මධ්‍යම රාත්‍රිය ඉක්මවා හෝරාවක් හමාරක් ගතවූයෙන් අධිවේගී පාරේ එතරම් රථවාහන නොවීය. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඒ මොහොතේ හැටි එහෙමය. ඒ නිසාමදෝ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා රුගත් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථය පිම්මේ ධාවනය වෙමින් තිබිණ. ඊට ඉදිරියෙන් ධාවනය කරමින් තිබුණේ තවත් මෝටර් රථයක් හා භාණ්ඩ පැටවූ කන්ටේනර් රථයකි. කන්ටේනර් රථය පසුකර යන්නට පසුපසින් ගිය මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළේය. එසැණින් ඇමැතිවරයා රුගත් මෝටර් රථය එම රියේ ගැටීම වළකනු පිණිස තරමක් වමට හරවන අතරවාරේ ක්ෂණයකින් මෝටර් රථය කන්ටේනරයේ පසුපස දකුණු පැත්තේ වේගයෙන් ගැටුණේය.
මෝටර් රථයේ ඉදිරිපස සිට හරි අඩකටත් වඩා කුඩුපට්ටම් වී එකම සුන්බුන් ගොඩක් වී මෝටර් රථය අධිවේගී මාර්ගයේ වම් ආරක්ෂක වැටේ ගැටී නැවතුණේ මාරක අනතුරක් වාර්තා කරමිනි. ඇමැති සනත් නිශාන්ත මහතා බරපතළ තුවාල සහිතව ඉදිරිපස අසුනේ සිරවූ අතර ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල්වරයා පසුපස අසුනේ දැඩි තුවාල සහිතව සිරවී සිටියේය. රියැදුරු මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුවද එම ස්ථානයට පැමිණි දක්ෂිණ අධිවේගී පොලිස් නිලධාරීන්ට ඔහුව පිටතට ගැනීමට හැකිව තිබුණි. මෝටර් රථයේ සුන්බුන් අතර ඉදිරි අසුනේ සිරවී සිට සෑහෙන වෙලාවකට පසුව එළියට ගත් සනත් නිශාන්ත මහතා හා පසු අසුනේ සිටි ආරක්ෂක නිලධාරියා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බව රාගම ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග වාර්තා කළේය. මේ අතර සනත් නිශාන්ත මහතාගේ රියැදුරුවරයා පොලිස් ආරක්ෂාව යටතේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කළේය.
කටුනායක සිට කොළඹ දෙසට දිවෙන අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසලදී මේ අනතුර සිදුව තිබුණේ ඉකුත් 25දා අලුයම 2ට පමණ බව පැවසේ. 24 වැනිදා රාත්‍රියේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවැති විවාහ මංගල සාද දෙකකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටි අතරතුර මෙම අනතුර සිදුව තිබේ. පොලීසිය පවසන්නේ අමාත්‍යවරයා රුගත් මෝටර් රථය පැයට කිලෝමීටර් 130ත් 135ත් අතර වේගයකින් ගමන් කොට ඇති බවය. මීට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය වැලිසර ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික උඩුවේගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.
අනතුරින් මියගිය ආරක්ෂක නිලධාරියා ජයකොඩි නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මියයන විට 48 වැනි වියේ පසුවිය. නීතිඥ චමරි පෙරේරා මහත්මියගේ ආදරණීය සැමියා වූ ඒ මහතා දියණියන් තිදෙනකු හා එක් පුතකු ඇතුළු දරුවන් සිව්දෙනකුගේ පියෙකි.
1975 මැයි 03 වැනිදා හලාවතදී උපන් සනත් නිශාන්ත මහතා හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසුවෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1997දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරගකොට පරාජය වූ පසුව එවකට එහි සභාපතිවරයාගේ ඝාතනයෙන් පසු මොහුට සභිකයකු ලෙස පත්වීමට අවස්ථාව ලැබී ඇත. අනතුරුව 2004 වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කොට 2009 වසරේ පැවැති පළාත් සභා මැතිවරණය ජයගෙන එහි ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. පසුව 2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප ඡන්ද 80,082ක් ලබාගනිමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඒ අනුව 2015 වසර සිට මියගිය දිනය දක්වාම පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔහු කටයුතු කළේය.
එදා සිටම ඒ මහතා ප්‍රසිද්ධ දේශපාලන කතාබහ තුළ ඉදිරියෙන්ම සිටියේය. ඔහුට රාජපක්ෂ පවුල හා පැවැති සබඳතාව නිසා ඇතැම් අදහස් හා ප්‍රකාශවලට විශාල ප්‍රසිද්ධියක් ලැබිණි. මේ නිසා සනත් නිශාන්ත මහතා ආන්දෝලනාත්මක කතා කියන හා කරන දේශපාලනඥයකු වශයෙන් ප්‍රකටව සිටියේය.
පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයා ලෙස ප්‍රකට මොහු විටෙක ආවේගශීලී දේශපාලනඥයකු බව කියැවේ. කිහිප වතාවක්ම පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය. 2008 වසරේ ඔහු සහ ඔහුගේ සොහොයුරා වන ජගත් සමන්ත එක්ව එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධාකර පහර දුන් සිදුවීමක්ද ඒ අතර විය.
සනත් නිශාන්ත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ධීවර රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් විය. අනතුරුව මිය යන තෙක්ම වත්මන් රජයේ ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
සනත් නිශාන්ත මහතාගේත් ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේත් මරණයට හේතුව අනතුරින් සිරුරට සිදුවූ බහුවිධ තුවාල නිසා බව තහවුරු කර ඇත. මරණයට පත් පොලිස් කොස්තාපල්වරයා මහනුවර පදිංචි එක්දරු පියෙකි. අමාත්‍යවරයා ගමන්ගත් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු 39 හැවිරිදි දැරණියගල පදිංචිකරුවෙකි.
සිද්ධිය වාර්තාවීමත් සමඟ ඥාතීන් හිතවතුන් හා මැති ඇමැතිවරුන් රුසක් රෝහල් භූමියට රැස්ව සිටියහ. රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ඥාතීන් බාරගැනීමෙන් පසුව කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරිණ. අනතුරුව දේහය 26 වැනිදා ආරච්චිකට්ටුව පිහිටි ඒ මහතාගේ නිවෙසට රුගෙන යනු ලැබීය. මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කළ දේහය ඉරිදා (අද) 28 ආරච්චිකට්ටුව රජකදළුව රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
I සමන්ත ප්‍රදීප් විල්තෙර