2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඔන්ලයින් පනත සම්මත වී දවස් 10යි: දැන් සංශෝධන 47ක්!

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 89

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ''ඔන්ලයින් සේෆ්ටි'' පනත  ජනවාරි 23 සහ 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අතර සංශෝධන සහිතව කර ගැනිණි. පෙබරවාරි 1 දින කතානායකවරයා එයට අත්සන් තැබීමත් සමඟ එය නීතියක් බවට පත්ව බලාත්මක වී තිබේ.

මෙම පනත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන නොතකා හැර සම්මත කරගෙන ඇති බවට විපක්ෂය ඇතුළු පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වූ අතර විරෝධතා රැසක්ද එල්ල විය. එහෙත් කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කර ගන්නා ලද්දේ ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන ඇතුළත් බවට නීතිපතිවරයා සහතික කිරීමෙන් පසුව යැයි ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ නොතකා හැර ඇතැයි යමෙකු චෝදනා කරන්නේ නම් එසේ නොතකා හැර ඇති නිර්දේශ මොනවා දැයි පැහැදිලිව පෙන්වා දෙන ලෙසද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම පනත සම්බන්ධයෙන් කතානායකවරයාට ලිපියක් යවමින් අවධාරණය කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන මගින් පෙන්වා දී තිබූ ඇතැම් කරුණු සංශෝධන අවස්ථාවේ මෙම පනතට ඇතුළත් කර නොමැති බවටය. ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති 30කට අධික ප්‍රමාණයක් එහි අන්තර්ගතව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනාගෙන තිබූ අතර ඒවා සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් කළ යුතු බවද පෙන්වා දී තිබිණි. එහෙත්  එම සංශෝධන ඇතුළත් නොකර පනත සම්මත කරගෙන ඇතැයිද, මේ සම්බන්ධයෙන් කොමිසම සිය කනස්සල්ල පළ කරන බවද එම කොමිසම කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් විය.

එම ලිපියට ප්‍රතිචාර ලෙස නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිශ්චිත මගපෙන්වීම් යටතේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව සංශෝධන සිදු කළ බවටය. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ සංශෝධන ඇතුළත් කිරීමේ නීතිමය තත්ත්වය පැහැදිලි කරමින් ඔහු පෙන්වා දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත් සමාලෝචනය කිරීමට ව්‍යවස්ථාපිත බලයක් ඇති අතර ඕනෑම පනත් කෙටුම්පතක අනුකූලභාවය හෝ අනනුකූලභාවය ප්‍රශ්න කිරීමේ බලයද පවතින බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විභාග වන අවස්ථාවේ පෙත්සම්කරුවන්, නීතිඥවරුන් හා නීතිපතිවරයා යෝජනා කරන සියලු සංශෝධන සැලකිල්ලට ගෙන ව්‍යවස්ථාවට අනනුකූල නොවන ආකාරයට ඒවා සමාලෝචනය කර නව යෝජනා ඉදිරිපත් කිරීමට අධිකරණයට බලය ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

මෙම පනත සම්මත කළ ආකාරය නීතිවිරෝධී බවද, මෙරට සිටි කීර්තිමත් විනිසුරුවරයකු වන මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ප්‍රකාශ කර ඇති පරිදි කතානායකවරයා විසින් අත්සන් තැබුවද එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මතයනට අනුකූලව සම්මත වී නොමැති නම් එවැනි පනතකට නීතිමය බලයක් නොමැති යැයිද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම පනත යටතේ ගනු ලබන සියලු පියවර නීතිවිරෝධී බවද ඔහු පෙන්වා දුන්නේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයද මෙම පනත සම්මත කර ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ නොතකා හැර ඇති අවස්ථා කිහිපයක් ගෙනහැර දක්වමින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය. පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා, සංශෝධන 31 ක් සිදු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණද  ඇතැම් නිර්දේශ රජය විසින් නොසලකා ඇති බවද උදාහරණ ලෙස විමර්ශනයට අදාළ තොරතුරුවල රහස්‍යභාවය, විමර්ශනයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් විසින් ආරක්ෂා කරන බවට, රජය විසින් සහතික කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති නමුදු සම්මත කර ගන්නා ලද පනත තුළ එවැනි ආරක්ෂාවක් රජය විසින් සහතික කර නොමැති යැයි ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම ''ද්වේශසහගත” (malicious) සහ “අසංයම” (wantonly) වැනි පාරිභාෂිත වදන් භාවිත කිරීම තුළ යම් දුරවබෝධ තත්ත්වයක් නිර්මාණය වන බවට නිගමනය කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය එම වදන් ඉවත් කරන ලෙස නියෝග කර තිබේ. එහෙත් එවැනි පාරිභාෂිත වදන් පනතින් ඉවත් කර නොමැති බවත් ඊට අමතරව, ඊමේල්, එස්.එම්.එස් සහ එම්.එම්.එස් වැනි සේවාවන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතින් ඉවත් කළ යුතු බවට කර ඇති නිර්දේශ නොතකා හැර ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ. එහෙයින් වහාම ඔන්ලයින් සේෆ්ටි පනත අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය ඉල්ලා තිබේ.

මෙලෙස මාර්ගගත පනතට විවිධ පාර්ශ්ව තුළින් එල්ල කෙරුණු විරෝධතා හේතුවෙන් එම පනත යළි සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමින් එම පනතට සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඉදිරි කැබිනට් හමුවේදී එම සංශෝධන ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව සංශෝධන 47ක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

ආණ්ඩුව අලුතින් සංශෝධන එක්කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සත්‍යය හා යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් නානායක්කාර මෙලෙස සඳහන් කළේය. 

''මේ පනත අත්සන් කරලා නීතියක් බවට පත්වෙලා දවස් දහයක් යන්නටත් ඉස්සෙල්ල පනත වෙනස් කරන්න යනවා. පනතේ වගන්ති තියෙන්නෙත් 57යි. දැන් ඒකට සංශෝධන 47ක් ඉදිරිපත් කරන්න හදනවා. ඇයි ආණ්ඩුවට මෙම පනත සම්මත කර ගන්න තව මාසයක් ඉවසන්න බැරි වුණේ. මේ මිනිස්සුන්ගේ උද්දච්ඡකම නිසා මේ රටේ සල්ලි කොච්චර නාස්ති කරල තියෙනවද? මේ පනත ගෙනාවේ එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ අවශ්‍යතාවටයි. දැන් තව සංශෝධන 47ක් ගේන්න යනවා. මෙවැනි පහත් වැඩ කරන්න එපා. මීට වඩා උගත්, වියත් මිනිස්සු වගේ හැසිරෙන්න කියලා අපි කියනවා.'' යනුවෙන් සඳහන් කළේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද ප්‍රකාශ කර තිබේ.  ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කර තිබිණි. පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනත සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු එම අදහස් ප්‍රකාශ කර තිබේ. 

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අභියෝග කරන පෙත්සම් 40කට වැඩි ප්‍රමාණයක් තිබුණා. සති ගණනක් මේ පිළිබඳව විභාග පවත්වලා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සියලු කරුණු සැලකිල්ලට ගෙන අවසානයේදී ඒවා සංශෝධනය කොට නීතිපතිවරයාගෙන් සහතිකයක් අරගෙන තමයි අපි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන්නේ. මේක ගේන්නද, ගේන්න එපා ද කියන්න අධිකරණයට බලයක් නැහැ. අධිකරණයට තිබෙන එකම බලය තමයි යම් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා තීරණය කරන එක. මේ පනතට ඇතුළත් කළ සියලු සංශෝධන පිළිබඳව නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කරලා සහතිකයක් දීලා තියෙනවා. මේක සම්මත වෙච්ච පනතක්. මේක ගැන විවාද කරන්න දැන් බැහැ. හැබැයි මේ පනතේ සංශෝධනය විය යුතු තැනක් තියෙනවා නම් ඒකට බාධාවක් නැහැ. ඒවා සංශෝධනය කරන්න පුළුවන්. මේ නීතියේ අඩුපාඩු තියෙනවා. අපිත් සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා අපි විවෘතයි. මේකේ අවශ්‍ය සංශෝධන මොනවද කියලා විපක්ෂයත් යෝජනා කරන්න. අපි සාකච්ඡා කරමු. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.” යනුවෙන් ප්‍රකාශ කළේය.

නොබෝ දිනකින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට තවත් සංශෝධන ඇතුළත් කෙරෙනු ඇත. ඇත්තටම ආණ්ඩුවේ අරමුණ මාර්ගගත ක්‍රමවලින් සිදුවන අවැඩ වැළැක්වීමට වඩා සමස්ත ජනතාව බියගැන්වීම හා භාෂණයේ නිදහස අහිමි කිරීම යැයි සමාජ ක්‍රියාකාරීන්ගේ සහ සිවිල් සංවිධානවල මතය වී තිබේ.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා