2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

විදුලි බිලේ වංගු ගැහිලි

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 126

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉතාම අසාධාරණ සහ අත්තනෝමතික ලෙස ජනතාව මත පටවනු ලැබ ඇති විදුලි බිල අනිවාර්යයෙන්ම සංශෝධනය කළ යුතු බවට දැඩි ජනතා ඉල්ලීමක් පවතී. ජන මතයට පිටුපා දැඩි මතයක සිටීමට රජයට හැකියාවක් තිබේද යන්න ගැටලුවකි. සාමාන්‍ය ජනතාව උපයන ආදායමෙන් අඩක පමණ කොටසක් විදුලි බිල ගෙවීමට යෙදූ විට ඔවුන් ජීවත් වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වේ. අද පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ දිනකට ආහාරවේල් එකකට දෙකකට සීමාකර ඇති දිළිඳු ජනතාවට විදුලි බිල සඳහන් විශාල මුදලක් ගෙවීමට සිදුවීමෙන් තවත් අසරණභාවයට පත්වීමට සිදුව තිබේ.

මේ වන විට ලක්ෂ 4කට වැඩි පාරිභෝගික සංඛ්‍යාවකගේ විදුලිය විසන්ධි කර ඇත. මෙසේ විසන්ධි කළ විට හිඟ මුදල් ගෙව්වහොත් නැවත පිරිද්දුම් ගාස්තුව ලෙස රුපියල් 3000ක් ද ගෙවීමට සිදුවීමෙන් ඔවුහු කබලෙන් ළිපට වැටී සිටිති. ආගමික ස්ථානවලට සහන ගාස්තු ක්‍රමයක් මෙයට පෙර බලපැවැත්වුවද නව සංශෝධනයේදී එය ද අහෝසි කර ඇති නිසා සිද්ධස්ථාන විශාල සංඛ්‍යාවක ද විදුලිය මේ වන විට විසන්ධි කර ඇති බව වාර්තා වෙයි. ගාල්ල, ගල්වඩුගොඩ ප්‍රදේශයේ නිවෙසකට ශත 18ක හිඟ මුදලකටද විදුලිය විසන්ධි කළ බව පසුගිය සතියේ වාර්තා විය. විදුලිය කපා හැරි ජනතාවගෙන් අඩකට වැඩි කොටසක් ආපසු විදුලිය ලබාගෙන නැත්තේ ඒ සඳහා ඔවුන්ට මූල්‍යමය හැකියාවක් නොමැති නිසා බව හෙළි වී ඇත. එම නිවෙස්වල දරුවන් රාත්‍රියට ඉටිපන්දම් හෝ කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කටයුතුවල නිරත වන බව ජනමාධ්‍ය මගින් එළිදක්වා තිබුණි.

විදුලිබල මණ්ඩලයේ ඇති අනවශ්‍ය වියදම්, වංචා, දූෂණ හා අකාර්යක්ෂමභාවය ඉවත් නොකර එම සියලු බරම විදුලි බිලට එකතු කර දුප්පතුන් ගසා කෑමට විදුලිබල ඇමැතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය සිත්පිත් නැති ලෙස කටයුතු කිරීම කොතරම් ඛේදජනකද?

ශ්‍රී ලංකාවේ වර්තමාන විදුලි ගාස්තු පිළිබඳ විශ්ලේෂණයක යෙදුණු ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන ''වෙරිටේ රිසර්ච්'' පසුගියදා නිවේදනය කර තිබුණේ දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අයකරන එකම රට ශ්‍රී ලංකාව බවයි. නිවාසවල විදුලි ගාස්තුවලට ගෙවන මුදල කලාපයේ වෙන රටවලට වඩා සියයට 2.5 – 3.0 දක්වා වැඩි අගයක් ගන්නා බව ඔවුන් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාව හා බැඳුණු මෙම ආර්ථික විශ්ලේෂණයට දත්ත ලබාගැනීම සඳහා ඔවුන් ඒකක 100 – 200 හා 300 ආදී වශයෙන් කොටස් කර විදුලිය පාරිභෝජනය කරන විට ඇත්තවශයෙන්ම එම නිවාසවලින් කොපමණ විදුලිය පාවිච්චි කරනවාද යන්න විමසුමට භාජනය කර ඇත.

කලාපයේ දෙවනුව වැඩි විදුලි ගාස්තු ඇත්තේ පාකිස්තානයේ වන නමුත් එම ගාස්තුව ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු බව ඔවුහු කියති. ඒකකයට ශ්‍රී ලංකාවේ අයකරන ගාස්තුව පාකිස්තානයට වඩා සියයට 50කින් වැඩි වේ. ඒකක 300ක් පාවිච්චි කරන නිවෙස්වලින් අයකරන ගාස්තුව සියයට 97කින් ඉහළය. ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මෙරට ලබා දී තිබෙන කැපවීම හා බැඳී පවතී. ඒ අනුව විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයා මත පටවන ගාස්තු සහ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන සහනාධාර ඒකාබද්ධ කිරීමෙන් සම්පූර්ණ වියදම ආවරණය කරනු ඇති බව දැක්වේ.

පසුගිය කාලසීමාවේ ඇතිවූ අධික වර්ෂාපතනය නිසා ජලාශ පිරී ඉතිරී යාමෙන් වාර්තාගත ජල විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමට හැකි විය. එහෙත් ඒ වන විටද තාප හා ඉන්ධන නිෂ්පාදනාගාරවලින් විදුලිය නිපදවෙමින් පැවතිණ. ඇතැම් සමාගම් විදුලිබල මණ්ඩලය සමඟ දීර්ඝ කාලීනව ගිවිසුම්ගත වී ඇති නිසා සෑම මාසයකම ඒවායින් නියමිත විදුලි බලය මණ්ඩලය මිලදී ගත යුතු විය. මෙම ඇතැම් නිෂ්පාදනාගාරවල අයිතිය විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ සමීප අයට හිමිව ඇති නිසා ඔවුන්ට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීමට නිතැතින්ම සිදුවේ.

මේ වන විට යළිත් නියං කාලගුණයක් උද්ගතව ඇති නිසා ජල විදුලි බල නිෂ්පාදනය සියයට 32.9 දක්වා පහළ බැස තිබේ. තාප විදුලි ජනනය සියයට 56.37ට ඉහළ නැග ඇති අතර පසුගිය මස 20දා වන විට මහා පරිමාණ හා කුඩා පරිමාණ ජල මූලාශ්‍ර උපයෝගී කරගෙන දෛනිකව අවශ්‍ය සමස්ත විදුලි ප්‍රමාණයෙන් සියයට 53.29ක් නිපදවා ඇති බව මණ්ඩලය කියයි. එදින තාප විදුලි බලය නිෂ්පාදනය කර ඇත්තේ සමස්ත විදුලි ප්‍රමාණයෙන් සියයට 39.3ක් පමණි. ඉතිරිය පුනර්ජනනීය බලශක්තියෙන් ආවරණය කරගෙන තිබේ. පැය 24ක් තුළ නිෂ්පාදනය කර ගැනීමට හැකි වී ඇති ධාරිතාව ජලය උපයෝගී කරගෙන සියයට 32.9ක් හා තාප විදුලි බලාගාරවලින් 56.37 කි. සුළං බලාගාරවලින් සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 4.65ක්ද සූර්ය බලශක්තියෙන් 5.7ක්ද නිපදවා ඇති බව විදුලිබල මණ්ඩල සංඛ්‍යාලේඛන අනුව සනාථ වෙයි. මේ අනුව අපට පෙනී යන්නේ දේශගුණය කෙසේ වෙනස් වුවද විදුලිබල මණ්ඩලය පැරුණි සාම්ප්‍රදායික ක්‍රමයටම විදුලි බලය නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇති බවය.

විදුලි ගාස්තු අඩු කළ යුතු බවට සැම පැත්තෙන්ම විදුලිබල මණ්ඩලයට බලපෑම් එල්ල කරමින් සිටියදී මණ්ඩලය ජනතාවට සහනයක් සැලසීමට යැයි පවසමින් පෙබරවාරි මාසයේ සිට විදුලි ගාස්තු සියයට 3.34 කින් අඩු කළ හැකි බවට වූ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇත. විදුලි ගාස්තු සියයට 300 කින් පමණ වැඩි කිරීමෙන් අනතුරුව සියයට තුනකින් පමණ අඩු කිරීමට යාම හාස්‍යජනක උත්සාහයකි. මෙහිදී මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා අනුව කෝටි 20,000ක පමණ වැය අධි තක්සේරුවකින් දක්වා ඇති බවද එම අධි වියදම් ඉවත් කරන්නේ නම් සියයට 25 – 30 පමණ ගාස්තු අඩු කළ හැකි යැයි ද මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ උපදේශක පත්‍රිකාවක සඳහන් වේ. එසේම විදුලි ගාස්තු අඩුකිරීමේ ප්‍රතිශතය ගණනය කිරීමට කොමිසමට මිස මණ්ඩලයට බලයක් නොමැති බවද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම මණ්ඩලයට උපදෙස් දී තිබුණේ 2023 වසර තුළ ලැබූ ලාභය හා 2023 වසර අවසන් වන විට පැවති ජල විදුලි ධාරිතාව සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසය. එහෙත් මණ්ඩලය ඒ කිසිවක් පිළිබඳ සැලකිලිමත් නොවී වියදම් පුම්බා දක්වා තිබෙන බවට කොමිසම චෝදනා කරයි. මණ්ඩලය විසින් 2024-01-16 දින ඉදිරිපත් කර තිබූ විදුලි අයක්‍රම සහ තොග සැපයුම් අයක්‍රම යෝජනාව පිළිබඳ සෑහීමකට පත් නොවූ කොමිසම එහි ඇතැම් තැන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස දැන්වුවද ජනවාරි 23දා වනතුරුම එම විස්තර දන්වා නැත.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30(3) වගන්තිය යටතේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට උපයෝගිතා කොමිසම කටයුතු කර තිබුණි. මේ පිළිබඳ ජනතාවගේ ලිඛිත කරුණු 2024 පෙබරවාරි මස 12දා දක්වා බාර ගැනීමට නියමිතව තිබුණු අතර වාචික කරුණු ඉදිරිපත් කිරීමේ සම්මන්ත්‍රණය පෙබරවාරි 15 දින පැවැත්වීමට කොමිසම කටයුතු කර තිබුණි. (මේ ලිපිය ලියන දිනය වන විට ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කර නොතිබූ නිසා වෙනස්වීම් පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකිය.)

මෙහිදී කොමිසම ඉල්ලා තිබුණේ 2024 වර්ෂයේ විදුලි සැපයුම සඳහා මණ්ඩලය ඉදිරිපත් කර ඇති වැය ඇස්තමේන්තු සහ මණ්ඩලය යෝජනා කර ඇති සියයට 3.34 ක ගාස්තු අඩුකිරීම පිළිබඳ අයක්‍රමය ද තමාට දක්වන ලෙසටය.
කොමිසම විසින් කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් සමාලෝචනය කරන ලෙස මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

2024 වසර සඳහා මෙගා වොට් 100ක හදිසි මිලදී ගැනීමක් අවශ්‍ය බව මණ්ඩලය සඳහන් කළද එම වසරේදී හදිසි මිලදී ගැනීම්වලින් ජනනය කළ මාසික සාමාන්‍ය විදුලි ප්‍රමාණය ගිගා වොට් පැය 6.29ක් බව කොමිසම කියයි. එහෙත් ඉදිරියේදී හදිසි මිලදී ගැනීම් සඳහා අවශ්‍ය වන අමතර පිරිවැය රුපියල් මිලියන 1594.84ක් බවද කොමිසම සඳහන් කර තිබේ.

2023 ජූනි මස ආරම්භ කළ ගාස්තු සංශෝධනයේදී බලපත්‍ර නොමැති බලාගාර ජූනි සිට මාස 3ක් ඇතුළත ජනන බලපත්‍රය ලබාගත යුතුය යන කොන්දේසිය මත නමුත් එම බලාගාර බලපත්‍ර ලබාගෙන නොමැත. මේ බලාගාර සඳහා 2024ට ඇස්තමේක්තු කර ඇති ධාරිතා පිරිවැය රුපියල් මිලියන 5160.65ක් වේ. බලාගාර සඳහා ක්ෂය වීම් ධාරිතා ගාස්තුවලට අඩංගු කර ඇති නමුත් බලාගාර ඉදිකර ඇත්තේ රජයේ අරමුදල්වලින් නිසි ක්ෂය වීම් පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් කිරීම වැරදි බව කොමිසම පෙන්වා දෙයි.

2024 විදුලි ජනන ධාරිතා පිරිවැය ද අධි තක්සේරු කර ඇතැයි කොමිසම පවසයි. පසුගිය වසර කිහිපයක පිරිවැය සමඟ සැසඳූ විට මේ බව සනාථ වෙයි. මෙහිදී ජනන පිරිවැය රුපියල් මිලියන 95,728.72ක් ලෙස දක්වා තිබීම පිළිබඳව කොමිසම ප්‍රශ්න කරයි. එසේම 2024 සඳහා විදුලිය බෙදාහැරීමේ පිරිවැය ලෙස රුපියල් මිලියන 133,235.20ක් දක්වා තිබීමද අධි ඇස්තමේන්තුවක් බව කොමිසමේ අදහසය. එසේම බෙදාහැරීම් කලාප 4 හිම සමස්ත බෙදාහැරීම් පිරිවැය රුපියල් මිලියන 64,915.60 ලෙස දක්වා තිබීමද අධි ඇස්තමේන්තුවක් වෙයි.

මණ්ඩලය මූල්‍ය පිරිවැය 2024 සඳහා රුපියල් මිලියන 53,910.90ක් ලෙස දක්වා තිබුණද ප්‍රතිපත්ති පොලී අනුපාත ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අඩුකර තිබෙන නිසා මෙම මුදල අඩු විය යුතු බව කොමිසමේ අදහසය. 2023 දී මණ්ඩලය උපයා ඇති රුපියල් මිලියන 48,722ක් වූ ලාභය ගාස්තු සංශෝධනයේදී සලකා නොබැලීම ගැටලු සහගත බව කොමිසම කියයි. 2023 නොවැම්බර්වල ලාභය රුපියල් මිලියන 32,187ක්ව තිබියදී 2023 ලාභය මිලියන 16,987ක් ලෙස දැක්වීම අවතක්සේරුවක් ලෙස පෙනෙන බව කොමිසම කියයි. මෙම කරුණු අනුව අපට පෙනී යන ප්‍රධාන කරුණක් නම් මණ්ඩලය හිතාමතාම වියදම පුම්බා තබාගෙන ආදායම අඩුවෙන් දක්වා ලැබෙන ලාභය සැඟවීමෙන් ජනතාවට සහන සැලසීම වළකා ඇති බවය.

පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර බෝලය මහජන උපයෝගිතා කොමිසමට පාස් කර ඇඟ බේරාගැනීමට උත්සාහ කළ ද ජනතාව විදුලි ගාස්තු මාෆියාවෙන් බේරාගැනීමට වර්තමාන රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පෙනී යයි.

I යසවර්ධන රුද්රිගූ