2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සයිබර් අධිරාජ්‍යයා ෆේස්බුක් ජාලයට වසර විස්සයි

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

අප නිදහස සැමරූ ඉකුත් පෙබරවාරි 04 වැනිදාට ෆේස්බුක් සමාජ ජාලය ආරම්භ වී වසර 20 ක් සම්පූර්ණ විය. ෆේස්බුක් පරිශීලකයන්ට මෙන්ම ලෝකවාසී සියලු දෙනාටම ද මෙය සුවිශේෂී මොහොතකි. ගෙවී ගිය වසර විස්සක කාලය තුළ ෆේස්බුක් සමස්ත ලෝකවාසීන්ගේ දෛනික ජීවිතය කෙරෙහි කළ බලපෑම සුළුපටු නොවේ.

2004 පෙබරවාරි 04 දින ඇරඹූ ෆේස්බුක් සමාජ ජාලය මේ දක්වා පැමිණි ගමන් මග පිළිබඳ විමසා බැලීමට කාලෝචිත මොහොත මෙයයි. ෆේස්බුක් මේ වන විට ලොව පුරා පරිශීලකයන් බිලියන 3.03 ක් සඳහා සේවා සපයි. එනිසාවෙන්ම මුළු මහත් ලෝකයම මේ වන විට බූවල්ලකු මෙන් වෙලා සිටින සමාජ මාධ්‍ය අතරේ ප්‍රමුඛයා ෆේස්බුක් බවට පත්ව සිටියි.

ෆේස්බුක් ඉතිහාස කතාව පිළිබඳ බොහෝ දෙනකු තුළ යම් පමණක අවබෝධයක් ඇතත්, අප සැකෙවින් හෝ ඒ කතාව මෙහි සලකුණු කොට තැබිය යුතුය. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මීට වසර විස්සකට ඉහතදී හාවඩ් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. හාවඩ් සිසුන්ට පෞද්ගලිකව තොරතුරු බෙදා ගැනීමේ අරමුණ සහිතව ඔහු ෆේස්බුක් නිර්මාණය කළේය. ඔහුගේ නේවාසික මිතුරන් වූ එඩ්වාඩෝ සැවරින්,  ඩස්ටින් මොස්කොවිට්ස්, ඇන්ඩෲ මැකොලම්, ක්රිස් හියුස් යන අය මෙම ඓතිහාසික කාර්යය සඳහා දායකත්වය සැපයූහ.

හාවර්ඩ් විද්‍යුත් තැපෑලක් ඇති පුද්ගලයන් සඳහා පමණක් විවෘත වූ ෆේස්බුක් ජාලය, මසක් ඇතුළත හාවඩ් සිසුන් සියයට 50ක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. ඡායාරූප බෙදා ගැනීම, ටැග් කිරීම ආදී හැකියාවන්, තරුණ්‍යයේ විශේෂ ආකර්ෂණය ෆේස්බුක් වෙත යොමුවීමට හේතු වූ අතර, වසරක් අවසන් වන විට ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාවේ බොහෝ විශ්වවිද්‍යාල ෆේස්බුක් සමඟ එක්ව සිටියේය. අනතුරුව ඇරඹුණේ විප්ලවීය යුගයයි. වේගවත් පරිවර්තන සහ වෙනස්කම් රුසක් සමඟ ෆේස්බුක් ලෝකය වෙත විවර විය.

ෆේස්බුක් වෙත වසරකට අඩු කාලයකදී මිලියනයක පමණ පරිශීලකයන් ගණනක් සම්බන්ධ වූ අතර වසර හතරක් ඇතුළත එකල ජනප්‍රිය සමාජ මාධ්‍ය වූ MySpace අභිබවා යාමට මාර්ක් සකර්බර්ග් සමත් විය. 2012 වන විට, ෆේස්බුක් මසකට පරිශීලකයන් ගණන බිලියනයක් ඉක්මවා ගියේය. 2023 අවසානයේ ෆේස්බුක් වාර්තා කළේ, තමන්ට දෛනික පරිශීලකයන් බිලියන දෙකකට වඩා ගණනක් සිටින බවය.

ගෙවී ගිය වසර විස්සක කාලය තුළ ෆේස්බුක් නැගීම පිළිබඳව මෙන්ම ෆේස්බුක් වෙත එල්ල වූ චෝදනා පිළිබඳව සලකා බැලීම වටියි. ෆේස්බුක් වෙත නිරන්තරයෙන් එල්ල වී ඇති චෝදනාව වන්නේ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත වැරදි ලෙස භාවිත කිරීමය.

මේ හා සම්බන්ධව ප්‍රසිද්ධියට පත් වූ සිද්ධිය වූයේ, 2014 වසරේදී කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) සිද්ධියයි. එහිදී සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් වැරදි ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ෆේස්බුක් සමාගමට එරෙහිව බරපතළ චෝදනා එල්ල විය. එම සිදුවීමට අදාළ නීති ක්‍රියාමාර්ග සමතයකට පත් කර ගැනීමට ෆේස්බුක් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 725ක් (පවුම් මිලියන 600) ගෙවීමට සිදු විය.

2022 වසරේදී, සිය වෙබ් අඩවියෙන් පෞද්ගලික දත්ත ලබාගැනීමට ඉඩ දීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය නියම කරන ලද යුරෝ මිලියන 265ක දඩයක් ගෙවීමට ද ෆේස්බුක් සමාගමට සිදු විය. මේ වන විටත් ෆේස්බුක් පැටලී සිටින තවත් අර්බුදයක් වන්නේ යුරෝපීය පරිශීලකයන්ගේ දත්ත අධිකරණ බලසීමාවෙන් පිටත මාරු කිරීම සම්බන්ධයෙන් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම විසින් ෆේස්බුක් සමාගමට පැනවූ වාර්තාගත යුරෝ බිලියන 1.2ක දඩයයි. මේ හා සම්බන්ධව ඔවුන් අභියාචනා ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව වර්ගවාදී ආගම්වාදී ව්‍යාපෘති වෙනුවෙන් ෆේස්බුක් භාවිත වූ අවස්ථා පිළිබඳව ද ලොව පුරා වාර්තා වේ. ශ්‍රී ලංකාවේද අවස්ථා කිහිපයකදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය අත්හිටුවීමට පාදක වූයේ එවන් සිදුවීම් බව සිහිපත් කළ යුතුය. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ෆේස්බුක් යොදාගත් අවස්ථා ද ඕනෑ තරම් උපුටා දැක්විය හැකිය. මීට අමතරව වංචනික පුද්ගලයන් ෆේස්බුක් වේදිකාව භාවිත කරමින් විවිධ වංචාවන් සිදු කළ අවස්ථා රුසක් වේ. එසේම දරුවන් සහ වැඩිහිටියන්ගේ ෆේස්බුක් ඇබ්බැහිය ඔවුන්ගේ ජීවිත කෙරෙහි විනාශකාරී ලෙස බලපෑ අවස්ථාද ඇති බව සිහිපත් කළ යුතුය.

ෆේස්බුක් දේශපාලන ක්‍රියාකාරීත්වය ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු තේමාවකි. අරාබි වසන්තය, ගෝලීය දේශපාලනය වෙනස් කළ විරෝධතා සම්බන්ධීකරණය කිරීමට, ඒ හා සම්බන්ධ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට ෆේස්බුක් දායක වූ බව මේ වන විටත් මුළු ලොවම පිළිගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණ දේශපාලනය වෙනුවෙන් ෆේස්බුක් වෙත දැවැන්ත ආයෝජනයන් කෙරෙන බව මේ වන විටත් හෙළිව තිබේ. 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයට මාස පහක් තිබියදී එවකට ජනාධිපති ධූරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම ෆේස්බුක් දැන්වීම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට වඩා වැඩි මුදලක් වැය කර ඇතැයි ඇමෙරිකානු සමීක්ෂකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා ෆේස්බුක් තීරණාත්මක දේශපාලන සාධකයක්ව තිබේ. ඉකුත් මැතිවරණ කිහිපයේදී ෆේස්බුක් භාවිතය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් සතුව ඇත්තේ යහපත් අත්දැකීමක් නොවේ. ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමට සහ මඩ ව්‍යාපෘති දියත් කිරීමට මේ මොහොතේ පවා ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් භාවිත වේ. ඉකුත් අරගලය සමයේ ද ෆේස්බුක් තීරණාත්මක දේශපාලන කාර්යභාරයක් සිදුකළ බව සිහිපත් කළ යුතුය.

සියල්ල නිශේධාත්මක අර්ථයෙන් විග්‍රහ කිරීම යුක්ති යුක්ත නොවේ. සමාජයෙන් වසන් වන තොරතුරු සමාජයට නිරාවරණය කිරීමටත්, ජන සහභාගීත්ව මාධ්‍යකරණයක් බිහිකිරීමටත් ෆේස්බුක් හේතු වී තිබේ. එසේම මානව සබඳතා පුළුල් පරාසයකට ගෙන යාමට ද ෆේස්බුක් දක්වා ඇත්තේ ඓතිහාසික දායකත්වයකි. දෛනික යථාර්ථය තුළ සබඳතා පැවැත්විය නොහැකි මිතුරු මිතුරියන් අතථ්‍ය යථාර්ථය (virtual reality) තුළ සමීපව තැබීමට ෆේස්බුක් සිදු කළා වූ මෙහෙය අති මහත්ය.

සමාජ ජාල සහ තාක්‍ෂණ අධිරාජ්‍යයක් ගොඩනැගූ ෆේස්බුක් 2022 ඓතිහාසික පියවරක් තැබීය. වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රූම් සහ ඔකියුලස් ඇතුළු නැගී එන සමාගම් සියල්ලම ෆේස්බුක් යටතට ගෙන, ෆේස්බුක් මව් සමාගමේ නම, මෙටා ලෙස වෙනස් කිරීමට මාර්ක් සකර්බර්ග් කටයුතු කළේය. ඒ අනුව වසර විස්සකට පසු  ෆේස්බුක් යනු හුදෙකලා රාජ්‍යයක් නොව සයිබර් අවකාශයේ අධිරාජ්‍යයකි.

ඉදිරි වසර විස්සක කාලය තුළ මාර්ක් සකර්බර්ග්ගේ ෆේස්බුක් සුවිසල් තාක්ෂණික විප්ලවයක් සිදු කරනු ඇතැයි බොහෝ විචාරකයෝ විශ්වාස කරති. තවදුරටත් ෆේස්බුක් ලෙස නොව මෙටා ලෙස ඉදිරියට පැමිණෙන මෙම සමාගම ‘Metaverse’ සංකල්පය දැන් අප හමුවේ තබා ඇත. කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන තාක්ෂණික මෙවලම් රුසකින් පෝෂණය වෙමින් පවතින මෙටා විශ්වීය අධිරාජ්‍ය අනාගතයේ අප දෑස මානයේ ගොඩනැගෙනු ඇතැයි අවසානයේ උපකල්පනය කළ හැකිය.

I චමිඳු නිසල් ද සිල්වා 

මූලාශ්‍ර : BBC සහ සමාජ මාධ්‍ය විශ්ලේෂණ වෙබ් අඩවි
ජයාරූප : අන්තර්ජාලයෙන්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03