රාජ්‍ය සේවයේ වියදම් කප්පාදුවට සූදානම් වන බව පසුගියදා ප්‍රචාරය විය. එය ඉතාම හොඳ තීන්දුවකි. ජනතා සේවයට කැපවුණු රාජ්‍ය සේවය අද වන විට සිය සුඛවිහරණය සඳහා යොදාගැනෙන රටක අනවශ්‍ය වියදම් කැපීම ඉතාම යහපත් පියවරකි. මේ යෝජනාව මොන යම් අරමුණකින් රැගෙන ආවත් පරමාර්ථය කුමක් වුවත් රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපා දැමීම ජනතාවගේ සුබසෙතට හේතුවෙයි.
එකී යෝජනාවේ ප්‍රධාන කරුණක් වන්නේ රාජ්‍ය නිලධාරීන් අතිකාල දීමනා ලබාගන්නේ නම් ඒ අවස්ථාව හිමිවන්නේ වැටුපට හා සමාන ප්‍රමාණයකින් වීමයි. එය ඉතාම හොඳ යෝජනාවකි. අපේ රටේ රාජ්‍ය සේවයේ බහුතරයක් දෙනා වැඩිම ආදායමක් ලබන්නේ වැඩ නොකර අතිකාල දීමනා ලබාගනිමිනි. අඩුම තරමින් වැඩ නොකළත් කාර්යාලයේ හෝ රුඳී සිටීමට වගකීමක් තිබිය යුතුය. එහෙත් පුදුමය නම් ඇතැම් රාජ්‍ය සේවකයන් ඇඟිලි මුද්‍රාව තබා වෙන වෙන ගමන් ගොස් තම පෞද්ගලික වැඩ කටයුතු සිදුකර අවසානයේ අතිකාල දීමනා ලබාගැනීමට පෙළඹී සිටීමය.
වරාය, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, සෞඛ්‍ය ක්ෂේත්‍ර මෙකී අසාධාරණ අතිකාල දීමනා ලබාගැනීමේ කප් ගැසුවෝය. මේ ඇතැමුන් ජීවත් වන්නේම අතිකාල දීමනාවලින් පමණි. වැටුප හා දස ගුණයක අතිකාල දීමනාවක් ලබන මෙම රාජ්‍ය සේවකයන්ට උපරිම සහාය දෙන්නේ දූෂිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් බව කිව යුතුය. ඒ තමන්ගේ කුණු, දූෂණ, වංචා වසා ගැනීමටත්, තමන් වෙනුවෙන් සේවකයන් තබා ගැනීමත් අරමුණු කර ගනිමිනි. මේ නිසා රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනා යනු නිධානයකි.
එම යෝජනාවේ තවත් කොටසක් ඇත. එනම් විදේශ අධ්‍යාපනය සම්බන්ධයෙනි. මේ රටේ කාලයක් ඉහළ රාජ්‍ය සේවකයන් විදෙස් සංචාර සඳහා කණ්ඩායම් පිටින් පිටව ගියේ විදෙස් අධ්‍යාපනය ලබාගැනීමේ බොරුව පෙන්වමිනි. කොහේවත් නැති රුස්වීම්, සමුළු, පුහුණු බව පවසමින් කිසිම අදාළත්වයක් නොමැති විදෙස් සංචාර සඳහා බුරුතු පිටින් පිටව ගියේ අපේ භාෂාවෙන් කියතොත් ‘ආතල්’ ගැනීම සඳහාය. අන්ත පාඩු පිට පාඩු ලබන ආයතනවල ලොක්කන් ගත් එකී ආතල් නිසා අද වන විට එම ආයතන විකුණා දැමීමේ තැනට පත්ව තිබේ.
එසේම මෙම යෝජනාවලියේ තවත් යහපත් කරුණක් වන්නේ ප්‍රවාහන දීමනා හෝ නිල රථයක් හෝ ලබාගෙන සිටී නම් ආයතනයේ සංචිතයෙන් වාහන ලබාගැනීම තහනම් කිරීමය. ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීහු නිල රථවාහන ලබා දී තිබියදී එම වාහන නිවෙසේ බිරිඳට, දරුවන්ට පරිහරණය කිරීමට ලබා දී තමන්ගේ ගමන් සඳහා ආයතන සංචිතයේ වාහන භාවිත කරති. එසේ නැතහොත් ප්‍රවාහන වියදම් ලබාගෙන ගමන් පහසුව සඳහා සංචිතයේ වාහන යොදාගැනීම ප්‍රසිද්ධ සම්‍ප්‍රදාය වී තිබේ. එය කෙතරම් අප්‍රසන්න පිළිකුල් සහගත ක්‍රියාවක්දැයි අමුතුවෙන් කිවයුතු නැත. එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයේ හැටිය. එහෙත් හැමදාම අප බණින්නේ මේ රට කන්නේ දේශපාලනඥයන් බව කියමිනි. දේශපාලනඥයන්‍ට වඩා විශාල විනාශයක් සිදු කරන තවත් එක් පාර්ශ්වයක් වන්නේ මෙකී අකාර්යක්ෂම සහ දූෂිත රාජ්‍ය සේවයයි.
මෙතරම් පහසුකම්, සුව පහසුව ලබන රාජ්‍ය සේවය වෙත වැඩක් කර ගැනීමට ගියහොත් විනාඩි පහක වැඩකට දවස් පහක් ගතවන අවස්ථා තිබේ. සමහරුන් වගකීමෙන් වැඩ කිරීමට බොහෝ විට ඉදිරිපත් වෙන්නේ නැත. අරයාගෙන් මෙයාටත් මෙයාගෙන් අරයාටත්, අතැනින් මෙතැනටත්, මෙතැනින් එතැනටත් වැඩ එහාට මෙහාට මාරුවනු මිස ඇතැම් දිනක හරියට වැඩක් කරගැනීමට හැකිවන්නේ නැත. නැතිනම් ඔවුන් වෙත සේවයක් බලාපොරොත්තුවෙන් පැමිණෙන අහිංසක මිනිහාට නොසෑහෙන්න බැණුම්ය. එසේත් නැතිනම් අල්ලස් ගැනීම්ය. රෝහලේ ලෙඩකු රැගෙන යාමට රෝදපුටුව තල්ලු කිරීමට සීයක් දෙසීයක් නොදීම බැරිය, ප්ලෑනක් පාස් කරගැනීමට කීයක් හෝ නොදී බැරිය. නොදෙන්නේ නම් වැඩේ කරගැනීමට ලේසි පහසු නැත. ඒ තරමට රාජ්‍ය සේවය පදම් වී ඇත. එවන් පසුබිමක ඔවුන් ඇති තරම් සැප ගන්නට අමතක කරන්නේ ද නැත.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාත්මක පක්ෂ වෘත්තීය සමිතිය. තමන් සහාය දෙන පක්ෂය රාජ්‍ය බලය ගත් කල ආයතනය සම්පූර්ණයෙන් පාලනය කරන්නේ එම පිරිසය. එන ප්‍රධානියා ද දේශපාලන හෙන්චයියකු නිසා තම පක්ෂයේ වෘත්තීය සමිතිය කියන කරන ඕනෑම දෙයක් කිරීමට ඔහු නොපැකිලිව ඉදිරිපත් වෙයි. එවන් පසුබිමක රාජ්‍ය සේවයේ වියදම් කප්පාදුව පමණක් නොව රාජ්‍ය සේවයේ දේශපාලන පත්කිරීමේ පජාත ක්‍රමය ද කප්පාදු කළ යුතුය. එසේ නොමැතිව "අතීසාරයට අමුඩ ගසන වැඩ" තේරුමක් නැත. ගැලරිය පිනවීම සඳහා මෙකී වැඩ මාර වැඩ වුණත් රාජ්‍ය සේවය කාර්යක්ෂම රාජ්‍ය සේවයක් කිරීමට ලේසි කල්ගත වනු ඇත. ඒ ඉහත කී දෑ හේතුවෙනි. ඒ නිසා මෙම යෝජනා ක්‍රියාමාර්ග හොඳ වුවද පැහැදිලි ප්‍රතිඵලයක් පෙනෙන්නට නැත. වර්ජනයක් උද්ඝෝෂණයක් කළ සැණින් ඒ සියල්ල කැලේට විසිවනු ඇත. එබැවින් ගැලරිය පිනවන වැඩට වඩා අප බලාපොරොත්තු වන්නේ භූමියේ ඇත්තට සිදුවන වැඩය.
I ගයාන් ගාල්ලගේ