2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඡන්ද වියදම කෝටි දෙදාහයි

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

උදා වී ඇත්තේ මැතිවරණ වසරකි. නිශ්චිත වශයෙන්ම මේ වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පිළිගෙන හමාරය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ පළමු මැතිවරණය ජනාධිපතිවරණයක් වනු ඇත. ඒ අනුව සියලු දෙනා ජනාධිපතිවරණයක්  වෙනුවෙන් ලක ලෑස්ති වෙමින් සිටිති. එසේම ජනාධිපතිවරණයකින් ඉක්බිති කඩිනමින් මහා මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි ද කියැවේ. 

කෙසේ වෙතත් ඉකුත් වසරවලදී මැතිවරණ පැවැත්වීම අප මොහොතකට සිහිපත් කරගත යුතුය. ඉකුත් වසරේ පළාත් පාලන මැතිවරණය කල් ගියේ මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගැටලුවක් හේතුවෙනි. එසේ නම් මේ වසරේ මැතිවරණ පැවැත්වීම සඳහා රජය සතුව මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි පවතීද යන්න සියලු දෙනා විසින්ම නිරාකරණය කරගත යුතු ගැටලුවකි.

මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකට පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලබා දී තිබුණේ මෙවන් පිළිතුරකි.

“2024 ඔය ලේඛනය තුළ මේ වසරේ මැතිවරණ සඳහා රුපියල් බිලියන 10ක්, ඒ කියන්නෙ රුපියල් සියක් කෝටි ඒවා 10ක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා නියමිත කාලවල මැතිවරණ තියන්න කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ මුදල් ප්‍රවාහයන් යහපත් අතට හැරෙමින් තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. 2025 දී මැතිවරණයක් තියෙනවා නම් ඒකටත් අපි මුදල් වෙන් කරනවා. මැතිවරණය නම් කරල නෙවෙයි මුදල් වෙන් කරන්නේ"

මේ අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය රුපියල් බිලියන 10කින් (කෝටි දහසකින්) කළමනාකරණය කරගත යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව පසුගිය සතියේ රුපියල් බිලියන 10කින් මෙම මැතිවරණ ද්විත්වයම ආවරණය කර ගැනීමට හැකි වේදැයි අපි සොයා බැලුවෙමු.

දේශය කළ විමසීමක දී ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක් (රුපියල් කෝටි දෙදහසක්) අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබුණි.

ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළව රුපියල් කෝටි දහසක ඇස්තමේන්තුව මේ වන විටත් මුදල් අමාත්‍යංශයට යවා ඇති බවත් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය. 2025 ට සැලසුම් කර ඇති මහ මැතිවරණය සඳහා ද රුපියල් කෝටි දහසක මූලික ඇස්තමේන්තුවක් සකස් කර ඇතැයි ද මෙහිදී අනාවරණය විය.

මෙම තත්ත්වය මත මෙම වසරේ මැතිවරණ පැවැත්වීමේ හැකියාව පිළිබඳව යම් පූර්ව නිගමනයක් කරා එළඹිය හැකිය. මුදල් ප්‍රතිපාදන සැලකූ විට වසරේ පැවැත්විය හැක්කේ එක් මැතිවරණයක් පමණි. ඒ අනුව ජනාධිපතිවරණයට පළමුව යම් හෙයකින් මහ මැතිවරණය පැවැත්වුවහොත් තත්ත්වය සංකීර්ණ වීමට ඉඩ තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබෙන්නේ නම් පළමුව මහ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව අභ්‍යන්තරයේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව ඉකුත් සතියේ දේශය වාර්තා කළේය. එවන් තත්ත්වයක් උද්ගත වුවහොත් ජනාධිපතිවරණයක් සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල් මහ මැතිවරණය සඳහා වෙන් කිරීමට සිදුවනු ඇත. එවන් විටෙක ජනාධිපතිවරණයක් සඳහා ප්‍රතිපාදන මේ වසර තුළදීම ලබාදීමට අදාළ අංශ සතුව පවතින හැකියාව පැහැදිලි නොවේ.

තවත් පසෙකින් මේ වසර තුළදීම ජනාධිපතිවරණයෙන් ඉක්බිති පාර්ලිමේන්තුව විසුරුවා හැර ක්ෂණික මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව ද ප්‍රශ්නගත වේ. ජනාධිපතිවරණය අහවර වී මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා තවත් මාස කිහිපයක් බලා සිටීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත. වසරක් තුළ රුපියල් බිලියන දහයක් මැතිවරණ සඳහා වෙන් කිරීමේ හැකියාව මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය සතුද යන්න සැබැවින්ම ගැටලුවකි.

උදාහරණයක් ලෙස පසුගිය වසරේ මහ කන්නයට පොහොර මිලදී ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට අවශ්‍ය වූ ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 10කි. එය සොයා ගැනීම පිළිබඳව ද දුෂ්කරතා මතු වූ බව අප සැමට මතකය. මැතිවරණ පැවැත්වීම සඳහා ණය ආධාර ලබා ගැනීමේ හැකියාවක් ද නොමැති බැවින්, බොහෝ විට මේ වසරේ මොන යම් හෝ එක් මැතිවරණයක් පමණක් පැවැත්වීමේ සම්භාවිතාව ඉහළ බව සඳහන් කළ හැකිය.

මැතිවරණ කොමිසම පසුගිය සතියේ දේශයට පැවසූ පරිදි ජනාධිපතිවරණයට අදාළ ඇස්තමේන්තුව පසුගිය අයවැය මගින් දැනටමත් පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. එසේම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යංශය බැඳී සිටියි.

කෙසේ වෙතත් මෙම සංකීර්ණ තත්ත්වය පිළිබඳ මෙතෙක් මෙරට දේශපාලනයේ අවධානය යොමුව නොමැති බව සඳහන් කළ යුතුය. නියමිත පරිදි මැතිවරණ ද්විත්වය 2024 සහ 2025 යන වසරවලදී පැවැත්වුණහොත් ගැටලුවක් මතු නොවනු ඇත. එහෙත් පවතින සංකීර්ණ දේශපාලන වටපිටාව මත මැතිවරණ සඳහා දේශපාලකයන් එළඹෙන්නේ, ප්‍රතිපාදන පිළිබඳ සලකා නොව සිය දේශපාලන වාසි පිළිබඳ සලකා බව අප මතක තබාගත යුතුය. එනිසාම සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අපි අවධානයෙන් බලා සිටිමු.

I චමිඳු නිසල් ද සිල්වා