2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

මිනිසුන්ට බර පටවා ආර්ථිකය හැදීම

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

ආර්ථික අර්බුදය ඉදිරියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට උවමනා විය. විදේශීය ණය ගෙවීම පමණක් නොව රටට අවශ්‍ය ආනයන සඳහා ද විනිමය හිඟ වන අතරවාරයේ, පනවන ඕනෑම කොන්දේසියක් මත විනිමය සංචිතයක් ලබාගැනීමට ආණ්ඩුව ක්‍රියා කළේය. ණය ගෙවීම අත්හිටුවා ඇති අතර විදේශ ලැබීම් පදනම් කරගෙන විදේශ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන හතර දක්වා වර්ධනය වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියලේ අගය ශක්තිමත් වෙමින් පවතී. ආර්ථිකය කඩා වැටී නැති අතර අර්බුදය කළමනාකරණය කරගෙන ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීහු ප්‍රකාශ කරති.

ආර්ථිකය ස්ථාවර කරගැනීම සඳහා මහජනතාව වෙත අධික බදු පනවන ලද ආණ්ඩුව එයින් නතර වී නැති අතර 2025 වසරේ සිට වත්කම් සඳහා බද්දක් එනම් මරාල බද්දක් ද පනවන බව දක්වයි. ඉඩම් හෝ නිවාස මිල දී ගැනීමේ දී වටිනාකම අනුව පළාත් සභාවට බදු ගෙවන සහ පළාත් පාලන ආයතනවලට වාර්ෂික බදු ගෙවන්නට බැඳී සිටින පුරවැසියන්ට ලබන අවුරුද්දේ සිට එම දේපල අයිතිය හේතු කොටගෙන තවත් බද්දක් ගෙවන්නට සිදුවනු ඇත. මෙම අවුරුද්දේ මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු ඡන්දයට සූදානම් වන දේශපාලන පක්ෂ සහ ප්‍රධාන අපේක්ෂකයන් ජනතාව මෙම අධික බදු ග්‍රහණයෙන් ගලවා ගැනීමේ ක්‍රමවේදය වහාම හෙළිදරව් කළ යුතුව තිබේ.

► ආණ්ඩුවේ වගකීම් ඉටු නොකරන හේතු 

වෙරිටේ පර් යේෂණ ආයතනය මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා සාක්ෂාත් කරන ප්‍රමාණය අඟවන තොරතුරු පද්ධතියක් නඩත්තු කරයි. එය ඉතා වටිනා ජනතා මෙහෙවරකි. ආර්ථිකය ස්ථාවර කරන බව දක්වන ආණ්ඩුව ජනතාව මහත් දුකට පත් කර ඇති අවස්ථාවක, ආර්ථික වර්ධනය සඳහා අනුගමනය කළ යුතු රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම අගය කළ යුතු වේ. මෙම දත්ත පද්ධතිය අනුව මහජනතාව මත පැනවිය යුතු සියලු කොන්දේසි නිසි පරිදි අනුගමනය කරන ආණ්ඩුව තමන්ගේ වගකීම් පැහැර හැර තිබේ. එය බරපතළ වරදකි.

අය කරගන්නා බදු සාධාරණව වැය කරන අතර ගෙවන බදුවලින් අතිරේක වාසි අත්පත් කර ගන්නා අවස්ථා ප්‍රසිද්ධ කළ යුතු වේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති වැදගත් කොන්දේසියකි. මූල්‍ය විනිවිදභාවය සම්බන්ධ අන්තර්ජාල තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීම මූල්‍ය අරමුදලේ කොන්දේසි සියයක් අතර තිබේ. එයට අනුව මාස හයකට වතාවක් රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් සම්බන්ධ තොරතුරු මහජනතාව හමුවේ තැබිය යුතු වේ. ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබන සමාගම්වල ලේඛනයක් හා සුඛෝපභෝගී රථවාහන ආනයනය කිරීමෙන් පසු බදුවලින් නිදහස් කරන පුද්ගලයන් හා සමාගම් ගැන සියලු විස්තර ජනතාවට හෙළි කළ යුතු වේ. මෙම කරුණුවලට අදාළ වෙනම වේදිකාවක් සකස් කිරීම මගහැර ඇති ආණ්ඩුව මෙතෙක් බදු සහන ලබන ආයෝජන මණ්ඩල ලේඛනයක් හා වාහන ආනයනය කිරීමේ දී බදුවලින් නිදහස් කෙරෙන පුද්ගලයන් හා සමාගම් සම්බන්ධ තොරතුරු ප්‍රමාණයක් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ දැක්වේ. එය සම්පූර්ණ විනිවිදභාවයක් වශයෙන් සඳහන් කළ නොහැක. ජනතාවට පැටවිය යුතු බර ගැන සියයට සියයක් උවමනාවෙන් ක්‍රියා කරන වගකිවයුතු අංශ ආණ්ඩුවේ කාර්යභාරය පසෙක තබන හේතුව කුමක්ද? 

► ප්‍රසම්පාදන  ගැන බරපතළ චෝදනා

ආණ්ඩුවේ ටෙන්ඩර් කැඳවීමේ හා මිල දී ගැනීමේ ක්‍රියාවලිය අලුත් කරන අදහසක් සෑහෙන කාලයක සිට ඇත. ස්වාධීන ප්‍රසම්පාදන කමිටුවක් පත් කරන යෝජනාවක් ද තිබේ. මෙම ස්වාධීන කමිටුව ආණ්ඩුවට අවශ්‍ය ද්‍රව්‍ය එකවර මිල දී ගන්නා අතර ආයතනික වශයෙන් වෙන් වෙන්ව මිල දී ගැනීම නතර කරනු ඇත. නමුත් මෙම මිල දී ගැනීමේ ක්‍රියාවලිය ඇති කරන්නට නිලධාරීන් සහ ඇමැතිවරුන් එකඟ නැත. ටෙන්ඩර් සඳහා ද ආයතනික වශයෙන් බලතල ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. මෙම සිද්ධි සමඟ බරපතළ දූෂණ හා වංචා සම්බන්ධ චෝදනා ඇත. මිල දී ගැනීමේ සිද්ධි සම්බන්ධ නීති විරෝධී කටයුතු සම්බන්ධ විමර්ෂන ගැන නොයෙක් වාර්තා ඇත. මහජන මුදල් සාධාරණව හා විනිවිද පෙනෙන ආකාරයකට වැය කරන ක්‍රම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.

රාජ්‍ය ණය කළමනාකරණය කරන ජාත්‍යන්තර ප්‍රමිතියට යටත් ආයතනයක් ස්ථාපිත කරන්නට ද නියමිතය. 2024 වසර තුළ පවා රුපියල් ට්‍රිලියන 7.3 ක් දක්වා දේශීය ණය ගැනීමට අයවැය මගින් යෝජනා සම්මත කර තිබේ. ජාත්‍යන්තර ණය ගැනීමේ දී ද මෙම ක්‍රමයෙන් වාසියක් අත්පත් කරගත හැකි වේ. නමුත් මෙම අංශ ඇති කරන්නට ආණ්ඩුව දක්වන උනන්දුවක් නැත. බැංකු පනත සම්මත කර අලුත් රාමුවක් ඇති කරන අතර බැංකුවල තැන්පත් ධනය ව්‍යවසායකත්වයට යෙදවීමට ණය ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමවේදයකට යටත් කිරීමෙන් හැකියාව ලැබේ. 

රාජ්‍ය මුදල් වැය කරන ආකාරය ගැන මාසිකව වාර්තා කරන ප්‍රතිපත්ති හා රාජ්‍ය ව්‍යවසාය වාර්ෂික ගිණුම් ප්‍රකාශ නිසි පරිදි නිකුත් කිරීම ද මූල්‍ය අරමුදලේ යෝජනා අනුව ආණ්ඩුව පැත්තෙන් ඉටු කළ යුතු බරපතළ කරුණු බව මෙහි දී මතක් කළ යුතුය. සියලුම දෙනාට ටින් අංකයක් දෙන්නට දරන වෑයම තරම් මෙම අංශ ගැන උනන්දුවක් නොදැක්වීම පවතින ආණ්ඩුව මහජනතාවගෙන් යැපෙන්නට දරන ආකල්ප විදහා දක්වයි.

► කැපවීම්වල ප්‍රගතිය ඉහළට

මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන වෙනුවෙන් කැපවිය යුතු තරම දක්වන වෙරිටේ පර් යේෂණ ආයතනයේ වාර්තාව අනුව 2023 දෙසැම්බර් මාසය අවසන් වන විට සාර්ථක කරගෙන ඇති ප්‍රතිශතය සියයට හැටකි. සියයට 13 ක ප්‍රතිශතයක් අසමත් වී තිබේ. සියයට 27 ක කාර්ය ප්‍රමාණයක් ඉදිරියේ දී සාක්ෂාත් කළ යුතු වේ. සියයට හැටක සාර්ථකත්වය අනුව ජනතාව මහත් පීඩනයක පසුවෙති. වැඩ කරන ජනතාවට අධික බදු ප්‍රතිශතයක් උපයන විට ගෙවන්නට සිදුවී ඇත. විශේෂයෙන් පෞද්ගලික අංශයේ ඉහළ වැටුප් ලබන නිලධාරීන් අධෛර්යයට පත්වන බදු ක්‍රමයකි. සාමාන්‍ය ජනතාවට ද විදුලිය, ජලය හා ඉන්ධන සඳහා පිරිවැය ආවරණය කරන බිලක් අය කෙරේ. ශත දහ අටක විදුලිය බිල නොගෙවීම ද රතු නිවේදනය එවන තරමට මණ්ඩලය සාහසික වී ඇත. මැති ඇමැතිවරුන් හා ආණ්ඩුවේ ආයතනවල විදුලිය බිල මිලියන ගණන්වලින් සඳහන් වන පසුබිමක පාරිභෝගිකයාගේ ශත ගණන ගැන හිතන තරමට මූල්‍ය අරමුදලට අවනත වීම මෙරට පාලකයන්ගේ ප්‍රතිපත්තිවල තරම පෙන්වයි. රුපියල් හත් අටසියයක විදුලිය බිලක් ගෙවාගත නොහැකි අවස්ථාවක විසන්ධි කරන පාරිභෝගිකයන්ට නැවත සම්බන්ධ කිරීම සඳහා රුපියල් දෙදහසක ගාස්තුවක් අය කිරීම ද ඒ හා සමානය. මෙවැනි තද තීරණවලට හේතුව මූල්‍ය අරමුදල පනවා ඇති ආණ්ඩුවේ කැපවීම හෙළි කරන කොන්දේසි බව සඳහන් කළ යුතුය. 

පොදු මහජනතාව වෙත බර පටවා කැපවීමේ ප්‍රතිශතය සියයට හැට දක්වා නංවන ආණ්ඩුව අඩුම තරමින් තමන් ආණ්ඩුවේ කැපවීම නිසි පරිදි ඔප්පු කරන්නට අසමත්වීම බරපතළ කරුණකි. රජයේ ණය, රජයේ වියදම් හා නාස්තිකාර ප්‍රතිපත්ති පාලනය කළහොත් වියදම අඩු කරගත හැකි අතර එයට අවනත නොවන ආණ්ඩුව සියලු බර ජනතාව මත පටවා ආර්ථිකය ස්ථාවර කර ඇති බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු වර්ධනය ඇතිකරන ක්‍රම අනුගමනය කළ යුතු වේ. අසාර්ථක රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන සේ දක්වයි. පසුගිය කාලය තුළ පෞද්ගලීකරණය කරන්නට යෝජනා කළ කිසිම ආයතනයක් එසේ කරන්නට ආණ්ඩුව අසමත්ව තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් ඒ අතර ප්‍රධානය. මේවායේ මූලික පියවරවලින් පසු රජයේ අලාබ අඩු කරගතහොත් අයවැය හිඟය පාලනය කරගත හැකි අතර එයින් මහජනතාවට සහනයක් ලැබේ. රටට අවශ්‍ය සමස්ත ක්‍රියාවලිය තුළ සිදුකරන ප්‍රතිසංස්කරණ වන අතර මහජනතාවට පමණක් බර උහුලන්නට සිදුවන ක්‍රමවේදයක් නොවන බව ද මෙහි දී අවධාරණය කළ යුතුය. 

I සාරා කන්දෙගොඩ

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03