2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

මෛත්‍රී පාලනයට චන්ද්‍රිකාත්

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

දේශපාලන තිරයෙන් එහා සිදුවන නාටක දැන් දවසෙන් දවස වෙනස්ය. සමහර ඒවා හිතාගැනීමට බැරිය, තවත් ඒවා විහිළු සහගතය. කෙසේ වෙතත් මේ හැමෝම හරිබරි ගැහෙන්නේ ජනාධිපතිවරණ සිහිනය සඳහාය.

ජනාධිපති සිහිනය සඳහා ඉතිහාසයේ පටන් විවිධ අපේක්ෂකයන් සඳහා සන්ධාන ගොඩනැගුණු බව මතකය. ලංකාවේ ජනාධිපතිවරයකු බිහිකිරීම සඳහා හොඳම සන්ධානය හැදුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායකටය. ඒ පොදුජන පෙරමුණය. ඊට පසුව මහින්ද රාජපක්ෂටය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ඊටත් පසුව මෛත්‍රීපාල සිරිසේනටය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි. කෙසේ වෙතත් ඒ මොහොතේ අලුතින් ගොඩනැගුණු සන්ධානය අපේක්ෂකයා දිනන මගට පාර කීය.

කෙසේ වෙතත් මෙවර කතාව වෙනස්ය. මෙවර අපේක්ෂයන් ගොඩකි. සන්ධාන ගොඩකි. ඒ නිසා වැඩේ ලේසි වන්නේ නැත. අප කියන්නට යන්නේ හදිසියේ ගොඩනැගෙන අලුත් සන්ධානයක් පිළිබඳවය. සන්ධානය අලුත් වුවත් ලකුණ, නම පරණ එකකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොළොවට හාන්සි කරන තැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ඉදිරියට පැමිණියේය. යහපාලනය නිසා කලකිරැණු බොහෝ පිරිස් මෛත්‍රී අත්හැර මහින්ද පසුපස ගියහ. ඒ නිසා මෛත්‍රීගේ මන්ත්‍රී කුලකය 14 කට සීමා විය. ඒ 14ත් මෛත්‍රී ලබාගත්තේ පොහොට්ටුව සමඟ සන්ධානගත වීමෙනි. දැන් පොහොට්ටුව බරපතළ කඩා වැටීමකට ලක්වී ඇති මොහොතක මෛත්‍රී තනි ගමනක් ආරම්භ කර ඇත්තේ ශ්‍රීලනිපයේ සුජාතභාවය රටට තහවුරැ කිරීමේ අරමුණ ඇතිවය. ඒ අනුව මෛත්‍රීපාල ප්‍රමුඛ ශ්‍රීලනිපය ඒ සඳහා ලොකුම හයිය කරගත්තේ පක්ෂයේ උරැමක්කාර පරම්පරාවේ එකම පුරැක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි. කාලයක් මාධ්‍ය ඉදිරියේ මෛත්‍රීට හොඳට ලුණු ඇඹුල් සහිතව කියාදුන් චන්ද්‍රිකා ද අද අලුත් සන්ධානයක් සඳහා එකඟතාවය පළ කර ඇත. ඒ මෛත්‍රීපාල සමඟ එකට හිටගැනීමටය. දේශපාලනයේදී මිතුරන්ද හතුරන්ද නොමැති බව පසක් කරන තවත් අවස්ථාවාදී අවස්ථාවක් ලෙස එය හැඳින්විය හැක. අපට කමක් නැත. එක අත්තේ වැසිය යුත්තේ සම පියාපත් ඇත්තන් බැවිනි.

ඒ අනුව අලුතින් බිහිකරන සන්ධානය එක්සත් ජනතා නිදහස් සන්ධානය නොව පොදුජන පෙරමුණ වූ පුටුව ලකුණයි. 1999න් පසුව නැවත කරළියට පැමිණෙන පුටුව ලකුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත්ම හැරවුම් ලක්ෂය බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. එය ඒ අයගේ මතය වුවත් ජනතාවගේ මතය අප දන්නේ නැත. එහෙත් ජනතාවගේ මතය මෙය යැයි හෝ ජනතා මතය වෙනස් කිරීමට හැකිවෙතැයි යන අදහසින් මේ සන්ධානය බිහිවන බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ වෙතත් මෙම සන්ධානයෙන් අපේක්ෂකයකු දේශපාලන තරග බිමට පැමිණේද නැද්ද යන්න තවම සහතික නැත. එහෙත් මේ සන්ධානයට නිමල් ලංසා පුමුඛ ‘සන්ධානය’ එක්වන බව දැනගන්නට ඇත. නිමල් ලංසලා මේ මොහොතේ කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති පුටුවේ වාඩි කරවීමටය. ඒ නිසා ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ එකම අරමුණ රනිල් වික්‍රමසිංහ මහතා රජ කරවීමටදැයි අප දන්නේ නැත. එහෙත් එක්ව‍රක් මෛත්‍රී කීවේ තමන් ජනාධිපති සටනට එන බවය. ඒ නිසා ඇත්ත මොකක්ද බොරැව මොකක්ද යැයි අපි නොදනිමු. නමුත් මෙතැන එක දෙයක් ස්ථිරය. එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කිසිදා අරමුණක් නොමැතිව ශ්‍රීලනිපය හා එක් නොවන බවය. ඒ නිසා මේ එකතුවීම හොඳ පිම්මකට යැයි අපි දනිමු. පිම්ම මොකක්දැයි ළඟදීම කරළියට පැමිණෙනු ඇත.

I ගයාන් ගාල්ලගේ