2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

හොඳට ලාබ ලබන ලිට්රෝ ඈවරයි... දෑවරයි...

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

ශ්‍රී ලංකාවේ ගෑස් පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය ගෑස් සපයන ප්‍රධාන සමාගම් දෙකකි. ඒකක් ලිට්රෝ සමාගම වන අතර අනෙක ලාෆ් සමාගමයි. මින් ලාෆ් සමාගම පෞද්ගලික සමාගමකි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනය අනුව ලාෆ් සමාගමට වඩා කීයක් හෝ අඩුවෙන් දෙන්නට ලිට්රෝ සමාගමට හැකි විය. මෙරට ඩොලර් අර්බුදය  පැවැති සමයේ රටට අවශ්‍ය ගෑස් සැපයීමට පෞද්ගලික සමාගමට නොහැකි වුවද ලිට්රෝ සමාගම අඩුපාඩු මධ්‍යයේ වුව ජනතාවට ගෑස් ලබාදීමට කටයුතු කළේය.

2023 වසරේ ලිට්රෝ සමාගම උපයන ලද ලාභය රුපියල් කෝටි 700කි. ඉන් කෝටි 300ක් ලාභාංශ ලෙස භාණ්ඩාගාරයට ලබා දීමට එම ආයතනය සමත් විය. එලෙස ලාභ උපයන ලිට්රෝ ගෑස් ලංකා සමාගමත්, ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගමත් සම්පූර්ණයෙන් හෝ කොටස් හෝ විකිණීමට රජය අභිලාශ කැඳවා තිබේ.

දැනට මෙම සමාගම් දෙකෙන් ලිට්රෝ ගෑස් සමාගමෙහි කොටස්වලින් සියයට 99.936 කම කොටස් අයිතිය ඇත්තේ රජය සතුවය. ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගමේ සියලු කොටස් රජය සතුය. ඒ අනුව දැනට මහ භාණ්ඩාගාරයට බරක් නොවන ලිට්රෝ ගෑස් සමාගම හා ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගම සතු රජයේ කොටස් විකිණීමට කටයුතු කිරීම පුදුම සහගතය.

වසර එකහමාරකට පමණ ඉහත වසරකට බිලියන 14ක් පමණ පාඩු ලැබූ ලිට්රෝ ගෑස් සමාගම ණය වශයෙන් ගෙවීමට තිබූ මුදල බිලියන 10ක් පමණ විය. මුදිත පීරිස් මහතා සභාපතිත්වයට පත්වීමෙන් පසු ගෑස් මිල යම් සහනදායී මට්ටමක පවත්වාගෙන යමින් සියලු ණය ගෙවා එම ආයතනය ලාබදායී ආයතනයක් බවට පත් කිරීමට සමත් විය. ඔහුට පෙර විශාල ගෑස් අර්බුදයක් මෙරට තුළ නිර්මාණය වූ අතර බාල ගෑස් ගෙන්වා ජනතාව අසීරුවේ දැමූ කාලයක් ද පැවතිණි. නව සභාපතිවරයා පැමිණීමෙන් පසු හිඟයකින් තොරව ගෑස් සැපයීමටත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයන් අනුව ගෑස් මිල පවත්වාගෙන යාමටත් ඔහු කටයුතු කළේය.

ලිට්රෝ ගෑස් සමාගම විකුණා දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති මුදිත පීරිස් මහතා 

''ලිට්රෝ ගෑස් සමාගම විකුණන එක ගැන මම දන්නේ නැහැ. දැනට අභිලාශයන් කැඳවීමක් පමණයි කරල තියෙන්නේ. ලිට්රෝ ගෑස් සමාගම විකුණනවට අපේ කැමැත්තක් නැහැ. මම කැමැතියි මෙය දිගටම රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා නම්. එහෙත් රට පත්වී ඇති මූල්‍ය අර්බුදය මත ජාතික තීන්දු තීරණ ගැනීමේදී ඒවා සිදුවන්නේ වෙනත් විදිහකටයි. ඒ සම්බන්ධයෙන් අපට වගකීමක් නැහැ අපේ වගකීම වුණේ රටට අවශ්‍ය ගෑස් අවශ්‍යතාව පිරිමැසීම සහ රාජ්‍ය ආයතනයක් ලෙස මෙය ලාබ ලබමින් පවත්වාගෙන යාමටයි. මෙය විකුණා දැමීමට කටයුතු කිරීම අපේ කටයුත්තක් නොවෙයි.'' 

ඒ අනුව පෙනී යන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සඳහා තීරණ ගැනීමට විශේෂ කමිටුවක් ඇති අතර එම කමිටුවේ තීරණ පිළිබඳ ලිට්රෝ සමාගමේ සභාපතිවරයාට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට වගකීමක් හෝ වගවීමක් නොමැති බවයි.  
මෙරට ගෑස් පාරිභෝගියන් සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 5කට ආසන්නය. ඉන් මිලියන හතරකට වැඩි පිරිසකගේ එනම් 85% පමණ අවශ්‍යතා සපුරාලන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. ඔවුන්ගේ ගෑස් අලෙවි මධ්‍යස්ථාන 14,000ක් පමණ තිබෙන අතර බෙදාහැරීම් නියෝජිත පිරිස42කි . එම සමාගමේ හිමිකම පවතින්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයටය. 

මේ වන විට ආණ්ඩුව ලිට්රෝ, මිල්කෝ, ටෙලිකොම්, ලංකා හොස්පිට්ල්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ආයතන රුසක් පෞද්ගලීකරණය සඳහා පිඹුරුපත් සකසමින් සිටී. මේවායින් ඇතැම් ආයතන පාඩු ලබන නමුදු ඇතැම් ආයතන විශාල ලෙස ලාබ උපදවන ආයතන වේ. එලෙස ලාබ උපදවන ආයතන විකුණා දැමීමට රජය කටයුතු කරන්නේ මන්දැයි අප විමසා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙනි. ඔහු ප්‍රකාශ කළේ පෞද්ගලිකරණය යන්නෙහි පදනම කුමක්දැයි කියාවත් ආණ්ඩුව නොදන්නා බවටය.

''ආයතනයක් අලාබ ලබන තත්ත්වයක තිබේ නම්, එය රජයට බරක් නම්, එවැන්නක් තවදුරටත් කළමනාකරණය කළ නොහැකිනම් එවැනි ආයතන පෞද්ගලීකරණය කළාට කමක් නැහැ. පවතින ආණ්ඩුවේ අපේක්ෂාව ආයතන විකුණලා එයින් කිසියම් මුදලක් උපයා ගැනීමයි. ලිට්රෝ ආයතනය පසුගිය වසරේ බිලියන හතක ලාබයක් ලැබුවා. එම ආයතනය විකුණලා එවැනි ආදායමක් ආණ්ඩුවට ලැබේයැයි මා සිතන්නේ නැහැ. අපේ රටේ පාරිභෝගිකයන්ට ගෑස් සපයන ආයතන ඇත්තේ දෙකක් පමණයි. ඉන් එකක් පෞද්ගලික අංශයේ. මීට වසරකට දෙකකට පමණ ඉහත ගෑස් සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇතිවුණා, අපේ රටේ ඩොලර් නොමැතිකම නිසා. ඒ අවස්ථාවේ ආණ්ඩුව ලෝක බැංකුවෙන් ණය ආධාරයක් අරන් ලිට්රෝ ආයතනය හරහා අපට අවශ්‍ය ගෑස් සපයන්න කටයුතු කළා. ලිට්රෝ සමාගම පෞද්ගලීකරණය කළාම අපේ රටේ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ පෞද්ගලික සමාගම්. 

ඉදිරි කාලයේ යම් හෙයකින් ඩොලර් අර්බුදයක් නිර්මාණය වුවහොත් අර වගේ ලෝක බැංකුවෙන් ආධාර ගන්න බැහැනේ. එතකොට රටේ ගෑස් නැතිවෙන්නත් පුළුවන්. ආණ්ඩුවේ අරමුණ පාරිභෝගියන්ට මනා සේවයක් සැපයීම නොව මේවා විකුණා දැමීම පමණයි. මෙය රටටවත් ජනතාවටවත් සේවයක් සැලසීමේ අභිලාශයෙන් කරන පෞද්ගලීකරණයක් නොවෙයි. සමහරු කියනවා ආණ්ඩුව ව්‍යාපාර කටයුතු නොකළ යුතුයි කියලා. ඒක වැරදි මතයක්. බොහෝ දියුණු රටවල රජයයන් ව්‍යාපාර කරනවා. අයිඕසී සමාගමේ වැඩි හිමිකම තියෙන්නේ ඉන්දියානු රජයට. ආණ්ඩුව කරන්න හදන්නේ රටේ තිබෙන මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට යැයි පවසමින් ලිට්රෝ ඒක, හිල්ටන් ඒක, හයට් බිල්ඩිම, විදුලි බල මණ්ඩලය, රක්ෂණ සංස්ථාව වැනි ආයතන විකුණා දමන්නට කටයුතු කිරීමයි. අපේ ඇමැතිවරුන් පෞද්ගලිකරණය කියන ඒකේ තේරුමවත් දන්නේ නැහැ. ආණ්ඩුව මේ කරමින් සිටින්නේ ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය මුවාවෙන් තම හිතවතුන්ට අඩු මිලට විකුණා දැමීමේ ක්‍රියාවකුයි'' 

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා