ඒ රාත්‍රීන් මනරම්ය. ගෙවී ගිය හතළිස් හතර වසරක් තිස්සේම කොළඹ කලඑළි ගැන්වූ ඒ රාත්‍රීන් මනරම්ය. මේ සපැමිණෙන්නේ හතළිස් පස්වැනි වරටත් කොළඹ සරසන නවම් මහ පෙරහරයි. කොළඹ ගංගාරාම පුදබිම එදා මෙදාතුර සිදු කරන ලද සහ අදටත් සිදු කරන උත්තරීතර ශාසනික සහ සමාජ මෙහෙවර සමුදාය අතුරින් නවම් මහ පෙරහර යනු එක් සමාජ මෙහෙවරක් පමණකි. පෙරහරක් සමාජ මෙහෙවරක් බවට පරිවර්තනය වන්නේ කෙසේදැයි ඔබ තර්ක කරයි නම් ඊට කදිම සංනිදර්ශනයක් ගංගාරාමය සපයයි. හතළිස් හතර වසරක් පුරා ගංගාරාම නවම් මහා පෙරහර විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් සේම සමාජ මෙහෙවරක් ඉටු කරන අපූරු තෝතැන්නක් බවට පත්වූයේ කෙසේද? සැබැවින්ම එය ලස්සනම කතාන්දරයක් වැනිය.
ගංගාරාමයේ නවම් පෙරහර විචිත්‍රවත් නර්තන සහ පෙරහර අංගයන්ගෙන් සරසන්නට ඉදිරිපත් වෙන සෑම ශිල්පියෙක්ටම මූල්‍යමය වටිනාකමක් හිමි වේ. විශේෂයෙන් නැටුම් කණ්ඩායම වැනි අංගයක් ගත් විට එම ශිල්පීන්ට ගංගාරාමයේ සබඳතාවය මත තවත් විචිත්‍ර අංගයන්ට සම්බන්ධ වීමටත් ඒ ඔස්සේ ආර්ථිකමය ශක්තිමත්භාවය ඇතිකර ගැනීමටත් අවස්ථාව උදා වේ. ගංගාරාමයේ පෙරහර පිළිබඳව කරන සඳහන් කිරීම්වලදී විශේෂයෙන් ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් පෙරහරට දායකත්වය සපයන නැටුම් කණ්ඩායම් ඇතුළු සංස්කෘතික අංග ඉදිරිපත් කරන කණ්ඩායම්වල දුරකථන අංකය ද සඳහන් කරයි. එය ඔවුන්ට තවත් එවැනි සංස්කෘතික විචිත්‍රාංගයන් උදෙසා ඇරියුම් ලැබීමට පාදක වන ප්‍රබල හේතුවක් බවට පත් වේ. කවදත් සබුද්ධික සහ ප්‍රායෝගික චින්තනයක් සහිතව යාවත්කාලීන වූ දැනුම් සම්භාරයක් පෙරදැරිව කටයුතු කරන ගංගාරාමයේ අස්සජී හිමියන් නවම් මහා පෙරහර ඔස්සේ ඉටු කරන්නේ තවත් අතෙකින් සමාජීය මෙහෙවරකි. සිංහල බෞද්ධ සංස්කෘතිකාංග අද්‍යතන පරම්පරාවන්ට දෑසින් දැක බලා විඳගැනීමට මං සලසන අතරතුරම අස්සජී හිමියන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය විෂයෙහිද ගංගාරාමයේ නවම් පෙරහර ඔස්සේ ලබා දෙන නිහඬ දායකත්වය සැබැවින්ම ප්‍රශංසනීය වේ.
ගංගාරාම පුදබිම සහ නවම් පෙරහර පිළිබඳව මතක ස්මරණයේදී කිසිදු ලෙසකින් මට අමතක කළ නොහැකි උතුම් චරිතය වන්නේ ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර ස්වාමින් වහන්සේ ය. උන්වහන්සේ ගංගාරාමය කේන්ද්‍රීයව කළ ශාසනික සහ සමාජීය මෙහෙවර වදන් වියමනකට ලඝු කරන්නට සැබැවින්ම මම නොදනිමි. උන්වහන්සේගේ විසල් මෙහෙවර හමුවේ මගේ ශබ්දකෝෂය කොතෙක් නම් දුප්පත් දැයි මට සිතෙන තරම්ය. උන්වහන්සේ තරම් ප්‍රායෝගික සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු යතිවරයාණන් වහන්සේ නමක් මෙතෙක් මට හමුව නැත. ගංගාරාමවාසී අස්සජී හිමියන් දෙවැනි වන්නේද ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට එනම් ගල්බොඩ ඥානිස්සර හිමිපාණන්ට පමණක් යැයි සිතෙන තරමට උන්වහන්සේද එතරම්ම ප්‍රායෝගික සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුය. එවන් යතිවරයාණන් වහන්සේලාගේ සුසංයෝගයෙන් එකමුතුවෙන් කෙරෙන නවම් මහා පෙරහර වැනි කර්තව්‍යයක් කෙතරම් අර්ථ පූර්ණ වෙත්ද මනරම් වෙත්ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතේ. ආචාර්ය පල්ලේගම රතනසාර හිමියන්ද ඒ මෙහෙවර සමඟ සොඳුරු විශ්වසනීයත්වයකින් අත්වැල් බැඳගත් තවත් යතිවරයාණන් වහන්සේ නමකි.
ගංගාරාමයේ නවම් මහා පෙරහර නැරඹීමට පැමිණෙන්නේ දේශීය පුරවැසියන් පමණක් නොවෙයි. බොහෝ විදේශිකයන්ද ගංගාරාම පෙරහර නැරඹීම පිණිස පැමිණෙන අයුරු දැකගත හැකිය. ඉතාමත් ඉවසිලිවන්ත ලෙස ලාංකික සංස්කෘතිකාංග නරඹමින් එහි චමත්කාරය ඔවුන් ආස්වාදනීය මනසකින් විඳගන්නා ආකාරය දෙස බලා සිටීමද අපූරු අත්දැකීමකි. සද්දන්ත අලි ඇතුන් පිරිවරාගෙන කොළඹ වීදි ගණනාවක් පුරා සංචාරය කරමින් නවම් පෙරහරට ගංගාරමය සැරසෙන්නේ මාස කිහිපයක සිටය. සැබැවින්ම එතරම් විවිධ සහ විචිත්‍ර පූර්ණ සංස්කෘතිකාංග සහ සොඳුරු සළු පිළිවලින් සැරසුණු ඇත් රජුන්ගෙන් සුසැදි පෙරහරක් ශ්‍රී ලංකාවේ තවත් පවත්වනවා දැයි සිතෙන තරමට ගංගාරාමයේ නවම් පෙරහර ප්‍රේක්ෂක මනස වෙත තිළිණ කරන්නේ ඉසියුම් වින්දනීය අත්දැකීමකි.
තවත් ලෙසකින් හතළිස් පස් වසරක් පුරා මෙවන් මහා පෙරහර මංගල්‍යයක් පැවැත්වීමට තරම් කෙතරම් සංවිධාන ශක්තියක්, සාමූහික එකමුතුභාවයක් තිබිය යුතු දැයි තර්ක විරහිත කාරණාවකි. මහ රජෙකු ලෙසින් සේම සොඳුරු ආඥාදායකයකු ලෙසින් ආචාර්ය ගල්බොඩ ඥානිස්සර ස්වාමින් වහන්සේ එදා මෙදාතුර ඒ උදෙසා පෙරමං කී පහන් තාරුකාවයි. ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේ මෙන්ම ආචාර්ය පල්ලේගම රතනසාර ස්වාමින් වහන්සේ ද උන්වහන්සේ මෙතෙක් කරගෙන ආ ඒ උතුම් කර්තව්‍ය ඒ අයුරින්ම නොපිරිහෙලා ඉටු කිරීම සැබැවින්ම අනගිභවනීය වේ.
තවද ගංගාරාමයේ පෙරහර යනු ශ්‍රී ලාංකික සිංහල, දමිළ, මුස්ලිම් මෙන්ම වෙනත් විදේශිකයන් ද ස්නේහයෙන් අත්වැල් බැඳගත් තෝතැන්නකි. එය එසේ වන්නේ ගංගාරාමයේ නවම් පෙරහර නැරඹීම අරමුණු කරගෙනම පැමිණෙන විදේශිකයන් මෙන්ම එම පෙරහර නැරඹීමට පැමිණෙන විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් ස්වදේශිකයන්ද විශාල පිරිසක් සිටින බැවිනි.
සැබැවින්ම සුන්දරම සහ රුවන්මය වටිනාකමකින් යුතු කාරණාව වන්නේ දමිළ, මුස්ලිම් සහ අන්‍ය ජාතිකයන්ද පෙරහර මංගල්‍ය සඳහා මූල්‍යමය සහ වෙනත් ප්‍රායෝගික දායකත්වයන් ලබා දෙන අවස්ථා නවම් මහ පෙරහරේ ආරම්භයේ සිට අද්‍යතනය දක්වාම ඒ අයුරින් පැවතීමය. ලෝකය සත්‍ය වශයෙන්ම සුන්දර වන්නේ ජාති, ආගම්, කුල පන්ති භේදවලින් වියුක්තව මානවයා මානවයා විෂයෙහි ප්‍රේමයෙන් බැඳෙන තෝතැනි විසල් විශ්වය පුරා නිර්මාණය වන පසුබිම් උදා වූ විටය. ගංගාරාමයේ නවම් පෙරහර යනු ඒ චමත්කාරවත් ස්නේහය උදෙසා ද සොඳුරු සංනිදර්ශනයක්මය.
අතීතයේ පටන් අද දක්වාම ගංගාරාමයේ නවම් පෙරහර වීදි සරන දෙදින පුරා ප්‍රේක්ෂකාගාරයෙන් මාවත් හිස් වූ දවසක් කෙදිනකවත් හමු වී නැත. හමුවනුද නැත. තවත් අතෙකින් ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතිකාංග සහ සම්ප්‍රදායන් කලාව හා සම්මිශ්‍රණය වී ගොඩනැගුණු අවස්ථා සොයා යන්නෙකුට ගංගාරාම පෙරහර යනු අපූරු කැඩපතකි. පෙරහර උදෙසා එම සංස්කෘතිකමය දායකත්වය ලබා දෙන ශිල්පීන් මෙන්ම අලි ඇතුන්ද සූදානම් වන්නේත්, සූදානම් කරන්නේත් පෙරහර පැවැත්වීමට දින ගණනාවකට පෙරාතුවමය. එය එක් අතෙකින් බුදුන් දෙවියන් උදෙසා පේවී සිදු කරනු ලබන සාම්ප්‍රදායිකත්වයේ විශිෂ්ටතම මංගල්‍යයක් වැනිය.
මෙවර ගංගාරාමයේ නවම් මහ පෙරහර පුරා හතළිස් හතර වසරක් සුරුකි කොටගත් එම සුවිශිෂ්ටත්වය සහ අර්ථවත් බව එලෙසින්ම රුකගෙන වීදි පුරා සක්මන් කරන්නේ නවම් මාසයේ 23 සහ 24 දෙදින තුළය. ගංගාරාමය පුද බිමම මේ දිනවල උණුසුම් වී ඇත්තේ ඒ පෙරහර මංගල්‍යයේ තේජවන්ත සූදානම තුළය. අදින් දවස් පහක් ඇවෑමෙන් කොළඹ වීදි සරසන එම උතුම් නවම් මහ පෙරහර මංගල්‍ය උදා වේ.
''අවුරුදු හතළිස් පහක් පුරාවට මෙවන් උත්කර්ෂවත් සංස්කෘතික මංගල්‍යයක් පිළිවෙළට ලස්සනට කිසිදු අඩුපාඩුවකින් තොරව සිද්ධ කිරීම කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහි සාර්ථකත්වය පිටුපස සැමදාමත් අපට ආශිර්වාදයක් වන ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ආශිර්වාදය වගේම ආචාර්ය පල්ලේගම රතනසාර හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක්ගේ දායකත්වයත් දායක සභාවේ දායකත්වයත් පෙරහර මංගල්‍යයට දායකත්වය ලබා දෙන සියලුම ශිල්පීන්ගේ දායකත්වයත් පෙරහර සඳහා භක්ත්‍යාදරයෙන් යුක්තව මූල්‍යමය දායකත්වය ඇතුළු විවිධ දායකත්වයන් ලබා දෙන පෞද්ගලික සහ රාජ්‍ය ආයතනත් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශත් සිංහල, දමිළ, මුස්ලිම් සහ අන්‍ය හිත මිත්‍රයනුත් විදේශයන්ගේ සිට පවා අපිට ආශිර්වාදය සහ සහයෝගය පිරිනමන බැදිමතුන් මෙන්ම විවිධ පාර්ශ්වත් ඉන්නවා. නම් වශයෙන් සඳහන් කළ නොහැකි වුවත් ඉතා විශාල පිරිසක් අප සමඟ ඉන්නවා. සැබැවින්ම වදනකින් හෝ ආශිර්වාදයක් සුබ පැතුමක් සහයෝගයක් ලබා දෙන සියලුම දෙනාට කෘතවේදීව අපි ස්තූතිවන්ත වෙනවා. ඔවුන් ඒ දායකත්වය දෙන්නෙ විශාල පිංකමකට. එයින් ඔවුන් අත්පත් කර ගන්නෙ විශාල පිනක් සහ කුසලයක්.'' ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් පෙරහර මංගල්‍ය පිළිබඳව දිගු විචාරයක යෙදෙමින් සඳහන් කළේ ඒ අයුරිනි.
මේ උතුම් විචිත්‍රවත් සුපහන් සංස්කෘතික මංගල්‍ය චිරාත් කාලයක් පවතීවා යන්න අපේ හෘදයාංගම පැතුමයි.
I සංජීවිකා සමරතුංග