2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ගුවන් කේන්ද්‍රස්ථානයක සලකුණු සටහන් කිරීම

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ තුනක් කෙරෙහි ඉන්දීය ආයෝජකයන්ගේ අවධානයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය ඉදිරියේ ප්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇත. ගුවන් සේවය හා ගුවන් තොටුපොළ එයින් අංශ දෙකකි. අවුරුදු ගණනක් තිස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් පවතී. යහපාලන ආණ්ඩුව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් දෙවතාවක් අයැදුම්පත් කැඳවන ලද නමුත් සාර්ථක යෝජනා ඉදිරිපත් වූයේ නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාගැනීම ආර්ථික වාසියක් නොවන බව ඇතැම් ජාත්‍යන්තර ව්‍යවසාය කෙළින්ම ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මතධාරීන් හා ඇතැම් දේශපාලන පක්ෂවලට අනුව ශ්‍රී ලංකන් සේවාව රටට විශාල සම්පතකි.

ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් ද වෙනස් ප්‍රතිඵලයක් නැත. කෙසේ වෙතත් කලාපයේ දියුණුවන ගුවන් ගමන් සේවා අනුව තොටුපොළ මෙහෙයවීම ද වාසිදායක ව්‍යාපාරයක් බවට පත්වෙමින් පවතී. එහිදී සැලකිය යුතු අලුත් ආයෝජනයක් කළ යුතු අතර ජාතික ආදායම හා අලුත් ණය ලබාගැනීමට ඇති බාධා සලකා බලන පසුබිම මත එවැනි වත්කමක් ආණ්ඩුවට නැත. පවතින ස්වභාවයෙන් ඉදිරියට ද කරගෙන යන අතර එහි දුබලතා වෙනුවට ප්‍රසාරණයක් තුළින් ආදායමක් ලබාගන්නා තැනට පත් කිරීම ගැන මතභේදාත්මක තර්ක පවතී.

ගුවන් තොටුපොළ හා ඉන්දියානු සාධකය 

ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාම් මහත්මිය මෙම මාසයේ ආරම්භයේ ඉදිරිපත් කළ 2024 අයවැය වාර්තාව අනුව ඉන්දියාව ගුවන් තොටුපොළ සංවර්ධනය වේගවත් කරන බව දක්වයි. රටවල් අතර සම්බන්ධතා තර කරන අතර අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සංවර්ධනය තුළින් ප්‍රවාහන පහසුකම් ඉක්මනින් කරගැනීමට අවස්ථාව සැපයීම ඉන්දීය රජයේ දර්ශනය බව දක්වා ඇත. ඉකුත් දස වසර තුළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 149 ක් දක්වා ප්‍රමාණය දෙගුණයක් වී ඇත. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සමඟ සසඳන කල ගුවන් යානා අභ්‍යන්තරව නතර කළ හැකි ස්ථාන ගණන පන්සියය ඉක්මවා ඇති බව ද මෙහිදී සඳහන් කිරීම වැදගත්ය.

ඉන්දීය වාර්තා පෙන්වන පරිදි 2022 වසරේ පෞද්ගලීකරණය කරන ලද එයාර් ඉන්දියා සමාගම අලුත් ගුවන් යානා 470 ක් ඇනවුම් කර තිබේ. අභ්‍යන්තර ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ සමාගම ඇනවුම් කර ඇති යානා ප්‍රමාණය පන්සියයකි. අලුතින් සේවාවට එක් වූ එයාර් ආකාශ් සේවාව යානා 150 ක් අලුතින් මිල දී ගැනීමට සූදානම්ය. මෙම ප්‍රමාණය සමඟ ඉන්දියාවේ සමස්ත ගුවන් යානා ප්‍රමාණය ලෝකයේ කැපීපෙනෙන ධාරිතාවයක් දක්වා වර්ධනය වේ. 

මුදල් ඇමැතිනිය දක්වන ලද පරිදි ගුවන් තොටුපොළ සංවර්ධනයෙහි අරමුණ ජාත්‍යන්තර ගමන්වල යෙදෙන යානා ගමන් රහිත අවස්ථාවල නතර කර තැබීම හා නඩත්තුව බව ද දක්වා ඇත. නිද්‍රාශීලී ගුවන් යානා නතර කර තැබීම වෙනම ව්‍යාපාරයකි. කාර්යබහුල ගුවන් තොටුපොළක අනවශ්‍ය පරිදි ඉඩකඩ ඇහිරීම වළක්වනු සඳහා ඉතා සමීප තැන්වල ගාල් කිරීමත්, ඉක්මන් නඩත්තු කාර්යයක් සඳහා බාහිර ස්ථාන සොයාගැනීමට කටයුතු කිරීමත් වෙනම ව්‍යාපාරයකි. 

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අලුත් අවස්ථා 

ඉහතින් දක්වන ලද කරුණු අනුව ශ්‍රී ලංකාව සතු ගුවන් තොටුපොළවලට අලුත් ආර්ථික අවස්ථා ඇත. මාලදිවයින, භූතානය වැනි රටවලට යානා යොමු කිරීමට භූගෝලීය සාධක අනුව සංකීර්ණතා ඇත. අනෙක් කුඩා රටවල අවස්ථා ද සීමිත බව දැක්වේ. කටුනායක, රත්මලාන හා හම්බන්තොට ගුවන් තොටුපොළ කාර්යබහුල බවක් නැති ඉඩකඩ සහිත ස්ථාන බවට පර් යේෂකයෝ දක්වති. මෙම ස්ථානවලට අමතරව යාපනයේ අලුතින් ඉදි කරන ලද ගුවන් තොටුපොළ ද අතිරේක ස්ථානයකි. දැනට කුඩා මගී ගුවන් යානා පමණක් භාවිත කරන මෙහි ධාවන පථ දියුණු කර ප්‍රයෝජන ගැනීමට හැකියාව තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ වසරකට මෙහෙයවන ගුවන් යානා ප්‍රමාණය හතළිස් දහසක් පමණ වේ. දැනට ඇති වාර්තා අනුව නවදිල්ලි ගුවන් තොටුපොළ දිනකට යානා එක්දහස් පන්සියයක් මෙහෙයවනු ලබයි. මෙම ප්‍රමාණය දිනපතා ඉහළ යන අතර ඉන්දීය සංචරණ අංශයේ ප්‍රසාරණය එයට හේතු වී තිබේ. ඉන්දීය ආර්ථිකය වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් එරට මැදි ආදායම් ජනගහනය පුළුල් වී ඇත. ලැබෙන ආදායම අනුව අලුත් වියදම් අවස්ථා පවතී. ඉන්දියානුවෝ සංචරණය, සිය සමාජ තත්ත්වය හා වියදම් සලකා විවාහ උත්සව පවා වෙනත් රටවල පවත්වති. පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් ගාල්ලට නුදුරු ජාත්‍යන්තර හෝටලයක ඉන්දීය විවාහ තුනක් සංවිධානය කර තිබුණු අතර සම්පූර්ණ හෝටලය වෙන් කිරීමෙන් හා ගුවන් මගින් පවුල් වශයෙන් පැමිණීමෙන් අලුත් අවකාශයක් විවෘත වී ඇති බව දක්නට ලැබුණි. මෙම විවාහ සාර්ථකව සංවිධානය කිරීමෙන් රටට තවත් අවස්ථා ඉදිරියේ දී ලැබෙන අතර එය අනිවාර්යයෙන්ම ගුවන් තොටුපොළ කාර්යබහුල තැනක් බවට පත් කරනු ඇත.

ඉකුත් 2021 මැද භාගයේ දී කටුනායක ගුවන් තොටුපොළෙහි මගීන් හැසිරවීම ඉතාම දුර්වල තත්ත්වයක පැවැති බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. ගුවන් යානාවලට ප්‍රවේශ වීමේදී ඉටුකරගත යුතු නෛතික කරුණු සඳහා දිග පෝලිම් පැවැති බව වාර්තා විය. අද වන විට මෙම තත්ත්වය තරමක් යහපත් අතට හැරී ඇති අතර ජාත්‍යන්තර ප්‍රශංසාව ලබන තත්ත්වයක් උදෙසා තවත් දියුණු කළ යුතු වේ. පැය ගණන් ගත කරන මගීන්ට ගුවන් තොටුපොළ හැසිරවීම් ප්‍රශ්නකාරී නොකිරීම ඉතාම වැදගත් වේ. එය උදෙසා දැක්මක් ඇතිව තරගකාරීව ක්‍රියා කරන්නට අවශ්‍යය.

උපාය වෙනස් කිරීම

කර්මාන්ත හා ව්‍යාපාර එකම ආකාරයකට තිබීම දියුණුවන රටකට ගැලපෙන්නේ නැත. කාලානුරෑපව දියුණුවන ක්‍රමවේද හා නවීන තාක්ෂණය භාවිත කළ යුතු වේ. ලෝකයේ තරගකාරී ගුවන් සේවා පවත්වාගෙන යන අංශ නවීන පහසුකම් ඔස්සේ මගීන්ට සේවා සපයයි. සිංගප්පූරු ගුවන් තොටුපොළ ස්වයංක්‍රීය කර ඇති අතර මගීන්ගේ ගමන් මලු නිදහස් කරගැනීමට ගතවන කාලය සීමා කිරීමෙන් පසු වියදම අඩු කරගැනීමට ද සමත්ව තිබේ. ගමන් මලු මෙහෙයවීම රොබෝ පද්ධතිවලට පවරන අතර එහිදී ඉතාම නිවැරදිව කටයුතු සිදුවේ. ඩුබායි ගුවන් තොටුපොළ ඇමෙරිකානු යානා සඳහා වීසා මධ්‍යස්ථානයක් වශයෙන් ද ක්‍රියා කරයි. ඇමෙරිකාවට යන මගීන්ගේ වීසා නිශ්කාශනය කර රටට ඇතුළු වූ බවට ගමන් බලපත්‍රයේ සටහන් යොදන අතර ගමනාන්තයට ළඟාවන මගීන්ට ගුවන් යානයෙන් පිට වූ වහා නිවෙස්වලට පිටත්විය හැකි වේ. මෙම කටයුතු වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා, ගුවන් තොටුපොළ පහසුකම් හා නවීන තාක්ෂණය ඉතාම වැදගත්ය.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල හැසිරවීම නරක නැති නමුත් මේවායේ සංවර්ධනයක් විය යුතුව තිබේ. ජාත්‍යන්තර ආයතනවලට මෙම කටයුතුවල අත්දැකීම් ඇත. රටට ලබාගත හැකි සේවා සඳහා රාජ්‍ය පෞද්ගලික හෝ සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය කරන ලද සැලසුම් අනුව ක්‍රියාත්මක වීම ගැන අවධානය යොමු කළ යුතුය. ආණ්ඩුව ආයෝජනය කර සහ රජයේ නීති අනුව නම්‍යශීලී තරගකාරී සේවා සැපයීම පහසු නැත. 

ගුවන් තොටුපොළ පෞද්ගලීකරණය 1980 ගණන්වල සිට ඇරඹී ඇත. නව දිල්ලිය, මුම්බායි හා කල්කටා ගුවන්තොටුපොළ රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායක් වශයෙන් 1990 ගණන්වල සිට පවතින බව ඉන්දියාවේ වාර්තා දක්වයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉන්දියානු ආකෘතිය අධ්‍යයනය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණු නායකයා ඇතුළු කණ්ඩායමකට ද පසුගියදා එම අවස්ථාව ලැබුණි. ඉන්දීය ආර්ථික මොඩලය අනුව ලබා ඇති අවස්ථා හා ලෝකය වෙනස් වෙමින් පවතින ආකාරය ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ සොයා බැලිය යුතුය. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පැවරීමෙන් රටක අවශ්‍යතා සීමා කිරීමක් විය හැකි බවක් අදහස් නොවේ. ඕනෑම රටකට පෞද්ගලික අංශයට ඉඩ දිය හැකි අතර ආණ්ඩුවේ නීති අනුව එම ව්‍යාපාර ආපසු භාර ගැනීමට හෝ වෙනස් කිරීමට ද අයිතියක් ඇත. මහජනතාවට වැඩිම ප්‍රතිලාභ අත්කරන අවස්ථා නිර්මාණය කළ හැක්කේ කෙසේද යන්න ආර්ථික විද්‍යාඥයන් රටට පෙන්වා දිය යුතු වේ.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03