''අද දිනය විශේෂ උතුම් දිනයකි. ලංකා වැසියෝ සියලු දෙනාටම ප්‍රීතියක් යෙදෙන දිනයක් ය. අවුරුදු දෙදහස් ගණනක් නිදහස් ජාතියක්‌ව සිටි, අවුරුදු හාරසිය ගණනක් නිදහස ආරක්‍ෂා කරනු පිණිස අපේ මුතුන් මිත්තෝ තමුන්ගේ ජීවිත පුද කර ආරක්‍ෂා කරගන්නට බලාපොරොත්තු වූ ලංකාව, අවුරුදු එකසිය ගණනකට ඉස්‌සර ඒ ආරක්‍ෂාව ප්‍රවේශම් කරන්න බැරි වූ නිසා ඉංග්‍රීසි කිරීටයට අපේ ලංකාව පාවාදෙන්නට හේතු විය. ඒ පාවාදීම මේ අවුරුදු ගණනාවකට පස්‌සෙ ආයෙ විඩයක් අපේ ලංකාව ලාංකිකයන්ටම බාර දුනි.''
මේ කතාව පැවැත්වූයේ මීට වසර 76කට පෙර 1948 පෙබරවාරි 4දා පළමු නිදහස් දා මෙරට පළමු අගමැති ඩී.එස්. සේනානායක යි. ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමෙනුයි.
එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වැනිදා පෙ.ව. 07.30 ට එළැඹුණු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොන්ක් මේසන් මුවර්, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වුණේ කොළඹ රජගෙදරදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුම් දුන් අතර සැම පන්සලකම ඝණ්ඨා නාද කෙරිණි.
පසුගිය වසරේ අප රටේ 75 වැනි නිදහස් උත්සව ජුබිලිය පැවැත්වුණි. රට ආර්ථික අර්බුදයක ගිලී, ජනතාවට එදාවේල ගතකිරීමට තරම් හෝ වත්කමක් නොමැතිව සිටින අවස්ථාවක ඒ අවුරුද්දේ නිදහස් දින සැමරුම් වෙනුවෙන් ශ්‍රී ලංකාව වියදම් කළ මුදල රු. කෝටි 37ක් බව කියැවේ. නමුත් එවර නිදහස් සමරු උළෙල සඳහා වන දළ ඇස්තමේන්තුගත වියදම වූයේ රු: මිලියන 162.8 කි. එයින්ම අපට පෙනෙන්නේ ලංකාව කෙතරම් බංකොලොත් වුවත් ජනතාව වේලක් නොකා ජීවත් වුණත් සංදර්ශනවලින් නම් අඩුවක් නැති බවය. එමෙන්ම ඇස්තමේන්තු කරන මුදල වැඩේ ඉවරවන විට දෙගුණයකටත් වඩා වැඩිවන බවය. මෙය නිදහස් උත්සවයට පමණක් නොව ආණ්ඩුවේ සෑම වියදම් ක්ෂේත්‍රයකම දක්නට ලැබෙන්නකි. ජනාධිපතිවරයාගේ වියදම් ඇස්තමේන්තුව මදි වී පසුව තවත් වියදම් පාර්ලිමේන්තුවෙන් අනුමත කරවා ගැනීම සාමාන්‍ය දෙයක් වී ඇත.
මෙවර පවත්වන 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වන බවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගණන් බලා තිබේ යැයි මාධ්‍යවල වාර්තා විය. ඒත් උත්සවය අවසන් වන විට තව කොපමණ වියදම් වී තිබේදැයි අපට දැන්ම කියන්නට නොහැකිය.
පසුගිය 2023 ජාතික නිදහස් දින උත්සවයට ආරාධිතයන් 3500ක් කැඳවා තිබුණද මෙවර 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා එම සංඛ්‍යාව 1000කින් අඩුකර ආරාධිතයන් 2500ක් පමණක් කැඳවීමට නියමිත බවත් වාර්තා විය. වෙනදා නිදහස් උත්සව නැරඹීමට සාමාන්‍ය ජනතාව ද උනන්දුවෙන් සහභාගි වූහ. නමුත් රට හොරකමේ මධ්‍යස්ථානයක් වූ පසුව ජනතාව මේ උත්සව නරඹනු වෙනුවට ඒවාට දොස්කීමට පුරුදු වී සිටී.
‘‘අපට හාල් ටිකක් ගන්නවත් නිදහසක් නෑ. තුන්වේල කන්න නෑ. ඒ අස්සේ නිදහස් සංදර්ශන ඒගොල්ල කරනවා. අපිට ටීවී එකෙන් ඒවා දිහා බලල සතුටු වෙන්න කියලයි ආණ්ඩුව කියන්නේ.* රජයේ සේවකයකු වන තිසර පෙරේරා අප සමඟ පැවසුවේ එසේය.
මේ ලිපිය ලියන අවස්ථාවේදීත් නිදහස් උත්සවයේ පෙරහුරු සංදර්ශන පැවැත්වේ. ඒ සඳහා ජනතාවගෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නම් නැත.
“රජය ජනතාව පීඩාවට ලක්කරලා, විශාල වශයෙන් ඉහළ නංවපු බදුවලින් ලබාගන්නා ආදායම මේ වගේ ඵලදායී නොවන සංදර්ශනවලට නාස්ති කිරීම මහජන නියෝජිතයන් තමන් නියෝජනය කරන ජනතාවගේ අභිලාෂයන් සහමුලින් උල්ලංඝනය කිරීමක්,” සමහරු ප්‍රකාශ කරති. මේ සංදර්ශනවලට විරුද්ධව සමාජ මාධ්‍යවල නිතර අදහස් හුවමාරු වනු පසුගිය දිනවල දක්නට ලැබුණි.
නිදහස යන වචනයේ අරුත දීන භාවයෙන් හා දාස භාවයෙන් මිදීමය. කොටින්ම වෙනත් කෙනකුගේ වහලෙක් නොවී ජීවත්වීමට හැකියාව ලැබීමය. එය දේශපාලන නිදහස පමණක් නොවේ. සමාජ ආර්ථික නිදහස ද එයට අයත් වේ. එහෙත් අපේ රටේ නම් එවැනි අදීන මිනිසුන් සිටීදැයි ගැටලුවකි. සමහරු දේශපාලන හොරුන්ගේ වහලුන් වී සිටිති. ඒ අතර රට ජාත්‍යන්තරයෙන් ලබාගත් ණය ගෙවිය නොහැකි යැයි පවසමින් ජාත්‍යන්තරය තුළ අපගේ බංකොලොත්භාවය පිළිගෙන ඇති අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආයාචනා කරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ළඟ දණගසා ඔවුන්ගේ කොන්දේසි යැයි කියමින් රටේ ජනතාව මතට බදු පිට බදු ගසන්නට පටන්ගෙන ඇත. මෙබඳු පරිසරයක සුරුකිව ඇති නිදහස කුමක්දැයි පුරවැසියාට සිතාගත නොහැකිය. පවත්වන විච්චූරණ නිදහස් උත්සවවලට පුරවැසියන් විරුද්ධ වන්නේ එහෙයිනි.
ශ්‍රී ලංකාව සිය අවසන් යටත්විජිත ස්වාමියා වූ බ්‍රිතාන්‍යයන්ට සමු දී මේ වනවිට අවුරුදු 76ක් ගෙවී ගොස් ඇතත් තවමත් වහල්භාවයෙන් මිදීමට හැකියාවක් ලැබී නැත. මේ දිනවල මුහුණුපොතේ සංසරණය වන එක් පෝස්ටුවක සඳහන් වන්නේ පෙබරවාරි 4දා සුද්දන්ගෙන් නිදහස්වීම සමරන අපි අවුරුද්දේ අනෙක් දවස් 364ම උත්සාහ කරන්නේ සුද්දන්ගේ රටට පැනගන්නට බවයි.
දේශපාලන හොරුන්ගේ පිහිටෙන් රට ආර්ථිකව බංකොලොත් වී, වැටුප් ගෙවීමට, මැතිවරණ පැවැත්වීමට, හෝ අත්‍යාවශ්‍ය දෑ ආනයනය කිරීමට තරම්වත් වත්කමක් නොමැති වුවද, නිදහස් දිනය උත්කර්ෂවත් ලෙසින් සැමරීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. මෙම අනවශ්‍ය වියදම් සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ මෙන්ම මෙවරත් දැඩි ජනතා විරෝධයක් මතුව තිබේ.
ජනාධිපතිවරයා ටික කලකට පෙර පැවසුවේ 2048 වනවිට එනම් “නිදහසේ 100 වැනි සංවත්සරය සමරන වසර වන විට අපට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වීමට හැකි වනු ඇති බවයි. එය ජනතාව නම් බාරගත්තේ තවත් දේශපාලන නරිවාදමක් ලෙසිනි.
1948 දී බ්‍රිතාන්‍යයන් ඩොමිනියන් තත්ත්වය ප්‍රදානය කර රටින් පිටත්ව යන විට ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකය ලෙස පැවතුණි. මේ වනවිට අපේ රට රටවල් පනස් ගණනක ලැයිස්තුවේ 30 වැනි ස්ථානයට පත්ව සිටී. ආසියාවේ ඉහළම ආර්ථිකය (ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව) දැන් ඇත්තේ සිංගප්පූරුවේය. එහි 15 වැනි ස්ථානය අපගේ කුඩා අසල්වැසියා වන මාලදිවයින් දූපත් රාජ්‍යයට හිමිව ඇත. මෙම දූපත් රාජ්‍යයන් දෙකම ලංකාව සේ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ව පැවති අතර, නිදහස ලැබුවේ අපටත් දශක දෙකකටට පමණ පසුවය. මෙම රටවල් දෙකම ලංකාවට වඩා ඉතා කුඩාය. නමුත් ඔවුන් සංවර්ධන හිණිපෙලේ ඉහළට නගිද්දී අපි තෝරාගෙන ඇත්තේ ප්‍රතිවිරුද්ධ දිශාවයි. එනම් සංවර්ධනය අර්ථ දැක්වෙන්නේ එක් එක් දේශපාලනඥයාගේ ඕනෑඑපාකම් මත මිස නිසි ආර්ථික විශේෂඥ මතයක් ලෙස නොවේ.
කාලතුවක්කු සහිත නවීන යුද ටැංකි, ගුවන් හමුදා සංදර්ශන, හමුදා පෙළපාලි සහ තුවක්කු ආචාර මගින් අවුස්සන්නේ ව්‍යාජ ජාතික අනුරාගයක් මිස සැබෑ දේශප්‍රේමයක් නොවේ. රට කරවන දේශපාලනඥයන්ට ඇත්තේ මෙතරම් බංකොලොත් අවස්ථාවකදී පවා රටේ මුදල්වලින් හොරකම් කිරීම බව මේ දිනවල අසන්නට ලැබෙන හොර එන්නත් මගඩියෙන් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු අවස්ථාවේ අගමැති ඩී.එස්. ගේ කතාවේ කොටසක් මෙසේය:
“සිංහල, ද්‍රවිඩ, මරක්කල, ලන්දේසි සහ ලංකාවට උරුම කියන කවුරුත් එක්සත් වී, එක සහෝදර ප්‍රේමයෙන් එක බැම්මෙන් බැඳී ධෛර්ය දා අපේ රටේ, අපේ ජාතියේ, අපේ මනුෂ්‍යයන්ගේ දියුණුව වැඩි කරගන්නට හිතට ගමු. අපට මේ ලංකාව දියුණු කර ගන්නට ඕනේ නම් අප සියලු දෙනාම එකා වාගේ ජාති භේදයක්, කුල භේදයක්, ආගම් භේදයක් නැතුව සහෝදර ප්‍රේමයෙන් එක ජනයා හැටියට ක්‍රියා කරන්න සිතට ගමු.*
නමුත් නිදහස ලබා මෙතරම් කල් ගතවී ඇතත් අප තවමත් සහෝදර බැම්මෙන් ශක්තිමත්ව නැත. ඡන්දයක් කිට්ටු වනවිට සමහර දේශපාලනඥයන් ජාතිවාදය අවුස්සා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයකි.
ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තම පුතාගේ මුල් ගුරුතුමා අමතා ලියූ පහත සඳහන් ප්‍රකාශය මේ නිදහස් දිනයේ දි අපේ රටට කදිමට ගැලපේ:
“තමන් විසින් උපයා ගනු ලබන ඩොලරය අනුන්ගේ පවුම් පහකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න. පරාජය ඉවසන්නට ඔහුට උගන්වන්න. එමෙන්ම ජයග්‍රහණය සතුටින් විඳ දරා ගන්නට උගන්වන්න. වෛරයෙන් ඔහු මුදා ගන්න. ඔබට හැකිනම් සන්සුන් ලෙස සිනාසීමේ රහස ඔහුට කියා දෙන්න.
I කුසුම්සිරි විජයවර්ධන