ලොරෙන්සෝ පුතා 4 බහුදින යාත්‍රාව සිය මංගල මුහුදු ගමන පිටත්ව තිබුණේ ජනවාරි 12 වැනිදාය. දික්ඕවිට වරායෙන් පිටත් වූ යාත්‍රාව සඳහා ධීවර කාර්මිකයන් හය දෙනෙක් සහභාගි වූහ. මංගල ගමන අරඹා දින 15ක් ගතවූ ඉකුත් 27 වැනිදා එම යාත්‍රාව සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබුණේ අනපේක්ෂිත ලෙසය. පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව ෂීසේල්ස් වෙරළාරක්ෂක බලකාය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ධීවර යාත්‍රාව හා එහි රුඳී සිටි ධීවර පිරිස නිරුපද්‍රිතව මුදාගැනීමට සමත්ව තිබිණි.
පැහැරගත් යාත්‍රාවේ සේවය කරමින් සිටි ධීවර කාර්මිකයන් පිරිස අතර අවිශ්ක කෞෂල්‍ය, ඉසුරු ප්‍රනාන්දු, කනිෂ්ක ප්‍රනාන්දු, ක්‍රිෂාන්ත ප්‍රනාන්දු හා රකිත දසුන් ඇතුළු පිරිසක් වූහ. මොවුන් අතර දෙදෙනකු එකම පවුලේ සහෝදරයන් බවද වාර්තා වේ.
ඉකුත් 29 වැනිදා සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් ග්‍රහණයේ පැවති යාත්‍රාව හා ධීවර පිරිස මුදාගත් මෙහෙයුම තුළදී කොල්ලකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලකොට තිබෙන බවත් ඊට ෂීසෙල්ස් වෙරළාරක්ෂක බලකා නිලධාරින් ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් නාවික හමුදාව වාර්තා කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ධීවර පිරිස රුගත් යාත්‍රාව ඉකුත් 29 වැනිදා බේරාගැනීමට සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතන් ගයාන් වික්‍රමසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
මංගල ගමන ඇරඹූ ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ධීවර පිරිස හා යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන ඇති බව එම යාත්‍රාවේ හිමිකරු ෆ්‍රුන්සිස් මිල්රෝයි පෙරේරා මහතාට දැනගැනීමට ලැබී ඇත. ඔහුට ආරංචි වී ඇත්තේ ධීවරයන් හා යාත්‍රාව අප්‍රිකාවට විකිණීම සඳහා පැහැරගෙන ඇති බවකි.
සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රාකරුවන්ගේ සංගමය හරහා සිදුවීම ධීවර දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේ ඉන් පසුවය. මෙම යාත්‍රාව අරාබි මුහුදු ප්‍රදේශයේදී කොල්ලකරුවන්ට හසුව ඇති අතර එය මුදාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලීමක් කොට තිබුණේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගිනි.
මේ වනවිට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා විසින් අදාළ මුදාගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාට දන්වා තිබිණ. ඒ මහතාගේ උපදෙස් මත වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාළ සිදුවීම හා එම මුහුදු කලාපය නිරීක්ෂණය කරමින් මෙහෙයුම සඳහා නායකත්වය ලබා දුන්නේය. එහි පළමු පියවර වශයෙන් පැහැරගත් යාත්‍රාව සෝමාලියාව දෙසට රුගෙන යමින් සිටින බවට අනුමාන කර ගත්තේය. ඒ අනුව බහරේනයේ පිහිටි ත්‍රස්ත මර්දන, සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අමතා මෙරට නාවික හමුදාව විසින් ඇවැසි සහාය ඉල්ලා තිබේ. එම මධ්‍යස්ථානය හරහා සෙසු මුදවා ගැනීම් මධ්‍යස්ථාන දැනුම්වත් කොට ඒකාබද්ධ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 39ක සාමාජිකත්වය දරන ඉහත මධ්‍යස්ථානය හරහා කඩිනම් මෙහෙයුමක් ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඔහු පැවසුවේ මෙරට සිට නාවික හමුදාව ක්‍රියාත්මක වීමට කල්ගත වන නිසා ඊට පෙරාතුව මෙම ක්‍රියාමාර්ගය ගැනීම නිසා කඩිනම් පියවර ගැනීමට හැකි වූ බවය. එම මෙහෙයුම සිදුකරන අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ කණ්ඩායම් දෙකක් ඒ සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටියේය.
පැහැරගත් යාත්‍රාව සෝමාලියාව දෙසට රුගෙන යන බවට මුලින් සැක කරමින් සිටියද පසුව නිශ්චිතව අනාවරණය කරගෙන තිබුණේ යාත්‍රාව හා ධීවර පිරිස සීෂෙල්ස් දූපත දෙසට යන බවකි. මේ අනුව නිරන්තර අවධානයෙන් පසුවූ නාවික හමුදාව කලාපීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ ආරම්භ කළ ඒකාබද්ධ මෙහෙයුමේදී සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායට අයත් ''TOPAZ'' නැමැති වෙරළාරක්ෂක මුර සංචාරක නෞකාව මෙහෙයුමට යොදවා තිබිණ. ඊට අමතරව සීෂෙල්ස් රාජ්‍යයට අයත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් මෙහෙයුම සඳහා යොමුකර තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. TOPAZ යාත්‍රාව එරට මාහේ දූපත සිට නාවික සැතපුම් 230ක් පමණ දුර ඈත මුහුදේ මෙහෙයුම සිදුකර තිබෙන අතර සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබෙන බවද වාර්තා විය. ප්‍රතිප්‍රහාර එල්ල කළ සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකා නිලධාරීන් හමුවේ පසුබැස ගිය කොල්ලකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ඒ අතර ලාංකික ධීවර පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබෙන අතර ඔවුන් සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරාය වෙත රුගෙන යාමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මුහුදු කොල්ලකරුවන්ට වඩා සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායට පැවති බලය නිසා වෙනත් ගැටලුවකින් තොරව පිරිස මුදාගැනීමට හැකි වූ බව නාවික හමුදාව වාර්තා කළේය. අඩි 50ක් දිග මෙම යාත්‍රාව මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් තරම් දුරකදී පැහැර ගැනීමට ලක්ව තිබිණ. ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන පරිදි බහරේනයේ මූලස්ථානය පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකාය හා ෂීසේල්ස් රාජ්‍ය හා මෙරට හමුදාව අතර පවතින ශක්තිමත් සබඳතාව නිසා මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවය. ඒ අනුව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය තානාපති කාර්යාල හරහා කටයුතු කොට මෙරට ධීවරයන් හයදෙනා සහ යාත්‍රාව කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.
මේ අතර සමස්ත ලංකා බහුදින යාත්‍රාකරුවන්ගේ සංගමය අනාවරණය කරන්නේ අරාබි මුහුදු ප්‍රදේශයේ මෙරට ධීවර යාත්‍රා පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිතිපතා රුඳී සිටින බවකි. එම යාත්‍රා සියල්ල මෙන්ම ඒවායේ ධීවර කාර්මිකයන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක සිටින බැවින් ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු පාර්ශ්වවල අවධානය යොමුකරන ලෙසද සංගමය ඉල්ලා සිටී.
I සමන්ත විල්තෙර