“ඉස්පිරිතාලයට යනවා ලක්ෂයක්. ඒ ලක්ෂයම ආපහු එන්නේ නෑ. ඒ නිසා තමයි අවාසනාවකට (සිනාසෙයි) මල්ශාලාවක් දාලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඉස්සරහ. (සිනාසෙයි)"
හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගිගුම් දෙන්නට කතා කරමින්, සිනාසෙමින් එදා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ එලෙසය. ඉස්සර ගම්වල කවුරුන් හෝ මුග්ධයකු, මුග්ධ අදහසක් ඉදිරිපත් කළ විට ගම්වල වැඩිහිටියන් ඔහු සමඟ වාද විවාදයට යන්නේ නැත. ඒ වෙනුවට කියන්නේ එකම එක දෙයකි. "ඕවට කියන්න දේවල් තියෙනවා, ඒත් උඹ වගේ එකෙක්ට කියලා වැඩක් නෑ" යනුවෙනි. කෙහෙළියගේ කතාවට අද අපට කියන්නට ඇත්තේද ඒ දෙයම පමණි.
පාර්ලිමේන්තුවේදී තමන් හොරකු නොවන බවට කෙහෙළිය කොතරම් පරසක්වල ගැසුවද අද වන විට ඔහු ඖෂධ වංචාවට බන්ධනාගාර ගත වී යකඩ කූරු ගනිමින් සිටියි. වැරුද්දක් කළොත් දඬුවමක් හිමිවිය යුතුමය. කෙහෙළියට ද අපිට කියන්නට ඇත්තේ එයමය. කෙහෙළිය එදා පාර්ලිමේන්තුවේ පරසක්වල ගසමින් කීවේ තමන් කිසිදු වංචාවක් කර නැති බවය. එහෙත් කෙහෙළිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එහි ඇසුණු කතා යළි යළිත් සිහිවන විට අපට අසන්නට ඇත්තේ "කෙහෙළිය ඔයා බබාද?" යනුවෙනි.
එදා මාලිගාකන්ද උසාවිය තුළදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කෙහෙළියගේ ක්‍රියා කලාපය ගැන අපූරු පැහැදිලි කිරීමක් කළාය. එනම් රට තුළ හදිසි ඖෂධ මිලදී ගැනීමක් අවශ්‍ය නම් එය මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය බවත් ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා කැබිනට් මණ්ඩලයට හදිසි ඖෂධ මිලදී ගැනීමේ පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්ය. එසේ ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පෞද්ගලික මිලදී ගැනුම්කරුවකු ඒ තුළට රිංගවා ඇති බවද එහිදී ඇය වැඩිදුරටත් කීය.
එසේම මෙම ඖෂධ මිලදී ගැනීම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකර ඇති අතර එසේ සිදුකරන විට ඊට අදාළ මාර්ගෝපදේශ ද නිකුත් කර තිබී ඇතැයි පැවසේ. එහෙත් මෙහිදී ඒ කිසිවක් අනුගමනය කර නැත. එසේම කැබිනට් අනුමැතිය ලබා ගන්නා විට එය රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් යටතේ සිදුවිය යුතු වුවත් ඒ කිසිවක් මෙම කැබිනට් පත්‍රිකාව සඳහා යොදාගෙන නැත. මෙහි හයවැනි සැකකරු වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට කැබිනට් පත්‍රිකාව සකසන ලෙසට දැනුම් දී ඇත්තේ කෙහෙළිය විසින් බව ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කීය.
විත්තිකරු ඖෂධ වර්ග 182ක හිඟයක් මවා පා ඇති බවත්, 2022 සැප්තැම්බර් 27 සිට ඉදිරි සති තුනකට රට තුළ රටේ සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයක් පැන නගින බවත් කෙහෙළිය විසින් කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මෙය ඉතාම සූක්ෂම වංචාවක්ද යන්න තවදුරටත් තහවුරු වන කාරණා කිහිපයක් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළාය.
කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී ඊට අදාළ ලිපිලේඛන ඇමුණුමක් පවත්වාගෙන යා යුතු වුවත් එසේ කිසිදු ඇමුණුමක් මෙම කැබිනට් පත්‍රිකාව විසින් පවත්වාගෙන ගොස් නැත. එවැනි ලේඛනයක් හෝ රහස් පොලිසියට හමුවී නැති බව ඇය පැවසුවාය. කෙසේ වෙතත් මෙම ඖෂධ ගෙන්වීම සඳහා කවරකුගෙන් විමසීමක් කළේද යන්න ප්‍රශ්න කළ විට අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඖෂධ සැපයුම් ඒකකය මගින් කළ දැනුම් දීමක් අනුව එය සිදු කළ බවය. කෙසේ වෙතත් හිඟ ඖෂධ වර්ග 182 අතර ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නත තිබුණේද යන්න අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අවසානයේ කතාවේ හොඳම තැනට පැමිණියාය. ඒ අදාළ ඖෂධ එන්නත් 22500 ට ගෙවන ලද මුදල සම්බන්ධයෙනි. එනම් එම ඖෂධ සඳහා රුපියල් බිලියනයක මුදලක් මෙම ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරුට ලබා දී ඇති අතර එම හිමිකරු අවස්ථා තුනකදී අදාළ මුදල බැංකු ගිණුමෙන් ලබාගෙන ඇති බවට ඇය අනාවරණය කළාය.
කෙසේ වෙතත් එම නඩුවේදී කරුණු දැක්වූ නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා සිටියේ මෙම එන්නත් ඩප්පි ඇසුරුම් කළේ කොතැනද? කින්ද? මන්ද? යන්න සොයා බලන ලෙසය. ඒ අනුව කෙහෙළියගේ නීතිඥයන් කෙහෙළිය වෙනුවෙන් ඇප ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරිය අවසානයේ පෙබරවාරි 15දා දක්වා ඇමැතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
පුදුමය නම් සෞඛ්‍ය සම්පන්නව හොඳින් සිටි කෙහෙළිය කෙළින්ම ඇතුළු වුණේ බන්ධනාගාර රෝහල වෙතය. ඒ ඔහුට අසනීප නිසාද? එසේත් නැතිනම් ප්‍රභූවරුන්ට බන්ධනාගාරය අසලදී හදිසියේ ඇතිවන රෝගයක් නිසාද? යන්න අපි නොදනිමු. එහෙත් කෙහෙළිය රෝහල් ගත විය. එපමණක් නොව ඔහුට ගෙදරින් ගෙන්වා ආහාර ගැනීමටද අවසර ලැබිණි. මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී කෙහෙළියට පාර්ලිමේන්තු පැමිණීමට කතානායකවරයා අවසර දුන්නේය. එහෙත් කෙහෙළිය පාර්ලිමේන්තු ආවේ නැත. එය සතුටු විය හැකි කරුණකි. දඬුවමක් විඳින කෙනකු සැකකරුවකු අදාළ වරදින් නිදහස් වෙන තෙක් උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සාදාචාරවත් නැත. එසේ නියෝජනය කරමින් රටේ නීතියක් සම්මත කිරීමට අත උස්සන්නේ නම් එය අදාළ නීතියට පවා හරි නැත. ඒ නිසා කෙහෙළිය හිතාමතා හෝ පාර්ලිමේන්තු පැමිණීම මග හැරියේ නම් ඒ සඳහා අපි කෙහෙළියට ස්තූතිවන්ත වෙමු.
ඉහත කී ඇතැම් කාරණා සාක්ෂි මත දැනට පෙනී යන්නේ මේ ඖෂධ වංචාව ඉබේ සිදුවූ දෙයක් නොවන බවය. එය ඉතාම සංවිධානාත්මක ලෙස සිදු කළ ක්‍රියාවක් බව පෙනේ. ඊට කෙහෙළිය ද ගෑවී ඇති බවට සැකයක් පවතී. එහෙත් කවුද වැරදි? කවුද නිවැරදි යන්න තීරණය කළ යුත්තේ අධිකරණය විසිනි. අවසාන වශයෙන් දෙයක් කීමට ඇත. කවරකු කුමන නීතියෙන් නිදහස් වුවත්, අහිංසක මිනිසුන්ට ප්‍රතිදේහ ඖෂධ වෙනුවට ජලය එන්නත් කර ඇති මොහොතක, ඒ හේතුවෙන් රෝගී වුණු රෝගීන් සිටින මොහොතක ඔවුන්ට ජීවිතේ කිසිදු දිනෙක ස්වභාධර්මයෙන් බේරිල්ලක් නැත. ඉන් ගැලවීමක් නැති බවද කිව යුතුය.
I ගයාන් ගාල්ලගේ