2003 වසරේ අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත අනුව ස්ථාපිත කර ඇති ජාතික පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වන ස්වාධීන ආයතනයකි. මෙම මුල් පනත පසුව 2021 අංක 20 දරන පාරිභෝගික කටයුතු අධිකාරී සංශෝධන පනත මගින් සංශෝධනය කර තිබෙන්නේ එහි බලතල හා කර්තව්‍යයන් පුළුල් කිරීම සඳහාය. සභාපතිවරයා ඇතුළු පූර්ණකාලීන සාමාජිකයන් තිදෙනෙකුගෙන්ද අධ්‍යක්ෂ ජනරාල්වරයකුගෙන්ද මෙම ආයතනය සමන්විත වෙයි.
පාරිභෝගිකයා වෙනුවෙන් නිරන්තර අවදියෙන් සිටින බව දැක්වෙන පාරිභෝගික සේවා අධිකාරිය කොළඹ වොක්ෂෝල් වීදියේ ප්‍රධාන කාර්යාලය හැරුණුවිට සෑම දිස්ත්‍රික්කයකම විසිරුණු දිස්ත්‍රික් කාර්යාල 25කින් සමන්විත වෙයි. විමර්ශන නිලධාරීන් 310 දෙනෙකුද ඇතුළුව මෙහි සමස්ත කාර්ය මණ්ඩලය 450ක් පමණ වෙයි.
පාරිභෝගික කටයුතු පනතේ 10 වැනි වගන්තිය අනුව සෑම භාණ්ඩයකම මිල ඇසුරුමේ හෝ තොගයේ ප්‍රදර්ශනය කළයුතු අතර උපරිම අලෙවි මිල පිළිබඳ ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ හැකිය. 12 වගන්තිය අනුව ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ අලෙවි කළයුතු අතර 13 වගන්තියට අනුව අධිකාරියට ලැබෙන පැමිණිලි පිළිබඳ විභාග කර තීරණයක් දීමට කටයුතු කරන අතර එම තීරණ පිළිබඳ වෙළෙන්දා සහ පාරිභෝගිකයා එකඟ විය යුතුවෙයි. පනතේ 15 වන වගන්තියේ දැක්වෙන්නේ විකුණන භාණ්ඩ ප්‍රදර්ශනය කළයුතු බව සහ භාණ්ඩ සන්තකයේ තබාගෙන නොවිකුණා සිටීමට හෝ ඒවා නොමැති බව පැවසීමටද නොහැකි බවය. එසේම අලෙවි කරන විට විවිධ කොන්දේසි පැනවීමටද වෙළෙන්දාට නුපුළුවන. මෙම වැරදිවලට චෝදනා ලබන්නට මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පැවැත්වෙන ලඝු නොවන නඩු විභාගයකදී දඩ මුදල් හා වන්දි අයකර ගැනීමට හැකියාව පවතී.
කෙසේ වුවද පාරිභෝගික සේවා අධිකාරිය ස්වකීය යුතුකම් සහ වගකීම් නිසි පරිදි ඉටු කරගෙන යනවාද යන්න ගැටලු සහගත ප්‍රශ්නයක් බවට පත්ව ඇත. එම ආයතනය නිසි පරිදි තමාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරන්නේ නම් වෙළෙඳ ඒකාධිකාරයට යටවී ඇති දුප්පත් පාරිභෝගිකයාට යම් පමණක හෝ අස්වැසිල්ලක් ලැබිය හැකි බව බොහෝ දෙනකු පෙන්වා දෙති. එහෙත් බඩුත් නඩුත් යන දෙකම හාමුදුරුවන්ට අයිතිව ඇති සමයක ලබාගත හැකි සහන ඉතාම මඳ බව කිවයුතුව තිබේ. පාරිභෝගිකයා මේ වනවිට අසරණව සිටියි.
පසුගියදා නිකුත් කළ විගනකාධිපති වාර්තාවකින් දැක්වෙන්නේ පාරිභෝගික ගැටලු ක්ෂණිකව ඉදිරිපත් කිරීමට සහ පාරිභෝගිකයාට වෙළෙඳපොළ මිල ගණන් දැනගැනීම සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැයකර තැනූ මෘදුකාංගය ක්‍රියාත්මක නොවන බවය. 2015 වසරේ ස්ථාපිත කළ අංක 1977 දරන පාරිභෝගික විමසුම් සේවා මෘදුකාංගය සඳහා රුපියල් ලක්ෂ 50ක් සහ එහි ප්‍රචාරණ කටයුතු සඳහා තවත් ලක්ෂ 40ක්ද වැයකර තිබේ. එහෙත් එම මෘදුකාංගයේ පවතින විවිධ දුර්වලතා නිසා එය ක්‍රියාත්මක තත්ත්වයේ නැති බැවින් අපේක්ෂිත කාර්යය ඉටුකර ගැනිමට නොහැකි බවද විගණන වාර්තාවේ දැක්වේ. එසේම විගණන වාර්තාවේ දැක්වෙන තවත් වැදගත් කරුණක් වනුයේ 2018 වසරේ සිට 2022 දෙසැම්බර් දක්වා ලැබී ඇති පැමිණිලිවලින් 1363ක විමර්ශන කටයුතු අවසන් කර නොමැති බවය.
අධිකාරියේ සේවකයන්ට විරුද්ධව විවිධ දූෂණ චෝදනා නැගේ. වැරදි කිහිපයක් හසුවූ විට සුළු වරදට පමණක් නඩු පැවරීම, අත්අඩංගුවට ගන්නා පාරිභෝගික ද්‍රව්‍ය ආපසු වෙළෙන්දාටම දීම, වැටලීමට එන බව කල් ඇතිව දැන්වීම මේ ආදී වශයෙන් කූට වෙළෙඳුන්ගේ පැත්තේ හිට ගනිමින් යමක් කමක් හරි හම්බ කර ගන්නා නිලධාරීන් බොහෝය. එදා සිදුවූවේද එයයි. අද සිදුවෙමින් පවතින්නේද එයයි. එහෙත් පාරිභෝගික සේවා අධිකාරියේ අවංක කාර්යක්ෂම නිලධාරීන් නැත්තේම නොවේ.අතලොස්සක් හෝ සිටිති. එහෙත් දූෂිත නිලධාරීන් ඒ අය යටපත් කරගෙන සිටින බවක් නම් පෙනෙන්නට තිබේ. ඇතැම් නිලධාරීන් පිළිබඳ සමහර සංවිධාන ස්ථාන සහ නම් ගම් ඇතුව පැමිණිලි කර තිබුණද වැඩක් සිදුවන්නේ නැත. මැණික් ගල් යටගොස් ගොම රිටි උඩට මතුවෙමින් තිබේ. කෙටි කාලයකදී විශාල ගෙවල් දොරවල් තනන්න, යාන වාහන මිලට ගැනීමට, බැංකු ගිණුම් ඉදිමුවා ගැනීමට ඇතැම් නිලධාරීහු භාග්‍යවන්ත වෙති. ඔවුන් ගැන සොයාබලන කෙනෙක් නැත. එක්තරා නිලධාරියකු ලියුම්කරු සමග පැවසුවේ පාරිභෝගික සේවා අධිකාරියේ බෙදාගෙන කෑමක් මිස බදාගෙන කෑමක් සිදු නොවන නිසා සියල්ල යට යන බවය.
පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.පී. විජේසිංහ:
''වෙළෙඳුන්ගේ අකටයුතුකම් සෙවීම සඳහා අලුතින් වැටලීම් හා විමර්ශන අංශයක් තනලා එහි ප්‍රධානියා ලෙස විශ්‍රාමික පොලිස් නිලධාරියකු පත්කර තවත් විමර්ශන කණ්ඩායමක් යොදවලා තියෙනවා. මෙයින් බලාපොරොත්තු වන්නේ එම වැටලීම් කාර්යක්ෂම කර වෙළෙඳපොළ නිසි ලෙස නියාමනය කිරීමටයි. වෙළෙඳපොළ තුළ පැවතිය යුතු මිල පිළිබඳ වෙළෙන්දා සහ පාරිභෝගිකයා දැනුවත් කරන අතර පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළෙඳුන් පිළිබඳ වැටලීම් කර නීතිමය පියවර ගැනීම මෙම අලුත් ඒකකයෙන් සිදුකෙරෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද යොදවාගෙන මිල කිරීම පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.
වාර්ෂික පිරිවැටුම මිලියන 80 ඉක්මවන අය වැට්වලට අඩංගු වෙනවා. එසේම වැට් අය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීමක් කරනවා. ඕනෑම භාණ්ඩයකට එක්වරක් පමණයි වැට් අයකළ හැක්කේ. නිෂ්පාදකයා වැට් අය කරන්නේ නම් යළිත් ඒවා අලෙවි කරන කොට හෝ බෙදාහරින විට වැට් අයකරන්න බැහැ. එහෙත් ඇතැම් භාණ්ඩවලට දෙතුන් පාරක් වැට් වදිනවා. වෙළෙඳුන් වැට් කියලා මිල වැඩිකර විකුණන අතර එම බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැරවෙන්නේ නැහැ. එහෙත් මේ ක්‍රියාමාර්ගය නිසා භාණ්ඩ මිල යළි යළිත් ඉහළ යාමට නොහැකියි. නිෂ්පාදකයා බදු අය කරනවා නම් සුපිරි වෙළෙඳසල්වලට පවා යළිත් වැට් අයකරන්න බැහැ. එසේම භාණ්ඩයේ මිල කීයද? වැට් එක කීයද කියන එක ගැන පාරිභෝගිකයා දැනුවත් විය යුතුයි.
ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසන්නේ ලබන මාර්තු 15 දිනට යෙදී ඇති ජාතික පාරිභෝගික දිනයේදී තම සංවිධානය පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිළිබඳ වැඩසටහනක් දියත් කරන අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිද්‍රාශීලී පිළිවෙතට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර අධිකාරියේ වර්තමාන සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමට කටයුතු කරන බවය.
''පාරිභෝගික සේවා අධිකාරිය මිල වැඩිවෙලා පාරිභෝගිකයා හිරිහැරයට ලක්වූ කිසිදු අවස්ථාවක ඔහු බේරා ගැනීමට මැදිහත්වෙලා නැහැ. දැන් පසුගිය දිනවල එළවළු මිල ඉතාම අධික ලෙස වැඩිවුණා. එය අඩු කිරීමට මෙම අධිකාරිය මොනවද කළේ? එළවළු මිල බැස්සවීම අධිකාරියට අයිති රාජකාරියක් නොවෙයිද? ඇමැති උත්සාහ කළේ එළවළු රටින් ගේන්නටයි. ඒක ඒ අයගේ වෙනම න්‍යාය පත්‍රයක්. අපි මාධ්‍ය සමඟ එකතුවෙලා මිල වැඩි එළවළු මිලට ගැනීමෙන් වැළකීමේ ව්‍යාපාරයක් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට කැරට්, බෝංචි, මාළු මිරිස් ආදී බොහෝ එළවළු මිල බස්සන්නට පුළුවන් වුණා. එය රජය කළ දෙයක් නොවෙයි.
I යසවර්ධන රුද්රිගු