2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

රට හොල්ලන වර්ජන - තර්ජන

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

මැතිවරණ වසරේ මුල් කාර්තුවේ සිටම වර්ජන තර්ජන ක්‍රමයෙන් හිස ඔසවමින් පවතී. ගෙවී ගිය සතියේ එම තර්ජනය කොතරම් බරපතළ විය හැකිද යන්න පිළිබඳ ඉඟි කිහිපයක් දැකගත හැකි විය. සෞඛ්‍ය වර්ජනය ඊට කදිම නිදසුන් සැපයීය. ඒ අනුව සෞඛ්‍ය වර්ජනය පාදක කරගනිමින් නිර්මාණය වෙමින් ඇති වර්ජන රැල්ල පිළිබඳ කතාබහක් වෙත අපි ප්‍රවේශ වීමු.

වර්තමාන සමාජ ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් මෙන්ම පොදු මහජනතාව ද පීඩාවට පත් වී සිටින බව නොරහසකි. එබැවින් නිසැක වශයෙන්ම සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය අරගල නිර්මාණය වීමේ වැඩි සම්භාවිතාවක් මේ මොහොතේ පවතී. අනෙක් පසින් උණුසුම් වෙමින් පවතින මැතිවරණ දේශපාලනය විසින් ද "වර්ජන" සිය දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීමට සූදානමින් සිටියි.

ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය ඉකුත් දෙසතිය තුළ ප්‍රමුඛ මාතෘකාවක් වී තිබුණි. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය ජනවාරි 16 වැනිදා පළමු වර්ජනය දියත් කළේය. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුහු පියවර ගත්හ.

එහෙත් සති දෙකකට අධික කාලයක් ගතවුවත් තම ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් පෙබරවාරි මුල් සතියේ නැවත සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළේය. මෙය තරමක බරපතළ තත්ත්වයක් වූයේය. දිවයින පුරා රෝහල් කටයුතු අඩාල වූ අතර රෝහල් කටයුතු සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවීමට රජය තීරණය කළේය.

කෙසේ හෝ අවසානයේ ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය පෙබරවාරි 03 වැනිදා උදෑසන සිට අවසන් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති නිවේදනය කළේය. ඊට හේතු වූයේ ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යාංශ ලේකම් සමඟ සාකච්ඡාවක් ඔවුනට ලබා දීමයි. එහෙත් වෘත්තිය සමිති සාකච්ඡා වෙත අවතීර්ණ වූයේ වෘත්තීය සටන සහමුලින්ම අතහැර නොවේ. ඔවුන් මෙම සටන කල් දමා තිබුණි. 

පොරොන්දු වූ පරිදි පැවැති සාකච්ඡාවලදී සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබූහ. ඒ අනුව ඉදිරි සතිය තුළ ස්ථාවර පිළිතුරක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට තීරණය වී ඇතැයි කියැවේ.

මෙම සාකච්ඡා පැවැත්වෙන විට පවා සෞඛ්‍ය වර්ජනය පෙබරවාරි 07 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතව පැවතුණි. එහෙත් අවසානයේ යෝජනා කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවත් එක් සතියකින් කල් දැමීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කළ බව එහි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා නිවේදනය කළේය. කෙසේ වෙතත් මෙම කමිටුවේ තීරණය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන අතර යම් හෙයකින් විසඳුම් ලබාදීම ප්‍රමාද කරන්නේ නම් නැවත වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීරණය වීමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කොට තිබුණි.

ආසන්නතම වර්ජනය ලෙස මෙහි ස්වභාවය හොඳින් කියවා ගැනීම වටියි. මෙහිදී සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනය මත පිහිටා දැඩි කේවල් කිරීමකට අවතීර්ණ වී ඇති බව පෙනී යයි. මෙය තරමක බරපතළ තත්ත්වයකි. ඉදිරියේදී තවත් වෘත්තිකයන් මෙම ක්‍රමවේදය භාවිත කිරීමට ඉඩ තිබේ. එහෙත් ඉකුත් විදුලිබල මණ්ඩල වෘත්තිකයන්ගේ වර්ජනයේදී ආණ්ඩුවේ ප්‍රතිචාරය මීට ඉඳුරා වෙනස් විය. 

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකට සිය රුකියාවලින් වන්දි ගෙවීමට සිදුවිය. පළමුව විරෝධතාවයේදී මුදල් ගෙවීම් කවුළු වසා පාරිභෝගිකයන්ට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කළ අතර පසුව වැඩ තහනම් කරනු ලැබූ විදුලි සේවක සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගියේය. මෙම මර්දනය හමුවේ විදුලි සේවක වර්ජනයේ රුස් මැකී ගියේය. 

කෙසේ වෙතත් තවදුරටත් විදුලි වෘත්තිය සමිති වැඩ තහනමට ලක් වූ තම සේවකයන් ඉන් මුදවා ගැනීමට වෙහෙස වෙමින් සිටියි. එහෙත් ඔවුන්ගේ ප්‍රමුඛ සටන් පාඨය මේ වන විට කරළියේ දක්නට නොමැත. වර්ජන හමුවේ ආණ්ඩුව ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මේ හරහා ඉඟි පළ වේ.

මේ අතර ක්‍රියාත්මක වූ තවත් වර්ජනයක් වූයේ ලොතරුයි අලෙවි නියෝජිතයන්ගේ හා අලෙවි සහායකයන්ගේ වර්ජනයයි. ශත 50 ක කොමිස් මුදලක් කපා හැරීමට විරෝධය දක්වා ලොතරුයි අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් ක්‍රියාත්මක කළ ලොතරුයි පත් අලෙවි නොකිරීමේ වර්ජනය පෙබරවාරි 6 වැනිදා ක්‍රියාත්මක කෙරුණි. ලොතරුයි අලෙවි නියෝජිතයන්ට ලබා දෙන කොමිස් මුදලින් ශත 50 ක් කපා හැරීම පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වර්ජනය හත් වැනිදා සිට අතහැර දැමීමට ඔවුහු තීරණය කළහ. කෙසේ වෙතත් සති දෙකක් තුළ ශත 50 ක කොමිස් මුදල නැවත ලබා නොදුනහොත් යළි අබණ්ඩව වර්ජනයේ යෙදෙන බව ද ඔවුහු කීහ.

සෞඛ්‍ය සහ විදුලි වර්ජනවලට අමතරව ඉදිරියේදී තවත් වර්ජන රුසක් වෙනුවෙන් පිඹුරුපත් සකසමින් ඇති බව පෙනී යයි. බොහෝ විට එම වර්ජන සියල්ලම රැල්ලක් ලෙස එකක් පසුපසින් එකක් පැමිණීමට ඉඩ තිබේ. මැයි මාසය වන විට මෙම තත්ත්වය වර්ධනය වනු ඇති බව කියැවේ. වෘත්තිය සමිති දේශපාලන අවශ්‍යතා ද මේ සඳහා බලපානු ඇත. මැතිවරණ උණුසුම තවදුරටත් වර්ධනය වීමත් සමඟ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකිය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා ආණ්ඩුව විසින් ලබාගත යුතු තීන්දු තීරණ කිහිපයක්ම ඉතිරිව පවතී. එම තීන්දු යම් හෙයකින් ක්‍රියාත්මක වුවහොත් නියත වශයෙන්ම වර්ජන රැල්ල තවදුරටත් තීව්ර වීමට ඇති ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් වර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව හෝ බලධාරීන් නොව පොදු මහජනතාව බව සඳහන් කළ යුතුය.

I චමිඳු නිසල් ද සිල්වා