ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක්ලක්ෂ පනස් දහසක් (150,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේද වත්කම් හා බැරකම් ප්‍රකාශ නියත වශයෙන්ම ලබාදීමට සිදුවනු ඇති බව පසුගිය සතියේ දේශය පුවත්පත වාර්තා කළේය. මෙම විමසීම එම පුවතේ දිගුවකි.
කලක පටන් මෙරට දේශපාලනයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ විනිවිදභාවය පිළිබඳ ගැටලු නිර්මාණය කළ "වත්කම් බැරකම් ප්‍රකාශ" ගැටලුව පිළිබඳව මේ සතියේ වැඩිදුරටත් තොරතුරු විමසා බැලීමට අප තීරණය කළේ එබැවිනි. සෑම මැතිවරණයක් අභිමුවම වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ කථිකා නිර්මාණය වනු අප දැක තිබේ. ඒ මෙම නීති සවිමත් නොවීම සහ ක්‍රියාත්මක කිරීමේදී වන දුර්වලතා නිසාවෙන් බොහෝ දෙනකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම මගහැර සිටීමය. එසේම ලබාදෙනු ලැබූ ප්‍රකාශ සම්බන්ධවද ගැටලු මතු වූ අවස්ථා නොතිබුණාම නොවේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට තරම් ශක්‍යතාවක් ශ්‍රී ලාංකීය රාජ්‍ය තන්ත්‍රය සතුද යන්නද ගැටලුවක් විය. බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන තැනැත්තන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ නඩු පවරනු ලැබිය හැකිය. අධිකරණයේදී සිදුකෙරෙන ලඝු නඩු විභාගයකදී වරද ඔප්පු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කරන්නට අධිකරණයට මෙම පනතින් බලය පවරා ඇත.
නව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ කටයුත්තට උරදී සිටින්නේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමයි. පසුගියදා සම්මත කළ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ බලතල ප්‍රකාරව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කොමිසම කටයුතු කරයි. බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන තැනැත්තන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ නඩු පැවරීමේ හැකියාවද කොමිසම සතුය. අධිකරණයේදී සිදුකෙරෙන ලඝු නඩු විභාගයකදී වරද ඔප්පු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කරන්නට අධිකරණයට මෙම පනතින් බලය පවරා ඇත.
බැලූ බැල්මටම මෙය තරමක් බරපතළ තත්ත්වයකි. සැබැවින්ම රට ඉල්ලා සිටියේ මෙවන් නීති රීතිය. එහෙත් එම නීති රීති එලෙසින්ම ක්‍රියාත්මක වේදැයි සැක සංකා මතු වේ. ඊට හේතුව නම් අප සතු පූර්ව අත්දැකීම්ය. අයථා ලෙස රුපියල් මිලියන බිලියන ගණනින් උපයාගත් දේශපාලනඥයන්, නිලධාරීන් නීතියෙන් පැන ගිය වාර අනන්තය. ඇතැමුන්ගේ වත්කම් මේ වන විටත් රටින් බැහැරට ගෙන ගොස් ඇති බව කියැවෙයි. කෙසේ නමුත් පැන ගිය අශ්වයන් අල්ලා ගැනීම කෙසේ වෙතත්, ඉතිරිව සිටින අශ්වයන්ට පැන යා නොහැකි ලෙස ඉස්තාලය වසා දැමීම වටී.
පසුගිය සතියේ අප හෙළිදරව් කළ පරිදි නව පනතේ 80(1) වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාතේ ආණ්ඩුකාරවරුන් ඇතුළු පනත මගින් ප්‍රකාශයට පත්කර ඇති ක්ෂේත්‍ර 31කට අයත් තැනැත්තන් විසින් සිය වත්කම් හෝ බැරකම් ප්‍රකාශ අල්ලස් දූෂණ කොමිසමට සෑම වසරකම මාර්තු 31දාට පෙර සැපයිය යුතුය. මේ හරහා ක්ෂේත්‍ර රුසක් ආවරණය වීම අතිශය වැදගත්ය. මෙරට දූෂිත ක්‍රමවේදයන් හරහා අයථා ලෙස මුදල් උපයන පිරිස් සමස්තය පුරාම විසිරී සිටිති.
මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ සහ ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කොමිසමට බලය පවරා තිබීම සුවිශේෂී තත්ත්වයකි. ඒ අනුව ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් කර ඇති පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද, 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වැනි වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද යට කී ලෙස වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය.
සැබැවින්ම මෙම පාර්ශ්ව විසින් ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම වරදක් නොවේ. එහෙත් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරියට තබා ලොකු ලොක්කන්ගේ හොරකම් දූෂණ වසා ගැනීමට, මාධ්‍ය මර්දනයක් සිදු නොකළ යුතුය. සියලු ක්‍රියාවලීන් විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුත්තේය. ප්‍රකාශ ලබාගත් පමණින් කිසිවක් විසඳෙන්නේ නැත. ඒ පිළිබඳ නිසි ඇගයීමක් ද සිදුවිය යුතුය. දූෂිතයන් බැරකම් ප්‍රකාශ නිවැරදිව ලබා දේ යැයි අපේක්ෂා කළ නොහැකිය.
කෙසේ වෙතත් නව නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීමේදී වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නා සැමියා නම් බිරිඳ සහ දරුවන්ද, බිරිඳ නම් සැමියා සහ දරුවන්ගේ සහ ඔවුන් සමඟ පොදු නිවෙසක ජීවත් වන වෙනත් තැනැත්තන්ගේ වත්කම් බැරකම්ද ලබා දිය යුතු බව පනතේ දැක්වේ. එසේම මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා අල්ලස් දූෂණ කොමිසමට ලබා දිය යුතු බවට ප්‍රතිපාදන සලසා තිබේ.
මේ අතර සිහිපත් කළ යුතු තවත් කරුණක් නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ණය වාරික වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රීය විනිවිදභාවය පෙන්වීමට නායකත්වයට අවශ්‍ය වී ඇති බවයි. එවන් තත්ත්වයක් මත මෙම නව නීති හුදු සංදර්ශනයක් බවට පත්වීමේද හැකියාවක් පවතී. වරින් වර ආණ්ඩු කිහිපයක්ම වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධ නීති තරකර ඇති ආකාරය අපට මතකය. වසර කිහිපයකට ඉහතදී දඩ මුදල් ඉහළ දැමීම ප්‍රමුඛ පුවතක් විය. එහෙත් එම කිසිවකින් රටේ දූෂණය මර්දනය කිරීමට නොහැකි විය.
මේ අතර අල්ලස් දූෂණ කොමිසමට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කීවද තවමත් එම කටයුතු නිසි පරිදි සකස් වී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි. තාක්ෂණික මෙහෙයුම සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වන බව කියැවෙයි. නමුත් ඒ සඳහා අල්ලස් කොමිසමට ප්‍රතිපාදන මෙතෙක් ලැබී නැති බව පසුගිය සතියේ එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පවසා තිබුණි.
සමස්තයක් ලෙස ගත් කල වත්කම් බැරකම් සම්බන්ධ නව ප්‍රවේශය අගය කළ යුතුය. එහෙත් මෙම නව නීති රීති ක්‍රියාත්මක වනතුරු අපි සතුටු නොවෙමු. ගිනි පෙනැල්ලෙන් බට කෑ මිනිසුන් කණාමැදිරි එළියටත් බියය.
I චමිඳු නිසල් ද සිල්වා