ශ්‍රී ලංකාව තුළ පවතින ඉහළ ආදායම් ලැබිය හැකි සිහින රැකියා ගණයට, ශ්‍රී ලංකා රේගුවේ රැකියා අවස්ථා එකතුව ඇත්තේ බොහෝ කලකට පෙර සිටය. ඒ නිසාම රේගු රැකියාවක් සඳහා අයැදුම්පත් කැඳවීම කාගේත් අවධානය දිනා ගන්නා සිදුවීමකි. මේ දිනවල සහකාර රේගු අධිකාරි තනතුරු සඳහා අයැදුම්පත් කැඳවා ඇති බවත් බොහෝ දෙනා ඊට අදාළ තරග විභාගවලට සූදානම් වන බවත් ඔබ දැනුවත් යැයි අපි සිතමු.
මෙම බඳවා ගැනීම්වලට අදාළ සුවිශේෂී සංවාදයකට ඉඩකඩ විවර කළේ, ශ්‍රී ලංකා රේගු ක්‍රියාකාරකම් සමීපව අධ්‍යාපනය කරන, විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයකු වන රංජන් දන්තනාරායන මහතාය. රේගු සේවය සඳහා කාන්තා බඳවා ගැනීම් පිළිබඳ තාර්කික අදහස් පෙළක් ඔහු අප හමුවේ තබයි. මෙම අදහස් පිළිබඳ අන්තර්ගතයන් ඔහු විසින් අදාළ ආයතන වෙත ලිපි මගින් දන්වා තිබේ. ඒ අනුව සංවාදය විවෘත රේගු කාන්තා බඳවා ගැනීම් පිළිබඳ මෙම අදහස අපි ඔබ හමුවේ තබමු.
මෙරට රේගු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද වර්ෂ 1806 සිට 1993 දක්වා රේගු දෙපාර්තමේන්තුවට නිලධාරීන් බඳවා ගනු ලැබුවේ "පුරුෂ පක්ෂයෙන්’ පමණකි. එම කාලයන්හිදී අයැදුම්පත් කැඳවන ලද ප්‍රකාශිත ලේඛන සහ ගැසට් පත්‍ර පරීක්ෂාවකින් අවබෝධ කරගත හැකිය. කෙසේ නමුත් රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරි තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීම 1993 වසරේ දී ආරම්භ කරන ලදී. එහි කොන්දේසියක් වූයේ "කාන්තාවන් බඳවා ගනු ලබනුයේ මුළු ඇබෑර්තු සංඛ්‍යාවෙන් 10% ක් පමණක්" බවය.
මෙවර බඳවා ගැනීම්වලට අදාළව ද මෙම කොන්දේසි දැකගත හැකිය. බැලූ බැල්මට එවැනි කොන්දේසියක් පැනවීම ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට පටහැණිය. එහෙත් රාජකාරි ස්වභාවය මත මෙම නිලධාරිනියන්ට රාජකාරි සිදු කිරීමේදී ඇතිවන සහ ඇතිවිය හැකි දුෂ්කරතා සහ භාරදූර බව පිළිබඳව මනා අවබෝධයකින් යුතුව මෙම කොන්දේසිය බලධාරීන් විසින් ඇතුළත් කරන්නට ඇතුවාට සැක නැත.
කෙසේ වෙතත් රේගු නිලධාරීන් නිලධාරිනියන් බඳවා ගැනීමේදී මෙවන් පොදු කොන්දේසියක් ද දක්නට ලැබේ. "පත්වීම් ලබන්නන්ට දිවා රූ දෙකේදීම සේවය කිරීමට සිදුවිය හැක. එමෙන්ම ඔවුන් දිවයිනේ ඕනෑම පළාතක සේවය කිරීමට බැඳී සිටිය යුතුය." එහෙත් 1993 වර්ෂයේ සිට රේගුව බඳවාගෙන ඇති නිලධාරිනියන් කෙරෙහි එම කොන්දේසිය බලපැවතියේ ද යන්න ගැටලු සහගතය.
දැනට පවතින වාර්තා අනුව සහකාර නිවාරණ නිලධාරිනියන් ලෙස වසර තුනක කාලයක් සඳහා නිවාරණ කාර්යාලයට අනුයුක්ත කළ ද, රාත්‍රීන්ට පමණක් නොව දිවා කාලයන් සඳහා ද "වරායට පිවිසෙන නෞකා පරීක්ෂා කිරීමේ රාජකාරි" (Harbor Duty Officer) මෙන්ම "වරාය තුළ ගොඩබිම රාජකාරි (Land Duty Officer) රාජකාරිවලින් ද ඔවුන් නිදහස් කර ඇත. එමෙන්ම, බාහිර වරායන්හි සේවය සඳහා සහකාර නිවාරණ නිලධාරිනියන් අනුයුක්ත කිරීමක් සිදු නොවන අතර මෙම සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් එම රාජකාරින් ආවරණය කිරීම සඳහා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
මීට අමතරව, වරායේ ස්ථාපිත කර ඇති ගුදම් හි රාජකාරින් සඳහා ද රාත්‍රී සහ නිවාඩු දිනවල කෘත්‍යගත රාජකාරින් සඳහා ද නිලධාරිනියන් අනුයුක්ත කිරීමක් සිදු කරනු නොලබන අතර එම රාජකාරින් ආවරණය කිරීම සඳහා ද නිලධාරීන් අනුයුක්ත කිරීම සිදුව තිබේ. තවත් මේ හා සමාන අවස්ථාවල නිලධාරිනියන් විශේෂ කොට සලකා ඇතැම් රාජකාරිවලින් ඔවුන් නිදහස් කර ඇති බව පෙනී යයි.
එබැවින්, සහකාර රේගු අධිකාරි තනතුරු සඳහා නිලධාරිනියන් බඳවා ගැනීමෙන් ඉහත සඳහන් 10% කොන්දේසිය සහ දිවයිනේ ඕනෑම පළාතක සේවය කිරීමට බැඳී සිටිය යුතුය යන කොන්දේසිය පිළිබඳ නිර්මාණය වන්නේ ගැටලු සහගත තත්ත්වයකි. මෙම රාජකාරීන් සඳහා අනුයුක්ත නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සහ ස්ත්‍රී, පුරුෂ සමානාත්මතාව මූලධර්මය ද උල්ලංඝනය වීම සිදුවන බව පැහැදිලි වේ.
ඊට අමතරව මාතෘ ප්‍රතිලාභ පනතේ සඳහන් වගන්ති ප්‍රකාරව, බඳවාගනු ලබන නිලධාරිනියන්ට අවස්ථානුකූලව වැටුප් සහිත සහ රහිත නිවාඩු අනුමත කරන අවස්ථාවලදී නිලධාරීන් හට එම රාජකාරි ආවරණය කිරීමට සිදුවීම වැළැක්විය නොහැකි තත්ත්වයක්ව තිබේ.
නමුත්, රේගු නිලධාරීන්ගේ රාජකාරි ස්වභාවයන් අනුව රේගු නිලධාරීන් මැතිවරණ රාජකාරින් සඳහා පවා අනුයුක්ත නොකරනු ලබයි. මේ අතර රේගු ආඥා පනතේ 5 වැනි වගන්තියට අනුව ඔවුන් රේගු කටයුතුවලට පටහැනිව යම්කිසි ජූරියක, පරීක්ෂණයක, නීතියක, ව්‍යවහාරයක හෝ පරිචයක සේවය නොකළ යුතුය. ඒ අතරම රේගු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නීති අණ පනත් මගින් තහවුරු කොට තිබේ. රේගු සේවය යනු පැය 24 පුරාවට, දින 365 පුරාවට ජනතාවට සේවය ලබා දීමට බැඳී සිටින සේවාවකි.
ඉදිරිපත් කළ තොරතුරු අනුව රේගු දෙපාර්තමේන්තුවේ රාජකාරින් සඳහා නිලධාරිනියන් බඳවා ගැනීම හේතුවෙන් ඔවුනට ඉහත කොන්දේසි සහ රේගු ආඥා පනතේ විවිධ ආදායම් සංරක්ෂණ වගත්ති ආරක්ෂා කළ නොහැකි වී ඇති බව පෙනී යයි. එම අවස්ථාවන්හිදී රේගු ආඥා පනනේ 2 වැනි වගන්තිය ප්‍රකාරව රේගු තීරු බදු රුස් කිරීම සහ කළමනාකරණය පිණිස ද ඒ හා සම්බන්ධ කටයුතුවලට ඍජු සහ ඍණාත්මක බලපෑම් ඇතිවීම නොවැළැක්විය හැකිය. තවද මේ හරහා රජයන් විසින් සපයනු ලබන සේවා සහ පහසුකම් සැලසීමේදී සියලු පුරවැසියන්ට විවිධ අඩුපාඩු සහ දුෂ්කරතා ඇතිවීම් තුළින් එහිදී පුරවැසියන්ගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ද සිදුවේ.
කෙසේ වෙතත් මෙම නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට සම සුදුසුකම් මත රේගුවට බැඳුණු පසු සම වැටුප්, සම අතිකාල දීමනා, සම දිරිගැන්වීමේ දීමනා, සහභාගිවීමේ නිර්ණායක මත සම රේගු ත්‍යාග මුදල් හිමිකම් හිමි වේ. එසේම දෙපිරිස විෂයේ සම උසස් වීම් පටිපාටීන් අනුගමනය කිරීම මත උසස්වීම් ලැබීම් කිරීම් හේතුවෙන් ද පූර්ණ කාලීනව රාජකාරි සිදු කරනු ලබන නිලධාරීන්ට අයුක්තියක් සහ අසාධාරණයක් සිදුවේ. එබැවින් නිලධාරීන්ගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව පැහැදිලිය.
මේ අනුව ගැටලු සහ දෝෂ අවම වන ලෙස සහකාර රේගු අධිකාරීන් බඳවා ගැනීමට සුදුසු සහ ප්‍රායෝගික ක්‍රියා පටිපාටිය කාලීන විය යුතු බව පෙනී යයි. එය නැවත සකස් කරන ලෙසට අදාළ ආයතනවලට උපදෙස් ලැබිය යුතුව තිබේ.
I සංවාද සටහන : චමිඳු නිසල් ද සිල්වා