2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ආපසු නගින උද්ධමනය දරාගත හැකිද?

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

රටේ ආර්ථික වර්ධනය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වෙමින් පවතී. 2021 – 2022 වර්ෂවල ඍණ ආර්ථික වර්ධන වේගයක තිබූ අපේ ආර්ථිකය මේ වන විට ධන තත්ත්වයට පත්කර ගැනීම රජයේ යහපත් ආර්ථික කළමනාකරණය නිසා සිදුවූවක් බව හුවා දැක්වීමට ආණ්ඩු පාර්ශ්වය උත්සාහ දරයි. බංකොලොත් ආර්ථිකයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට නිවැරදි පීල්ලට වැටී ඇතැයි ආණ්ඩුව පැත්තෙන් කියැවේ. එහෙත් ආර්ථික වර්ධන වේගය යම් පමණකට යහපත් වීමෙන් රට ආර්ථික අතින් සුඛිත මුදිත වී ඇතැයි පැවසීම පිළිගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව ප්‍රකාශ වන්නේ 2023 වසර ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ධන සියයට 2 කට පත්ව ඇති බවය. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ රටේ පවතින තත්ත්වය අනුව ආර්ථික වර්ධනය සියයට 4 කට පමණ ඉහළ නැගී ඇති බවය. එසේම බංකොලොත් රාජ්‍යයක්ව පැවැති රට මේ වන විට එම තත්ත්වයෙන් මිදී ඇති බවද පැවසේ. එහෙත් අද රටේ ආර්ථික අර්බුදයක් ඇති බව පාසල් යන කුඩා දරුවා පවා දනී. රටේ ආහාර හිඟයක් පවතී. බොහෝ පවුල් දවසේ ආහාර වේල් එකකට හෝ දෙකකට පමණක් සීමා කර ඇත. පාසල් යා යුතු වයසේ දරුවන්ගෙන් සියයට 18 ක් පමණ දිළිඳුකම නිසා අධ්‍යාපනයෙන් ඉවත් වී තිබෙන බව ප්‍රකාශිතය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 අවසාන වන විට රටේ පවුල් ලක්ෂ 57ක් හෙවත් සියයට 60.5ක පමණ ආදායම පහළ ගොස් ඇත. පවුල්වලින් සියයට 91ක හෙවත් පවුල් ලක්ෂ 51ක වියදම ඉහළ ගොස් දරිද්‍රතා මායිමෙන් පහළට වැටී තිබේ. එහි පුද්ගල සංඛ්‍යාව කොපමණදැයි පවසන්නට දත්ත නැත. රටේ පවුල්වලින් ලක්ෂ 31ක් ණයගැති බවෙන් පීඩා විඳිති. පවුල් හයලක්ෂ අනූහත් දහසකට දිනපතා අවශ්‍ය ආහාර මිලට ගැනීමට නොහැකි වී ඇත. සියයට 31ක් හෙවත් නවලක්ෂ හැත්තෑ දහසක් ආහාරවලට අවශ්‍ය මුදල් ලබාගැනීමට රන් භාණ්ඩ උගසට තබා ඇත.

2022 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් පැවසෙන්නේ එම වසරේදී ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති බවය. රටේ ආර්ථිකය සියයට 7.8කින් සංකෝචනය වූ බව මහ බැංකුව නිල වශයෙන් පිළිගෙන ඇත. මහ බැංකු වාර්තාව අනුව 2022 දී රටේ කාර්මික, කෘෂිකාර්මික සහ සේවා අංශවල විශාල පසුබැසීමක් ඇතිව තිබෙන බව අවධාරණය වේ. තේ නිෂ්පාදනය සියයට 16කින් සහ රබර් නිෂ්පාදනය 7.8ක ප්‍රතිශතයකින් අඩුවී ඇති අතර වී නිෂ්පාදනයේ අඩුවීම සියයට 34.1 කි. ධාන්‍ය නිෂ්පාදනය 43.1කින් පහත වැටී තිබේ. ධාන්‍ය නිෂ්පාදනය 43.1 තරමේ විශාල ප්‍රතිශතයකින් අඩුවී ඇති අතර සමස්ත කෘෂි අංශයේ පිරිහීම සියයට 19.4ක් විය.

කාර්මික අංශයේ ඇඟලුම් නිෂ්පාදනය සියයට 5කින් වැඩි වී ඇති නමුත් අනෙක් සියලු අංශයක්ම පිරිහීමට පත්ව ඇත. රෙදි නිෂ්පාදනය සියයට 21කින් කඩදාසි සියයට 41කින් ඛනිජ තෙල් සහ වෙනත් නිෂ්පාදන සියයට 57කින් හා ලෝහ නිමැවුම සියයට 47කින් විදුලිය උපකරණ නිමැවුම සියයට 20කින් 2021 වසරට වඩා 2022 දී පහළ බැස ඇත.

එසේම දෙසැම්බර්වල 1.6කට පහළ බැස තිබූ උද්ධමනය මේ වන විට සියයට 4 ඉක්මවා ඉහළ නැග ඇත. අද පවතින තත්ත්වය අනුව මෙවැනි උද්ධමනයක් හෝ දරාගැනීමට ජනතාවට හැකිද යන්න සැක සහිතය. මෙලෙස හැම අතින්ම හැකිලුණු ආර්ථිකයක් පවතින රටක ආර්ථික වර්ධනය සුළු වශයෙන් ඉහළ ගියා යැයි සතුටට පත්විය හැකිද යන්න ගැටලුවකි. එසේම ඉදිරියේදී ආර්ථික වර්ධනය මේ තත්ත්වයෙන් හෝ පවත්වා ගැනීමට හැකිවේ නම් එය ආශ්චර්යයක් බව මැදහත් විශ්ලේෂකයන්ගේ මතයයි. මහජනතාව මත බර නොපටවා පාලකයන් විශාල කැප කිරීමකින් කටයුතු කළහොත් යම් පමණකට හෝ සහනයක් ලබාගත හැකි වුවද අද රට යන ගමන් මාර්ගය අනුව ආර්ථිකය යහපත් කර ජනතාවට සෙත සැලසීම සිහිනයක් බවට පත්වී තිබෙන බව පෙනෙන්නට ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ රටක ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත සියයට සියයක්ම නිවැරදි සහ පාරදෘශ්‍යභාවයෙන් යුක්ත ඒවා විය යුතු බවය. එයට හේතුව වන්නේ වැරදි දත්ත මත පදනම්ව කෙරෙන ආර්ථික සමීක්ෂණද දෝෂ සහිත වන බැවිනි. එයින් රටක නියම ආර්ථික තත්ත්වය පිළිබිඹු නොවේ.

''ආර්ථික වර්ධනය යනුවෙන් අදහස් කරනුයේ එක් වර්ෂයකට සාපේක්ෂව ඊළඟ වර්ෂය තුළ සිදුවන රටේ දළ දේශීය නිෂ්පාදනයේ වෙනසයි. ආර්ථික වර්ධක වේගය මැනීමේදී එය ප්‍රතිශතයක් ලෙස දැක්වෙනවා. මෙය වැදගත් වන්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබඳ තක්සේරුවක් මෙයින් ලබාගත හැකිවීමයි. රටක ආර්ථික වර්ධනය යනු දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීමයි. රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිවීමෙන් ආර්ථික වර්ධනයක් ඇතිවෙයි. මෙම ආර්ථික වර්ධනයේ ගුණාත්මකභාවය ''ආර්ථික සංවර්ධනය'' ලෙස සැලකේ. එය ජනතාව අතර නිසියාකාරව බෙදී යා යුතුයි. එවිට දුප්පත්කම අඩු වෙයි. එහෙම නැතිව ආර්ථික වර්ධනය එක්තරා සීමිත කණ්ඩායමක් අතර පමණක් බෙදී යන්නේ නම් එයින් ආර්ථික සංවර්ධනයක් සිදු නොවේ.

අද රටවල් ආර්ථික සංවර්ධනයට වඩා ධරණීය ආර්ථික සංවර්ධනයක් ගැන උනන්දුවක් දක්වන බව පෙනේ. එම සංඛ්‍යාවලින් රට ගමන් කරන දිශානතිය පැහැදිලි වෙයි. අභ්‍යන්තර වශයෙන් නිවැරදි තොරතුරු රටවැසියා දැනගත යුතුයි. මෙහිදී නිවැරදි මගපෙන්වීමක් අවශ්‍ය වෙයි. එසේම ජාත්‍යන්තර සංවිධාන මේ පිළිබඳ දැනුවත් වීම අවශ්‍යයි. ඒ පිළිබඳ විශ්වාසය තබා කටයුතු කළ යුතුයි. මෙම සංඛ්‍යාලේඛන සපයනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. පසුගිය සමයේ මෙම සංඛ්‍යා දත්ත පිළිබඳ ගැටලුවක් ඇතිවුණා. එහිදී මහ බැංකුවට දේශපාලනඥයන් පත්කිරීම නිසා එම තොරතුරුවල ස්වාධීනතාව පිළිබඳ ගැටලුවක් ඇතිවුණා. එම දේශපාලන පත්වීම් ලැබූ අය තම පක්ෂයට හිතකර ලෙසට තොරතුරු නිකුත් කළා. එම වැරදි තොරතුරු නිසා ආර්ථිකය පිළිබඳ ගන්නා පියවරවල් දෝෂ සහගත වුණා. බාහිර පාර්ශ්වයන් සමීක්ෂණ මගින් විවිධ දුර්වලතා පෙන්වුවත් මහ බැංකුව ඒවා පිළිනොගෙන කටයුතු කළා. ප්‍රතිපත්ති සම්පාදනයට වැරදි තොරතුරු දුන් විට ඒ මත ගන්නා තීරණද නිවැරදි නොවෙනවා. මෙවැනි දෝෂ නිසා තමා රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට පවා සිදුවුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගටම පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කළ යුතුයි යන්නය. දැන් තරමක් දුරට ස්වාධීන යැයි කියනවා. එහෙත් ස්වාධීන වන්නේ දේශපාලනඥයකු පත් නොකිරීම නිසාම නොවෙයි. ඒ පුද්ගලයා ගන්නා තීරණයි වැදගත් වෙන්නේ. අද සිදුව ඇත්තේ එම නිලධාරියා තම තනතුර ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසා පාලකයන් සතුටු කරන තීරණ ගැනීමයි. නැතිනම් තමාට පැවැත්මක් නැති බව ඔහු දන්නවා. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතනයක ප්‍රධානියා ලෙස රාජකාරි කරන අයට ස්වාධීන තීරණ ගැනීමට හැකි විය යුතුයි. එහෙත් අද එලෙස සිදුවනවාද යන්න ගැටලු සහගතයි.

ආර්ථික වර්ධනය මනින්නේද මහ බැංකුවේ දත්ත අනුවයි. ඒ නිසා විශේෂයෙන් එය නිවැරදි විය යුතුයි. අපක්ෂපාත විය යුතුයි. 2023 දී අපේ ආර්ථික වර්ධනය පැවතුණේ ඍණ අගයකයි. එහෙත් අද එය ධන බවට පත්ව තිබෙනවා. රට යහපත් මගකට අවතීර්ණ වෙලා යැයි කියන්නට එක හේතුවක් වන්නේ එයයි. රටේ ආර්ථික වර්ධන වේගය 2017-18-19 වර්ෂවල සියයට 5-6ක මට්ටමේ තිබුණා. එහෙත් 2022 වන විට ඒ තත්ත්වය වෙනස් වුණා. එයට විවිධ හේතු තිබුණා. කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා තැබීමට සිදුවීමද එක් හේතුවක්. එහෙත් ආර්ථිකය ඍණ වීමට කොරෝනාව පමණක් හේතු වූයේ නැහැ. අවිචාරවත් ලෙස බදු කපා හැරීමද මෙයට හේතු වුණා. එසේම බදු එකතු කිරීමේ දුර්වලතා ද තවත් හේතුවක්. ලැබිය යුතු බදු නොලැබීමට දේශපාලන හේතු ද බලපෑවා.

මේ රට 1997 වසරේදී තිබුණේ මැදි පහළ ආදායම් ලබන රටක් ලෙසයි. එය සිදුවූයේ අවුරුදු 50කට පසුවයි. 2019 දී ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා. ඒ අවුරුදු 22කට පසුයි. දෙවැනි අවස්ථාවට පත්වෙන්නත් විශාල කාලයක් ගතවෙලා තියෙනවා. ඉහළ ආදායම් ලබන රටක් වීම 2034 දී සිදුවන බව කියනවා. එයට ගතවන කාලය වසර 15ක්. 2019 ඇතිවූ දේශපාලන හා සමාජ අර්බුද නිසා වසරක් තුළ ඉහළ සිට පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙලා තිබුණු තැනටම වැටුණා. අපේ රට තවමත් පහළ මැදි ආදායම් ලබන රටක් වෙලයි තියෙන්නේ. එය ඉහළ තත්ත්වයට ගෙන ආ යුතුයි.

2028 වර්ෂය වන විට ආර්ථික වර්ධන වේගය ඍණ අගයක තමා පැවතුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පවසන අයුරු වසර 4ක් ඉකුත්වෙලා 2024 වසර වන විට ආර්ථික වර්ධන වේගය ධන සියයට දෙකක් තරමට පත්වෙයි කියලා. එහෙත් අපේ ශ්‍රී ලංකා මහ බැංකුව නම් කියන්නේ සියයට 2.5 – 3 අතරට පත්වේය කියලයි. එහෙත් අඩු වූ දෙය වැඩිවීමට සෑහෙන කාලයක් බලා ඉන්න සිදුවෙනවා.

ආර්ථික වර්ධනය ඉහළ යාමට රටේ දළ දේශීය නිෂ්පාදනය ද වැදගත් වෙනවා. 2021 දී දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 84ක්ව පැවතුණා. එහෙත් මේ වන විට එය බිලියන 72 දක්වා අඩුවෙලා තිබෙනවා. එය ඉහළ නංවා ගැනීමට නම් ආර්ථිකය යහපත් කරගත යුතු අතර, නිෂ්පාදන හා සේවා අංශ වැඩිදියුණු කළ යුතුයි. 2022 දී නිෂ්පාදන හා සේවා අංශ සෑහෙන තරම් දුරට පිරිහිලයි තිබුණේ. 2023 දිත් ඒවායේ කැපීපෙනෙන ප්‍රගතියක් දක්නට නැහැ. මේ තත්ත්වය ඉක්මනින් වෙනස් විය යුතුයි. එසේම ඉහළ යන ආර්ථික වර්ධන වේගය පහළට කඩා නොවැටී දිගටම අල්ලාගෙන සිටීමට හැකි විය යුතුයි. මේ පිළිබඳ සෑම රජයක්ම විශේෂ අවධානයකින් සිටිය යුතු වෙනවා.''

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03