2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ගල්කිස්සේදී කොටුවූ යාපනේ ආවා ලොක්කා

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

දරුණු අපරාධ හා කප්පම් ගැනීම ඔස්සේ යාපනයේ භීෂණයක් වැපිරූ ආවා කල්ලියේ වත්මන් නායකයා බව කියන ප්‍රභාකරන් නොහොත් ප්‍රභා වලාන දූෂණ මර්දන ඒකකය මගින් කොටු කරගෙන තිබේ. විදෙස් රටකට පලා යාමේ සූදානමින් ගල්කිස්ස ප්‍රදේශයේ සැඟවී සි‍ටියදී යුක්තිය මෙහෙයුමේ වැටලීමක් අතරතුර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු රඳවාගෙන කරන මූලික ප්‍රශ්න කිරීම්වලින් පසුව යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු ඉන්දීය දමිළ හා මලයාලම් චිත්‍රපට බලා එකී චිත්‍රපටවල ආභාෂය ලබමින් කඩු කිණිසිවලින් කපා කෙටීම, කප්පම් ගැනීම, පෙට්‍රල් බෝම්බ ගැසීම ආදී මැර ක්‍රියා සිදුකරන සැබෑ දාමරික කල්ලියක් ගොඩනගාගෙන රටට භීතියක් ඇති කළ ආවා කල්ලිය ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් ඇති කළේය. තැන තැන තරුණයන්ට පහරදීම, මංකොල්ල කෑම, දේපළ පැහැර ගැනීම සිදුකළ කෙනෙක් සොයා ගැනීම පවා අසීරු වී තිබිණ. රැකියාවක් ආදායමක් නොවූ තරුණ පිරිසක් බීඩිය, ගංජා සුරුට්ටුව, බීර බෝතලය සිට සල්ලාල රස්තියාදුවට ඇවැසි මුදල් රැස්කර ගන්නට ඉන්දීය චිත්‍රපට දර්ශන උපයෝගී කොටගෙන තිබූ බව අනාවරණය වූයේ කලක් ගෙවුණු පසුවය. 

යාපනයේ ස්ථාන ගණනාවක දිගින් දිගටම වාර්තා වූ පහරදීම් ඇතුළු අපරාධ හේතුවෙන් විමර්ශන ඇරඹූ ආරක්ෂක අංශවලට ආවා කල්ලියේ නායකයා කොටුකර ගැනීමට හැකිවූයේ ඉකුත් 04 වැනිදා අලුයම කළ වැටලීමකදීය. 

''යශෝරාපුර ගෙදරක උඩ තට්ටුවේ කොල්ලො කට්ටියක් ඉන්නවා. කවුරුත් එක්ක වැඩි සම්බන්ධයක් නෑ. පේන හැටියට සැකයි...'' වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට මේ තොරතුර ලැබී තිබිණ. අදාළ නිවෙසේ උඩු මහලේ රැඳී සිටිනවා යැයි කියන පිරිසක් සම්බන්ධයෙන් ලැබුණු ඔත්තුව අනුව එම ඒකකයේ නිලධාරීහු දෙපළක් ආවේක්ෂණ රාජකාරියේ නිරත වූහ. පසුව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් සැක සහිත දෙමහල් නිවෙස හදිසි වැටලීමකට ලක් කළහ. ඒ මොහොතේ නිවෙසේ සිට තිබුණේ එක් තරුණයකු පමණි. දැඩි කලබලයකට පත්වූ තරුණයා යමක් අතට ගෙන විසිකරන බව දැක තිබුණේ අවධානයෙන් සිටි නිලධාරියකු විසිනි. ඒ ගැන සොයා බැලීමේදී තහවුරු කරගෙන ඇත්තේ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් විසිකළ බවය. එවලේම අත්අඩංගුවට ගත් සැකකරු දමිළ ජාතිකයකු බව තහවුරු කරගෙන ඔහුට සිංහල කතා කිරීමට නොහැකි බැවින් වැටලීමට සම්බන්ධ දමිළ නිලධාරියකු මාර්ගයෙන් ප්‍රශ්න කරවා තිබිණ.

එහිදී හඳුනාගත් සැකකරු ප්‍රභාකරන් කෞෂිකන් හෙවත් ප්‍රභා නැමැත්තකු බවත් ආවා කල්ලියේ වත්මන් නායකයා ඔහු බවත් අනාවරණය වී තිබිණ. ඔහු යාපනය නීලියම් කනෙයි, පිල්ලයාර් පාර, මල්ලාකම් ලිපිනයේ පදිංචි අවුරුදු 25ක පුද්ගලයකු බවත් හඳුනාගෙන ඇත. ආවා කල්ලිය ඇතුළත මොහු හඳුන්වා ඇත්තේ 001 කොයින්ෂි තම්පා නමින් බව තහවුරු කරගෙන තිබේ. එම අංකය හා සංකේතය සහිත රුපියල් 100 නෝට්ටුවක් හා කඩු දෙකක් අඳින ලද වෙනත් කොළ කැබැල්ලක් ඔහු සතුව තිබී හමුවී ඇත. මොහු ඇතුළු තිදෙනා විදෙස් රටකට පලා යාමේ සූදානමින් එහි නවාතැන් ගෙන සිටි බව පවසා තිබේ. කෙසේ වෙතත් වැටලීම සිදුකරන මෙහොතේ එහි රැඳී සිට තිබුණේ ආවා කල්ලි නායකයා පමණකි. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ආවා කල්ලියට විදෙස් රටවල සිට ලැබෙන ඉල්ලීම් මත මුදල් ලබාගෙන ඇතැම් පහරදීම් සිදුකළ බවට කියා ඇතැයි පැවසේ.

ආවා කල්ලි සාමාජිකයන් විසින් මෙම නවාතැන කුලියට ලබාගෙන තිබුණේ ඉකුත් ඔක්තෝබර් මාසයේ සිටය. 75 හැවිරිදි කාන්තාවකට අයත් එම ස්ථානය රත්මලාන යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි එකකි. එම ස්ථානය මාසිකව රුපියල් 25000ක මුදලකට ලබාගත් පිරිස පවසා ඇත්තේ ඔවුන් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් බවය. මාස තුනක අත්තිකාරම වශයෙන් රුපියල් 75000ක මුදලක් ලබාගත් බව හිමිකාරිනිය විසින් පවසා ඇත.

සෙසු සැකකරුවන් දෙන්නා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර ආවා කල්ලි නායකයා මෙම ස්ථානය ආරක්ෂිත නවාතැනක් ලෙස තෝරාගෙන සිටි බව පවසා තිබේ. තරුණ පිරිසක් එක්වී මෙම කල්ලිය පිහිටුවාගෙන දැන් වසර දහයක් පමණ ගතවී තිබේ. යාපනය මනිප්පායි හා කෝපායි ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් සංවිධානය වී තිබිණ. ඒ අනුව දවාලේ පවා මග රුක සිට ඇතැමුන්ට පහර දී මිනිසුන්ගේ දේපළ කොල්ලකෑම මුලින් සිදුකර තිබේ. එසේ ආරම්භ කළ අපරාධ රුල්ල යාපනය අර්ධද්වීපය පුරා ව්‍යාප්ත කොට තිබුණේ මහජනතාව භීතියට පත් කරවමිනි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ චාමික වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරීක්‍ෂක සඳරුවන්, චතුරංග පොලිස් සැරයන් (428) ජයලාල්, පො.සැ.රිය. (11919) අජිත්, පො.කො. (65921) චමින්ද, (77090) බාලසූරිය, (91287) සංජීව (35039) දිල්හාර, (100677) ලක්‍ෂිත, (105086) කේ. සුමාරන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමට දායක වූහ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර