ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මෙම මස 30 වැනිදා ඉසිඹු ලැබීමට නියමිතව සිටී. ඔහුගේ රාජකාරි ජීවිතයේ මතක ඇසුරෙන් ලියූ ලිපි මාලාවේ අවසානය අපි මෙසේ සටහන් කරමු. කොවිඩ් වසංගතයෙන් මෙරට ජනතාව මැරිමැරී ඉපදුණු සමය මෙරට ඉතිහාසයේ රුදුරු ත්‍රස්තවාද සමයට නොදෙවැනි කාලයක් විය. දිනෙන් දින කොරෝනා උග්‍ර අතට පත්වෙද්දී පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් මෙම අභියෝගයට මුහුණ දීමට නරේන්ද්‍ර ප්‍රනාන්දුට සිදුවිය.
''කොරෝනා කාලයක වුණත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. අපි කොහොම හරි පාර්ලිමේන්තුව පැවැත්වූවා. මම ලබපු ලොකුම ජයග්‍රහණයක් තමයි කොරෝනා එන්නත්කරණය. අපිට මුලින් එන්නත් හොයාගන්න අමාරු වුණා. මම දවසක් එවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇමතුමක් ගත්තා. ඒ වෙලාවෙ හදිසි රුස්වීමක් යන වෙලාවක ජනාධිපතිතුමා හිටියෙ. කෝල් එක ඉස්සුවෙ ජනාධිපති හිටපු උපදේශක ලලිත් වීරතුංග. මගෙන් ඇහුවා ඇයි නරේන්ද්‍ර කෝල් එක ගත්තෙ කියලා. මම කිව්වා පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් එක්ක එන්නත් 1000ක් ඕනෑ කියලා. මට ඒ වෙලාවෙ ජනාධිපතිතුමා කිව්වා ශවේන්ද්‍රට කියන්න කියලා. එතකොට ඔහු යුද හමුදාපති. ශවේන්ද්‍ර මහතා හරහා අසේල සහ සමිත ගිනිගේ මහත්වරුන් සම්බන්ධීකරණය කරගෙන එන්නත් 1000ක් ලබාගත්තා. ඒ එන්නත්වලින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට, හිටපු කාර්ය මණ්ඩලයට, මැති ඇමැතිවරුන්ටත්, පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලුදෙනාට ලබා දුන්නා. පාර්ලිමේන්තු පොලිසිය, කාර්ය මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුවේ දෙසිය ගණනක් කොරෝනා වයිරසයට ගොදුරු වුණා. ඒ වෙලාවෙ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණධීර, ඉංජිනේරු ලලිත් අධිකාරි, නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් සහ සහකාර වේත්‍රධාරී අචින්ත යන මහත්ම මහත්මීන් දිවි පරදුවට තියලා කොරෝනා උවදුරෙන් මේ සැම බේරාගන්න ලොකු කැපකිරීමක් කළා. හැමෝම ගෙවල්වල ඉන්න කාලෙ අපි හැමෝම රාජකාරියට ආවා. පාර්ලිමේන්තුවේ එතිහාසික සිද්ධියක් වුණා. ඒ තමයි පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට ලොබි දොරවල් හැර පාර්ලිමේන්තු රුස්වීම් පැවැත්වූවා. ඒ අවස්ථාව ඓතිහාසිකයි.''
අරගල සමයේ අරගලකරුවන්ගෙන් පාර්ලිමේන්තුවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කර ගැනීමේ වගකීම නරෙන්ද්‍ර ප්‍රනාන්දුගේ දෙඋර මත පැටවුණු අවස්ථාවේ ඔහු ඒ සඳහා කළ මැදිහත්වීමද සුළුපටු නොවේ.
''පාර්ලිමේන්තුවත් අරගලකරුවන්ගේ එක් ඉලක්කයක් වී තිබුණා. ඒ කාලයේ පාර්ලිමේන්තු පොලීසියේ අධ්‍යක්ෂ හිටියෙ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත්. එතුමා මට ලොකු සහයෝගයක් දුන්නා. මම අනෙක් ආරක්ෂක අංශ සියලු දෙනාගේම සහයෝගයෙන් වැඩපිළිවෙළක් යෙදුවා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න පියවර රුසක් මම ගත්තා. මුර රුකවල් යෙදුවා. ජනාධිපති මැදුර අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත්කරගත් අරගලකරුවන් 5000 කට වැඩි පිරිසක් එදා හවස පාර්ලිමේන්තුව අසලට ආවා. එදා පක්ෂ නායක රුස්වීමක් තිබුණා. ඒකට කතානායක ඇතුළු හමුදාපතිවරු සියලු දෙනාම පාර්ලිමේන්තුවේ සිටියා. ඒ වෙලාවෙ අරගලකරුවන් දමා තිබූ බැරියර් දෙකෙන් කතානායක නිල නිවෙස අසල පළමුවැනි බැරියරය කැඩුවා. දෙවැනි බැරියරය කඩාගන්න අරගලකරුවන්ට බැරිවුණා. සාමය ආරක්ෂා කිරීමේ පියවරක් විදිහට ඊටපස්සෙ අරගලකරුවන් විසුරුවා හරින්න සිදුවුණා. ඒ විදිහට අපිට පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. එසේ නොවුණා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ලොකු හානියක් වෙන්න ඉඩ තිබුණා. පොලිසිය තමයි මාස ගණනාවක් පාර්ලිමේන්තුව ආරක්ෂා කළේ. ඒ අභියෝගයත් මම ජයගත්තා.”
1987 අගෝස්තු 18 වැනිදා නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු රාජකාරි ජීවිතයේ අමතක නොවන සුවිශේෂී දිනයකි. ඒ වෙන හේතුවක් නිසා නොව පාර්ලිමේන්තුවට එල්ල වූ ග්‍රෙනේඩ් බෝම්බය අවස්ථාවේදී ඔහු කළ මෙහෙවර නිසාමය.
“ඒ කාලයේ කතානායක ධුරය දැරුවේ ඊ.එල්. සේනානායක මහතා. ඔහු මගේ පාර්ලිමේන්තු රාජකාරිවලට අමතරව කතානායකගේ පෞද්ගලික සහකාර විදිහට මට පත්වීමක් දුන්නා. ඉන්පසු ඒ පත්වීමට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවෙ අනුමැතිය ලැබුණා. මම කතානායක පෞද්ගලික සහකාර විදිහට උදේ වරුවෙ කතානායක කාර්යාලයේ ඉන්නවා. පාර්ලිමේන්තුවේ බෝම්බ පිපිරීමත් සමග මම කතානායකතුමා පාර්ලිමේන්තුවට එන එක නැවැත්තුවා. ඒ වෙලාවෙ නියෝජ්‍ය කතානායක නෝමන් වෛද්‍යරත්න මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිත් හිටියා. මම නියෝජ්‍ය කතානායකතුමා කොහොම හරි හොයාගෙන ගිහින් ඔහුට කිව්වා. පාර්ලිමේන්තුව රුස්වෙන්න ගණපූර්ණ සීනුව නාද කරනවා. ඊටපස්සෙ නියෝජ්‍ය කතානායකතුමා අසුන්ගෙන පාර්ලිමේන්තුව කල් තැබුවා. මට මතක හැටියට එදා තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ අඩුම කාලයකින් පාර්ලිමේන්තු රුස්වීමක් අවසන් වුණේ. එදා මිනිත්තුවක්වත් ගතවුණේ නෑ. ඒකත් අමතක නොවන සිදුවීමක්.''
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් නිසි පියවර ගැනීමේ බලධාරියා වන්නේ වේත්‍රධාරීවරයාය. එක් සමයක පාර්ලිමේන්තුව ඇතුළට වතුර බෝතල් ගෙන ඒමේ තහනම ගැන ඔහු මතකය අවදි කළේ මෙසේය.
“දවසක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවන් මම පියවරක් ගත්තා. ඒ තමයි බැහැරින් වතුර බෝතල් පාර්ලිමේන්තුව ඇතුළට ගෙන ඒම නැවැත්තුවා. මට මතකයි ඒකට සමාජ මාධ්‍යයෙත් එක් වෙබ් අඩවියකිනුත් මට නමක් පටබැඳ අපහාස කළා. ඒ සඳහා කාර්ය මණ්ඩලයේ අයගෙත් සහාය ලැබී තිබුණා කියා මට ආරංචි වුණා. මම මේ වෙනකල් ඒ අය ගැන මම දන්නවා කියලා ඇඟෙව්වේවත් නෑ. ඒ හැමෝම ගැන දැනගෙන මම මගේ රාජකාරිය අකුරට කළා. මම ජීවිතය තේරුම් ගත්තෙ අභියෝග මැද්දෙ තමන්ගෙ අරමුණට නොසැලී යන්න ඕනෑ. අපි පාර්ලිමේන්තුවෙ වැඩ කරද්දි කරන්න වෙන්නෙ බලය සහිත පුද්ගලයන් එක්ක. එතකොට සාමාන්‍ය ජනතාව සමග වැඩ කරනවාට වඩා අමාරුයි. ඒත් මම මගේ සේවා කාලයේ උපරිම සේවයක් කළා කියා හිතනවා.”
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සියලුම උත්සවීය අවස්ථා නිසි ප්‍රමිතියට අනුකූලව ප්‍රධාන උත්සවීය නිලධාරියා ලෙස සංවිධානය සහ මෙහෙයවීමේ කාර්යය පැවරෙනුයේ වේත්‍රධාරීවරයාටය. ජනාධිපතිවරයෙක් ප්‍රථමවරට පාර්ලිමේන්තුවෙන් ඡන්දයෙන් තෝරාපත් කරගත් අවස්ථාව මෙරට දේශපාලන ඉතිහාසයේ එක් ඓතිහාසික අවස්ථාවකි. එම අවස්ථාව පිළිබඳ නරේන්ද්‍ර ප්‍රනාන්දු මෙසේ මතකය අවදි කළේය.
“මෙයට පෙර මෙවැනි අවස්ථාවක් ආවේ ඩී.බී. විජේතුංගගෙ කාලයේ. විජේතුංග මහත්තයා නිතරගයෙන් තේරී පත් වූ නිසා ඡන්දයක් ගියේ නෑ. මෙවර ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේ අපි හැමෝම එකතු වෙලා කාටවත් ඇඟිල්ලක් දිගුකරන්න බැරි වෙන විදිහට අපේ රාජකාරිය අපි අකුරටම ඉටුකළා. පැවති ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඔහුට දිවුරුම් දෙන්න ස්ථානයක් තිබුණේ නෑ. සාමාන්‍යයෙන් ජනාධිපති කාර්යාලයේ තමයි දිවුරුම් දෙන්නේ.ඒ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කතා කරා. මගෙන් ඇහුවා ඔහුට පාර්ලිමේන්තුවෙ දිවුරුම් දෙන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. මට එම අවස්ථාවට අවශ්‍ය පහසුකම් සලසන්න ලැබුණේ පැය 24 යි. ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපතිවරයෙක් ප්‍රතිඥාව දුන්නා පාර්ලිමේන්තුවේදී. ඒකත් ඓතිහාසික අවස්ථාවක්. ඒ අභියෝගයත් මම ජයගත්තා.”
එදා මෙදාතුර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ වේත්‍රධාරීවරයාගේ කාර්යභාරය ඉමහත්ය. වේත්‍රධාරී පත් කිරීම සහ විශ්‍රාම යාම පාර්ලිමේන්තුවේදී නිවේදනය කිරීම සම්ප්‍රදාය වන්නේය. වේත්‍රධාරියා විශ්‍රාම යන අවස්ථාවේදී සේවය අගය කිරීමේ යෝජනාවක් සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ දිනයක් වෙන් කරනු ලැබේ. නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ විශ්‍රාම ලැබීමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරීවරයා වූයේ කුෂාන් සම්පත් ජයරත්න මහතාය. අපි ඔහුට සුබ පතමු.
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාණනි, ඔබට සුවබර විශ්‍රාම දිවියක් පතමු.
I සසංක චලන ගිම්හාන