්තවලට දිවෙන ප්‍රාදේශීය දුම්රිය නැවැත්වීමටය. පළමුවැනි වේදිකාව හැර අනෙක් සියලුම වේදිකා මහනුවරින් කෙළවර වේ. පළමුවැනි වේදිකාව මාතලේ මාර්ගය ලෙස විහිදුණත් දුම්රිය ධාවනය නොවන අවස්ථාවලදී ගේට්ටුවකින් වසා තැබේ. එයට හේතුව නම් මාතලේ මාර්ගය මහනුවර දුම්රිය ස්ථානයෙන් පසු කෙළින්ම දිවෙන්නේ අතිශය ජනාකීර්ණ මහා මාර්ගයක් හරහා වීමයි. ගේට්ටුව නොවන්නට අනවසරයෙන් මගීන්ට දුම්රිය ස්ථානයට ඇතුළු වීමට ඉඩ කඩ තිබෙන හෙයිනි.

''වේදිකා, කෝචිචි පාර විතරක් පිරිසිදු කරල බෑ. තවත් පිරිසිදු කරන්න ඕනෙ තැන් මහනුවර ස්ටේෂමේ තිබෙනවා. වැසිකිලිවලින් ගඳ එනවා. ටිකට් කවුන්ටර් වෙලාවට අරින්නෙ නෑ. පරක්කු වෙලා ඇවිත් හදිස්සියෙ ටිකට් දෙනකොට බොහො වෙලාවට ඉතුරු සල්ලි නෑ කියනවා. ඒක උපක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.'' මහනුවර පදිංචි පෞද්ගලික සමාගමක සේවය කරන සමන්ත පෙරේරා අප සමඟ කීවේය. 

ශ්‍රී ලංකාවේ දුම්රිය දුවන්නේ පාඩු පිට ය. වර්තමානය වන විට දිනපතා මගීහු 350,000 කට අධික සංඛ්‍යාවක් දුම්රියෙන් ගමන් ගනිති. මේ අතරින් සමහරුන් තම කසල භාජනය ලෙස දුම්රිය නැවතුම හෝ දුම්රිය මාර්ගය භාවිත කිරීම කනගාටුදායකය. තවත් පිරිසක් දුම්රිය භාවිත කිරීමට පවා නොදනිති. පාද ආසන මත තබාගෙන යන පින්තූර සමාජ මාධ්‍යවල හුවමාරු වනු දක්නට පුළුවන. දිනකට දුම්රිය ස්ථාන 320ක් හරහා කිලෝමීටර් 1,500ක ධාවන පථයකින් දුම්රිය ගමන් කෙරේ. මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවය පරිහරණය කරන්නේ සංචාරකයන්ගෙන් 7% ක් සහ ප්‍රවාහනය කරන භාණ්ඩවලින් 2% ක් පමණි. ‍මේ විදේශීය සංචාරකයන් අතරින් වැඩිදෙනකු මහනුවර බලා යාමට භාවිත කරන්නේ දුම්රියයි. අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රිය ඒ සඳහා බොහෝවිට යොදා ගැනේ. 

I කුසුම්සිරි විජයවර්ධන