කළුවර මැදින් වේගයෙන් ආ යතුරුපැදියක් ඇතුළු වූයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙතය. තදබදයක් නොවූ රූ යාමේ යතුරුපැදියට කිසිම බාධාවක් තිබුණේ නැත. එළිමහනේ නැවැත්වූ යතුරුපැදියෙන් බැසගත් දෙදෙනෙක් කඩිමුඩියේ වෙළෙඳසලක් වෙත ගියහ. එක් අයෙක් අත ගමන් බෑගයකි. අනෙකා අත ගිනි අවියකි. බෑගය අතැති පුද්ගලයා වෙළෙඳසලට ඇතුළු වී එහි සේවකයන්ට තර්ජනය කොට ලාච්චුවක් එළියට ඇද්දේය. එහි වූ මුදලක් රුගෙන අනෙක් ලාච්චුවේ යතුර ඉල්ලා කෑමොර දුන්නේය. එසේ එහි සේවිකාවකට තර්ජනය කරන අතරතුර ඈ තමා සතුව යතුරක් නැති බව කීවාය. ඒ ක්ෂණයකින් අසල සිටි පුද්ගලයා ගිනිඅවිය පත්තු කළේය. සේවිකාවගේ උදරය ප්‍රදේශයට ප්‍රහාරය එල්ල වුවත් එය බරපතළ නොවන්නට තරම් ඈ වාසනාවන්ත වූවාය. මේ මොහොතේ ඉදිරිපස නවතා තිබූ ලොරි රථයක රියැදුරු නොකඩවාම නලාව නාද කරනු ලැබුවේ වටපිටාවේ කෙනකුගේ අවධානය ගැනීමත් අනතුර වළක්වා ගැනීමේ අරමුණිනුත් වන්නට ඇත. එසැණින් පසුබැස්ස කොල්ලකරුවෝ දිව ගොස් යතුරුපැදියට නැගී වේගයෙන් පලා ගියහ. මේ දක්වා සිදුවීම එක පෙළට ආරක්ෂිත කැමරා කිහිපයක සටහන්ව තිබිණ.
ඉකුත් 12 වැනිදාට එළිවෙන අලුයම් යාමේ 1.35ට පමණ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු කළ මේ වෙඩි තැබීම වාර්තා වන්නේ ප්‍රසිද්ධ ආර්ථික මධ්‍යස්ථානයක් තුළට ආයුධ සන්නද්ධව පැමිණ සිදු කළ පළමු කොල්ලය ලෙසය. එබැවින් මෙය රටේ අවධානය දිනූ ප්‍රවෘත්තියක් විය.
මේ කියන මොහොතේ ආර්ථික මධ්‍යස්ථානයට හදිසියේම කඩා වදින යතුරුපැදියක පුද්ගලයන් දෙපළකි. වේගයෙන් ආ ඔවුහු ආර්ථික මධ්‍යස්ථානයේ දෙවැනි කඩ පේළියේ 39 අංකය පිහිටි මංගල ස්ටොර්ස් වෙත පැමිණියහ. එහි රුඳී සිට තිබුණේ මුදල් අයකැමි තරුණිය හා තවත් සේවකයකු පමණි. මුලින්ම පැමිණි පුද්ගලයා සේවකයාගෙන් අසා තිබුණේ ''උඹලගේ මුදලාලි කොහේද?'' කියාය. එසැණින් ඔහුට පහරක් ගසා පැත්තකට කොට ''ඔහොම ඉඳපං.... ඔහොම ඉඳපං.... දඟලන්න එපා....'' යැයි කියමින් මුදල් අයකැමි තරුණිය පිටතට ඇද දැමුවේය. උඩ ලාච්චුවේ තිබූ රු. 45000කට අධික මුදල බෑගයට දමාගත් ඔහු ''ඒයි කෙල්ල මේක ඇරපන්... මේක ඇරපන්.... කෝ මේ යතුර?'' කියා විමසන විට තරුණිය ''මං ගාව නෑ...'' කීවා පමණය. පළාතම දෙදරුම් කමින් වෙඩිල්ලක් ඇසුණේය. ඒ ගමන් ''අයියෝ.... අයියෝ.... අයියෝ....'' කියා තරුණිය විලාප නැගුවාය. ඒ ගමන්ම තරුණියගේ උදරය දෙසින් ලේ ගලා හැලෙන්න වූයෙන් රුස් වූ පිරිස විසින් ඇය රෝහල් ගත කරන්නට කටයුතු කළෝය.
මේ අතරතුර කොල්ලකරුවන් පලා ගොස් තිබුණේ දාම්පේ දෙසට බව ඇසින් දුටුවෝ පවසති. තවදුරටත් පැවසෙන්නේ සැකකරුවන් එකී මාර්ගය දෙසින්ම පැමිණ තිබූ බවකි.
රෝහල්ගත කළ තුවාලකාරිය 23 හැවිරිදි තරුණියකි. ඇය හෝමාගම රෝහලට ඇතුළත් කළ පසුව අනාවරණය වූයේ ඇගේ උදරයට වෙඩි උණ්ඩ තුනක් එල්ල වී ඇති බවය. නමුත් ඇගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. මේ සිද්ධිය සමඟ ආර්ථික මධ්‍යස්ථානයේ සෙසු වෙළෙඳසල්වල හිමිකරුවන් හා සේවකයන් එතැනට දිවවිත් තිබූ නමුත් ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළේ කිසිදු නිලධාරියකු එතැනට පැමිණ නොතිබිණ. මේ සම්බන්ධයෙන් වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් හා සේවක පිරිස් සිය අප්‍රසාදය පළ කළහ.
සිද්ධිය වාර්තා වීමත් සමඟ මීගොඩ පොලිසියේ නිලධාරීහු පැමිණ විමර්ශන ඇරුඹූහ. නුගේගොඩ කොට්ඨාසය භාර අපරාධ කොට්ඨාස නිලධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහුද විමර්ශනවලට සහාය වූහ. කොල්ලය සිදුවන අවස්ථාව වන විට මීගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා නඩු කටයුත්තක් සඳහා යාපනයට ගොස් සිටි බව වාර්තා විය. එබැවින් ස්ථානාධිපති තනතුරේ වැඩ ආවරණය කොට තිබුණේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයා විසිනි. සී.සී.ටී.වි දර්ශන අනුව විමර්ශන සිදු කළ පසුව කොල්ලය සඳහා FZ වර්ගෙය් යතුරුපැදියක් පැමිණ ඇති බව හෙළි කරගෙන ඇත. එය මඩකලපුව පදිංචිකරුවකුගේ නමට ලියාපදිංචි කළ එකක් බවට තහවුරු කරගෙන ඇත. වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ 39 අංකය පිහිටි මංගල ස්ටොර්ස් හි හිමිකරු මීට මාස හයකට පමණ පෙරාතුව යම්කිසි පිරිසක් විසින් කොල්ලකා ඇති බවකි. එහිදී මුදල් තොගයක් හා චෙක්පත් තොගයක් කොල්ලකා තිබෙන බව හෙළි වී ඇත. ඒ අනුව මේ කොල්ලය පෙර සිදුවීමට සම්බන්ධ කල්ලියේ වැඩක්දැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය හා සේවක පිරිස් ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළේ නිලධාරින්ට චෝදනා එල්ල කළේ රාජකාරිය පැහැර ඇති බව කියමිනි. මේ හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය අනාරක්ෂිතව ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ. මේ ආකාරයට විරෝධය පාමින් 12 වැනිදා ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර කටයුතු වර්ජනය කිරීමට පිරිස පියවර ගෙන තිබුණි. ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළේ සේවය කළ නිලධාරීන් වහා ස්ථාන මාරුවකට ලක්කිරීමට පියවර ගෙන ඇත. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ අදාළ දිනයේ ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළේ නිලධාරින් නින්දේ පසුවී ඇති බැවින් ආරක්ෂාවක් සපයා නැති බවකි.
මේ සම්බන්ධයෙන් කරුණු පහදන පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන්නේ අගමැතිවරයා මීගොඩ ප්‍රදේශයට පැමිණීමට අදාළව එම රාජකාරි සඳහා ඉහත මුරපොළේ නිලධාරීන් තිදෙනා යොදවා සිටි බැවින් ඔවුන් නින්දේ පසුවූ බවට මාධ්‍ය වාර්තා කොට ඇති බවකි. අගමැතිවරයා මීගොඩ ප්‍රදේශයට ගොස් තිබුණේ 11 වැනිදාය. ඊට අදාළව පැය 2 ක් පමණ විශේෂ රාජකාරි නිලධාරීන් තිදෙනකු යොදවාගෙන ඇත. ඔවුන්ගෙන් එක් අයකු පමණක් එම රාජකාරියට පිටත්ව ඇති බවද අනෙක් දෙදෙනා හදිසි කැඳවීමකට මීගොඩ පොලිස් ස්ථානයේ පොරොත්තු රාජකාරියේ යොදවා සිටි බවද මාධ්‍ය කොට්ඨාසය පවසයි. මේ අනුව ඊට පසුදින අලුයම කොල්ලය වූ අවස්ථාවේ එම නිලධාරීන් රාජකාරියේ නොසිට සේවය පැහැර හැර තිබෙන බව තහවුරු කර ඇත. මේ අනුව ඒ පිළිබඳ විමර්ශනයක් අරඹා තිබේ. වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අගමැතිවරයාගේ පැමිණීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට බාධාවක් වී නොමැති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විමර්ශන අරඹා තිබෙන අතර ඊට පසු දිනයේ යතුරුපැදියක පැමිණි දෙදෙනකු විසින් පූගොඩ ව්‍යාපාරිකයකුට ගිනි අවියක් හා පිහියක් පෙන්වා තර්ජනය කොට ඔහු පැළඳ සිටි ලක්ෂ දහතුනක් වටිනා රන් මාලයක් හා මුදු තුනක් කොල්ලකා ඇති බව පූගොඩ පොලිසියෙන් වාර්තා වේ. මේ කොල්ලයට පැමිණි දෙදෙනා මීගොඩ කොල්ලයට පැමිණි දෙදෙනාට හා එම යතුරුපැදියට බෙහෙවින් සමාන බවට තොරතුරු ලැබී ඇත. ඉඩම් හිමි වැවිලිකරුවකු බව කියන කොල්ලකෑමට ලක්වූ තැනැත්තා සිය පෝනියාට තණකොළ කැවීම සඳහා රුගෙන යමින් සිටියදී මෙම කොල්ලකෑම සිදුකර තිබෙන බවද පොලිසිය වාර්තා කරයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
I සමන්ත ප්‍රදීප් විල්තෙර