2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ෂරීෆ්ලාගේ බූතෝලාගේ පකිස්ථානයේ ඉම්රාන් කොයිබටද?

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

2024 පෙබරවාරි 8 වැනි දින පකිස්ථානයේ 16 වැනි ජාතික සභාවේ සාමාජිකයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මහ මැතිවරණය පැවැත්විණි. පූර්ව ඡන්ද දූෂණ චෝදනා මධ්‍යයේ ඡන්ද විමසීම් පැවැත්වුණු අතර, පකිස්ථාන ඉතිහාසයේ වඩාත්ම දූෂිතම මැතිවරණය ලෙස මෙම මැතිවරණය නම් කර ඇත. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ඇතුළු විදේශීය මාධ්‍ය, නිරීක්ෂක කණ්ඩායම් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයන් මැතිවරණයේ සාධාරණත්වය පිළිබඳව තම කනස්සල්ල පළ කර ඇත.

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පීටීඅයි නියෝජනය කළ ස්වාධීන පිරිස ආසන 266න් 93ක් ලබා මුල් තැන ගෙන සිටියද ඔවුනට බලය පිහිටුවීම සඳහා   සරල බහුතරයක් ලබාගන්නට නොහැකි වූ අතර අනෙකුත් පක්ෂවලට අත්ව තිබුණේද එම ඉරණමමය. නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය (එන්) ආසන 75, ක්ද පකිස්ථාන මහජන පක්ෂය PPP ආසන 54ක් සහ MQM ආසන 17ක් ද දිනා ශක්තිමත් රජයක් පිහිටුවීම පිළිබඳ සැලකිය යුතු මතභේදාත්මක සහ අවිනිශ්චිත තත්ත්වයක් මතු කර තිබුණි. මේ නිසා අවස්ථාව උදා වී තිබුණේ සභාග රජයකටය.

වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකරගත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය රට පුරා පැතිර ගිය ඡන්ද දූෂණ මැද ආසන 18ක ප්‍රතිඵල කොල්ල කා ඇති බවට චෝදනා කර ඇති අතර ඒවාට එරෙහිව උසාවි අභියෝග සැලසුම් කරන බව කියා තිබුණි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වී පසුගිය අඟහරුවාදා වන විටද සන්ධාන ගතවීම සාර්ථක නොවූ නමුදු පසුව නවාස්ගේ මුස්ලිම් ලීගය සහ පකිස්ථාන මහජන පක්ෂය සමඟ විවිධ පක්ෂ එකතුවෙන් පිහිටුවන ලද නව සභාග සන්ධානයකට නායකත්වය දීම සඳහා පකිස්ථානයේ මීළඟ අගමැතිවරයා ලෙස හිටපු අගමැති ෂෙබාස් ෂරීෆ් නම් කිරීමට මුස්ලිම් ලීග (නවාස්) ප්‍රධානී 74 හැවිරිදි Nawaz Sharif එකඟතාව පළ කර තිබුණි. එසේම ඔහුගේ දියණිය 50 හැවිරිදි Maryam Nawaz, පන්ජාබ් පළාතේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නට ද යෙදිණි. රජයක් පිහිටුවීමට ෂරීෆ්ගේ පක්ෂයට සහාය දෙන බව පකිස්ථාන මහජන පක්ෂය (පීපීපී) අඟහරුවාදා ප්‍රකාශ කළේය. පකිස්ථාන Muttahida Quumi Movement, පකිස්ථාන් මුස්ලිම් ලීගය (Q), මෙන්ම Istehkam-e-Pakistan පක්ෂය සහ Balochistan Awami පක්ෂය ද ආණ්ඩුවේ සභාගයට සම්බන්ධ වීමට ඔවුන්ගේ ඇති අභිප්‍රාය ප්‍රකාශ කළේය.

රටේ ආර්ථික සහ දේශපාලන අර්බුද මැද වසර 2ක් පමා වී පැමිණි මෙවර මැතිවරණය පකිස්ථාන ඉතිහාසයේ දූෂීතම මැතිවරණය ලෙස ජාත්‍යන්තරය නම්කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු නිරීක්ෂකයන්, ඡන්ද විමසීමට පෙර සිදුවූ වංචාවන් සහ අකටයුතු රැසක්ම පෙන්වා දී ඇත. නාමයෝජනා පත්‍ර උදුරා ගැනීම, අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු කඩාකප්පල් කිරීම ඇතුළුව PTI සහ එහි නායකයන්ට එරෙහිව කැපී පෙනෙන ක්‍රියාමාර්ග ගැනීම මෙහිදී පෙන්වා දී තිබේ. මෙම තත්ත්වය යටතේ මැතිවරණ ක්‍රියාවලියේ සාධාරණත්වය පිළිබඳව ඔවුන් සැක පහළ කර ඇත.

ඒ අතර වාර්තාගත පැමිණිලි 1,300ක් සමඟ මැතිවරණවලට පෙර ඡන්ද සිතියම් නැවත සකස් කිරීමේදී PML-N වෙත පක්ෂව කටයුතු කළ බවට පකිස්ථාන මැතිවරණ කොමිසමටද චෝදනා එල්ල වී ඇත.

රටේ වැඩි ජනකාන්ත බවක් හිමිව තිබූ හිටපු අගමැති, ලොව ජන ප්‍රසාදය දිනූ ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් පිට - පිට ගොනු කළ චෝදනා රුල්ලක් මැද සිරගත කෙරුණු අතර වසර 5කට ඔහුගේ ප්‍රජා අයිතියද තහනම් කර තිබුණි. ඔහුගේ පක්ෂයටද බරපතළ බාධාවක් එල්ල වූයේ මතභේදාත්මක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් මැතිවරණය ඉතාමත් ආසන්නයේ දී ඔවුන්ගේ ඡන්ද ලකුණ ඉවත් කිරීමෙනි. ඉන්පසු PTI  නියෝජිතයන් හට ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට සිදු විය. පීඑම්එල්එන් හි නායක නවාස් ෂරීෆ්ට පක්ෂව දැවැන්ත පූර්ව මැතිවරණ දූෂණ සිදු කළ බවට මිලිටරියට ද දැඩි චෝදනා එල්ල වී තිබේ.

මේ දූෂිත මැතිවරණයට පාර කැපුණේ 2018 සිට ඇරඹුණු පෙරළියකිනි. 2018 ජූලි 25 වැනි දින පකිස්ථානයේ මහ මැතිවරණය පැවැත්වුණේ, ඉවත්ව යන රජය සිය පස් අවුරුදු ධූර කාලය සම්පූර්ණ කිරීමෙන් පසුවය. මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස, ඉම්රාන් ඛාන් නායකත්වය දැරෑ පකිස්ථාන ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ජාතික මට්ටමේ තනි විශාලතම පක්ෂය බවට පත් වූයේ මහජන ඡන්දය සහ දිනූ ආසන යන දෙඅංශයෙන්මය.  මේ අනුව PTI, හට රජය පිහිටුවීමට හැකි විය. හැලහැප්පිලි සහිත ආර්ථිකයක් මැද සහ ආන්දෝලනාත්මක ක්‍රියාදාම මැද රජය ගෙන යන්නට ඉම්රාන්ට සිදුවිය. නමුත් 2022 මාර්තු 8 වැනි දින, විරුද්ධ පක්ෂ, පකිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ (PDM) ධජය යටතේ, අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. විවිධ හැලහැප්පිලි මැද අප්‍රේල් 10 වැනි දින ජාතික සභාවේදී විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 174කින් (342කින්) සම්මත විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඛාන්ට අගමැති ධූරය අහිමි විය. මේ අනුව, ඛාන් විශ්වාසභංගයකින් පරාජය වූ පළමු පකිස්ථාන අගමැති බවට පත් විය.

පසුව, ඛාන් ඔහු ඉවත් කිරීමට සහ නව රජයට එරෙහිව රට පුරා මහජන රුලි කැඳවුම් කළේය. ඛාන්ගේ PTI පක්ෂය ඡන්දය වර්ජනය කර ජාතික සභාවෙන් සමූහ වශයෙන් ඉල්ලා අස්වූ බැවින්, අප්‍රේල් 11 දින, ඛාන් වෙනුවට අගමැති ලෙස ෂෙබාස් ෂරීෆ් ජාතික සභාව තුළ නිතරගයෙන් තේරී පත් විය. සාමාජිකයන් 37 දෙනකුගෙන් සමන්විත ෂරීෆ්ගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේ අප්‍රේල් 19 වැනිදාය. ඉන්පසු ගතවූයේ ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් මතභේදාත්මක සමයකි. ඛාන් ඝාතන තැතක් මෙන්ම මිලිටරිය හා ඛාන් අතර අමනාපකම් මතුව ආ අතරම ඔහුගේ ඇමෙරිකානු විරෝධය මැද වුවද සිය ජනකාන්ත බව රඳවා ගන්නට හේ සමත් විය. රජය අසාර්ථක වූ අතර රටේ ආර්ථිකය වළපල්ලට ඇද වැටිණි.

මේ සියලු අර්බුද මැද 2023 අගෝස්තු 10 වැනි දින, අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ උපදෙස් මත ජනාධිපති අරිෆ් අල්වි විසින් ජාතික සභාව අකාලයේ විසුරුවා හරින ලදී. මෙයින් අදහස් කළේ මැතිවරණය 2023 නොවැම්බර් 8 ට පෙර පැවැත්විය යුතු බවයි. කෙසේ වෙතත්, නැවුම් මැතිවරණ සීමා නිර්ණය සිදු කිරීම සඳහා පකිස්ථානයේ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි මැතිවරණය 2024 පෙබරවාරි දක්වා ප්‍රමාද කිරීම සිදු විය.

මේ කාලය තුළ නවාස් ෂරීෆ් නැවත පැමිණීම, ඉම්රාන්ගේ පක්ෂයට එරෙහි තීන්දු මගින් ඔවුන්ගේ ‘ක්‍රිකට් පිත්ත’ පක්ෂ සලකුණ අහිමි කිරීම, ඉම්රාන්ට එරෙහි නඩු පිට නඩු පැවරීම සහ ඔහුගේ ප්‍රජා අයිතිය වසර 5කට තහනම යන විවිධ හැලහැප්පිලි සිදුවිණි. මේ මැතිවරණය පැමිණියේ එලෙස දුර්වල කරන ලද ඛාන් සහ ඔහුගේ පක්ෂයට නැවත හිස එසැවීමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. එසේ වුවද ස්වාධීනව තරග කළ ඛාන්ගේ පක්ෂ අපේක්ෂකයන් වැඩිම ආසන ගණනක් දිනා තිබුණද සාර්ථක සන්ධානයක් කරා යාමට ඔවුන්ට අවස්ථාවක් සැලසුණේ නැත.

I සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03