2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

සහරාවේ V8 වගේද ලංකාවේ මිනිස්සු!

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 91

අධිවේගී මාර්ගයේ වූ හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුගියදා මියගියේය. පසුගිය සතියේ මුළුරටම කතා කළේ ඒ ගැනය. මෙම රිය අනතුර සමාජ මාධ්‍යයේ පවා දැඩි කතාබහකට ලක්වූයේද ඔහු පුත්තලමේ සනත් නිශාන්ත වීම නිසා වන්නටත් පුළුවන. අනතුර සම්බන්ධයෙන් එකී මෙකී නොකී කතා අතර කණින් කොණින් කතා ඕනෑතරම් අසන්නට ලැබිණ. මේ කතාබහ වැඩිවන්නට අමාත්‍යවරයා ගමන් කළේ වී 8 ලෑන්ඩ්ක_සර් වර්ගයේ වාහනයක වීමද බලපෑවේය. වී 8 සහරා ලෑන්ඩ්ක_සර් වාහනය වර්තමානයේ බලවතුන්ගේ සහ මැති ඇමැතිවරුන්ගේ ප්‍රියතම සහ ප්‍රසිද්ධම වාහනය කිවහොත් නිවැරුදිය. මෙම වාහනය මුල්වරට නිෂ්පාදනය කර ඇත්තේ සහරා කාන්තාරය ආදී කිලෝමීටර දහස් ගණන් සහිත කාන්තාර ප්‍රදේශවල ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසමිනි‍. එහෙත් සහරාවටත් වඩා දැන් දැන් මෙම වාහනය දියවන්නාවේ ප්‍රසිද්ධය.

මැති ඇමැතිලාට වගේම ධනවතුන්ටත් බලවතුන්ටත් පොඩි පොඩි වාහන ගැන නිච්චියක් නිනව්වක් නැත. ඔවුන්ට පොඩි පොඩි කාර්, ත්‍රීවීල් මතක් වූයේ අරගල සමයේ පමණක් විය හැකිය. කෝටි ගණන්වල සුපිරි සැප වාහන පදින මැති ඇමැති රියැදුරන්ටත් රිය සුදුසුකමට වඩා ඇත්තේ එකී මැති ඇමැතිවරුන්ට ඇති ලැදියාවයි. මේ සිද්ධියේදීත් එහෙන් මෙහෙන් ඇහුණු කතා කෙසේ වුවත් ඒ අතර විද්වත් අදහස්ද මුහුණු පොත පුරා සතියක් තිස්සේ සැරිසැරුවේය. ජීවවිද්‍යා  විෂයයේ  ප්‍රවීණ ගුරුභවතකු වන ධනංජය ආරියදාස මහතා සනත් නිශාන්ත අමාත්‍යවරයා මුහුණ දුන් හදිසි අනතුර සම්බන්ධයෙන් මෑතකදී මතුකර තිබුණේ වෙනස්ම අදහසකි.  ඔහුගේ මූලික අදහස වූයේ වී 8 වාහනය සහරාවේ හැදුවාට යන මිනිස්සු ලංකාවේ කියාය.
“අධි වේගයෙන් යන වාහනයක් අනතුරකදී තත්ත්පර බාගයක් ඇතුළත නිශ්චල වීමට වාහනය මත නියුටන් ලක්ෂ 2ක පමණ බලයක් යෙදෙනවා. වාහනයට එහෙම බලයක් යෙදෙද්දී වාහනය ඇතුළෙ ඉන්න අයට මොනවා වෙයිද? මෙවැනි අනතුරකදී බෙල්ලට නියුටන් 2000ක පමණ බලයක් යෙදෙනවා.  එයාර් බෑග් එකට භෞතික හානිය වෙනස් කරන්න පුළුවන් වුණාට භෞතික බලය වෙනස් කරන්න බෑ.” 

වාහනය කෙතරම් සුවපහසුවට අධි තාක්ෂණිකව නිමැවුවත් මිනිස් ශරීරය ඒ තරමට දියුණු නොමැති බව ඔහු මතු කළ හරයයි. ඒ ගුරුතුමාගේ පාඩම තව තවත් සංවාදයට බඳුන්විය යුතු බව අපි සිතුවෙමු. එහෙයින් එකී ප්‍රකාශය අපි විශේෂාංග ලිපියක් ලිවීම දක්වා දුර ගෙන ආවෙමු.

‍‍‍‍ප්‍රංශයේ ඩයනා කුමරිය මෙන්ම පුත්තලමේ සනත් නිශාන්ත මහතාත් මියයනුයේ අධිවේගී මාර්ගයේ වූ රිය අනතුරකිනි. එසේම සුපිරි වාහනයකය. රිය අනතුරකදී රිය අනතුර පිළිබඳ කතා කරනවාට වඩා මතු අනාගතයේ එක් අනතුරක් හෝ වළක්වා ගැනීම අපේ අරමුණයි. එහෙයින් මේ සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව සහ රිය අනතුරු පිළිබඳ මෙරට විෂය ප්‍රවීණයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතාගෙන් අපි විමසුවෙමු.

“සාමාන්‍යයෙන් පාන්දර දෙකත් හතරත් අතර අනතුරු වැඩියි කියලා පර් යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒකට හේතුව නිදිමත සහ තෙහෙට්ටුවයි. දුර ගමනක් යන රියැදුරකුට පෙරදා පැය 7 හමාරක සුවපහසු නින්දක් තියෙනවා නම් හොඳයි කියලා අපි කියනවා. ඒ වගේම පැය දෙකකට සැරයක් විනාඩි පහක විවේකයක් හිමිවීමත් වැදගත්.  අධිවේගී මාර්ගයක රිය පදවද්දී තත්ත්පර 10කට 20කට වතාවක් දෙපස ගැන අනෙක් වාහන ගැන අවධානයෙන් අවබෝධයෙන් යන්න කියලා කියනවා. අධිවේගී මාර්ගවල යන්න කියලා තියෙන්නේ පැයට කිලෝමීටර 100ක වේගයකට. එහෙම කියන්නෙත් කාරණා ගොඩක් උඩ. එකක් තමයි වංගු. කේන්ද්‍ර අපසාරි බලය වංගුවකදී ක්‍රියා කරනවා. ඒ කියන්නේ අපි වංගුවක රිය ධාවනය කරද්දී වංගුවෙන් එළියට විසිවෙන්න උත්සාහ කරනවා වගේ දැනෙනවා. ඒ මාර්ගවල වංගු නිර්මාණය කරන්නේ රිය ධාවනයේදී එළියට විසි නොවෙන්න. ඒ වගේම වංගුවකදී පාර ඇදවෙලා තියෙනවා පේනවා. ඒකට කියන්නේ සුපිරි උන්නතාංශය (Super Elevation) කියලා. 

 ඒකෙන් කරන්නේ වාහනය වංගුවෙන් එළි‍යට විසිවෙන්න හදනකොට වාහනේ බරෙන් වාහනය මාර්ගය දෙසට ඇදගැනීමට සැලැස්වීමයි. අනෙක් කාරණය තමයි මාර්ගයේ මතුපිට ඇති රළු ස්වභාවය. වාහනයක තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේදී වාහනයේ රෝදවල තිබෙන කට්ට සහ මාර්ගයේ මතුපිට ඇති රළු ස්වභාවය කියන දෙකම එක්වෙලා තමයි වාහනය තිරිංග ක්‍රියාත්මක කිරීමකදී නවතින දුර තීරණය වෙන්නේ. වැස්ස වෙලාවට හෙමිහිට යන්න කියන්නෙත් ඒකයි.” ඔහු එසේ පැවසුවේය.
ඇමෙරිකා එක්සත් රාජධානියේ අධිවේගී මාර්ග මාර්ගෝපදේශවලට අනුව යම් අවස්ථාවක තිරිංග ක්‍රියාත්මක කරන්නේ නම් එයට පෙර සිතීමේ දුර සහ තිරිංග ක්‍රියාත්මක කිරීමේ දුර වාහනයේ වේගයට සාපේක්ෂව හඳුන්වා දී ඇත්තේය. පැයට කිලෝමීටර් 32ක වේගයෙන් ධාවනය වන වාහනයක් යම් අවස්ථාවක හෝ යම් ස්ථානයක නැවතීමට තිරිංග යෙදීමේදී සිතීමේ දුර මීටර් 6ක් සහ තිරිංග ක්‍රියාත්මක කිරීමේ දුර මීටර 6ක් ලෙස මීටර් 12 කට පෙර තිරිංග ක්‍රියාත්මක කළ යුතු බව දැක්වෙයි. ඒ වගේම පැයට කිලෝමීටර් 112ක වේගයෙන් ධාවනය වන වාහනයක් යම් අවස්ථාවක හෝ යම් ස්ථානයක නැවතීමට තිරිංග යෙදීමේදී සිතීමේ දුර මීටර් 21ක් සහ තිරිංග ක්‍රියාත්මක කිරීමේ දුර මීටර 75ක් ලෙස මීටර් 96කට පෙර තිරිංග ක්‍රියාත්මක කළ යුතු බව මාර්ගෝපදේශවල දැක්වෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ඕනෑම මාර්ගයක් නිර්මාණය කරලා ඒ මාර්ගයේ වේග සීමා තීරණය කරන්නේ කරුණු කාරණා ගොඩක් උඩ. එකක් තමයි දෘෂ්‍ය දුර. ඒ කියන්නේ වාහනයකට ඉදිරි වාහනය සහ පසුපස වාහනය කෙතරම් දුරක් පෙනෙනවාද කියන කාරණය. අනෙක වාහනයක් නවතාගන්න පුළුවන් කෙතරම් දුරකින්ද යන වග. වාහනයක් නවත්තන්න සිතුණු ගමන්ම වාහනය නවතින්නේ නෑ. යම්කිසි දුරක් ඉදිරියට ගමන් කරනවා. රියැදුරුට අව‍බෝධයක් ඕනෑ වාහනය යන වේගයත් එක්ක ඉදිරි වාහනයේ දුර සහ හදිසියකදී තිරිංග යෙදුවහොත් වාහනය නවතා ගැනීමට හැකිවෙනවාද යන වග. මේ සියලු කාරණාවල අඩුලුහුඩුකම් රිය අනතුරකදී බලපාන්නට පුළුවන්. අධිවේගී මාර්ගයකදී නොනවත්වා ධාවනය කරන්නට වීමෙන් නින්ද යාමට ඇති ඉඩකඩ වැඩියි. මේ කියන කරුණු සියල්ලත් එක්ක තමන් මැති ඇමැතිවරයකුගේ රියැදුරෙක් කියන අධිමානසිකත්වයත් ඇතැමෙකුට අනතුරකට මග සලසන්නට පුළුවන්.”යන්න ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතාගේ අදහසය.

සමහර අනතුරුවල අනතුරට භාජනය වූවන්ගේ බාහිර කිසිදු තුවාලයක් නොමැති වුවද ශරීර අභ්‍යන්තරයේ දැඩි හානි සිදු වී තිබෙනු පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වෙයි. රිය අනතුරුවලට භාජනය වන්නන් අතරින් බොහොමයක් සුසුම්නාවට වූ හානි හේතුවෙන් මියයන අවස්ථා ඇති බව රෝහල් හදිසි අනතුරු අංශවලදී අනාවරණය වෙයි.  රිය අනතුරකදී රථයේ වේගය රථයට දරාගැනීමට හැකි වුවත් එය මිනිස් ශරීරයට දරාගැනීමට හැකිදැයි ප්‍රශ්නයක් මතුවෙයි. මෙවැනි අවස්ථාවල ශරීරයේ සියුම් අවයවවලට වන ඉක්මන් හානිය වැළැක්වීමට අපහසුය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්යවරයා මෙසේ පැවසුවේය.

''ලෝකයේ තව බොහෝ පර් යේෂණවලින් සොයාගෙන තියෙනවා වාහනය සුඛෝපභෝගී වෙන්න වෙන්න අනතුරුදායක ලෙස රිය ධාවනය වැඩි බවට. ඒකට හේතුව ඔවුන් වාහනයේ අධි සැප පහසුකම් පිළිබඳ අධිතක්සේරුවක සිටීම. ලංකාවේ අධිවේගී මාර්ග හැදුණට ඒ මාර්ගවල ක්‍රමානුකූලව යන්නට තරම් රියැදුරු පුහුණුවක් මෙරට බොහෝදෙනාට තියෙනවා දැයි සැකසහිතයි. ලෝකයේ ගොඩක් රටවල සුළු හෝ අනතුරක් වුණත් වෛද්‍ය පරීක්ෂණාගාරයකට ගොස් සුසුම්නාව පරීක්ෂාවකට ලක් කරගන්න ඕනෑ. ලංකාවේ එහෙම නියමයක් නෑ. බාහිර තුවාල නොතිබුණත් අභ්‍යන්තර තුවාල ඇතිවන්න පුළුවන්. බොහෝ රටවල රිය අනතුරක් වූ විගස තිරස් ලෑල්ලකට දමා බෙල්ලට කොලර් එකක් දානවා සුසුම්නාව ආරක්ෂා කරන්න. එහෙම ගෙනිහින් සුසුම්නාව පරීක්ෂාවකට ලක් කරනවා. ඒක ලංකාවේ වෙන්නේ නෑ.''

මැති ඇමැතිලා සුපිරි වාහනවල යන රටක මෙතෙක් අපි සිතුවේ ජේ.ආර්. කියූ විදිහට තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕනෑ කියාය. ඒත් දැන් දැන් නම් කොයි කොයි බලවතුන්ටත් වාහනවලට නගින්න කලින් ජේ.ආර්. මතක් කරගන්න සිදුවීම වැළැක්විය නොහැකිය.

I සසංක චලන ගිම්හාන