2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඡන්දවලට බර තැබීම

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

ලංකාවේ දේශපාලන පරිසරය මැතිවරණ ප්‍රතිඵලයට බලපානු ඇත. ඒ නිසාම පක්ෂ හෝ ආණ්ඩු ඒ පරිසරයට සමානව පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වනු ඇත. මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඒ පරිසරයට සමානව සකසා ගනු ඇත. ඒ රටේ වාසියට නොව පැහැදිලිවම තමන්ගේ වාසියටය.

ඉරණමය. පළාත් සභා මැතිවරණය අවුරුදු ගාණකින් පවත්වා නැත. ගිය වසරේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුවට මුදල් නෑ කියා කල් තැබීය. මේ වන විට මැතිවරණ දෙකකට ඇඩ්‍රස් නැත.

කෙසේ වෙතත් බොහෝ දෙනා දන්නා දෙය නම් මේ වසර මැතිවරණ වසරක් බවය. නෑ බෑ නොකියා අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු මැතිවරණයක් මේ වසරේ එළඹෙනු ඇත. ඒ ජනාධිපතිවරණයයි. එම මැතිවරණයට වංගු ගැසිය නොහැක. ආණ්ඩුවට තීරණ ගත නොහැක. ඊට හේතුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නිතැතින්ම බලය ලැබී තිබීමය. එහෙත් මැතිවරණය පැවැත්වීමට වඩා බොහෝ දෙනා උත්සාහ ගන්නේ එම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමටය. ඇතැම් පක්ෂ සන්ධාන සකසන්නේද එකී ජයග්‍රහණය උදෙසාමය.

එහෙත් පසුගියදා ආණ්ඩුව පාර්ශ්වයෙන් කී කතාවක් වන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය සඳහා ආණ්ඩුව සූදානම් වන බවය. ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට අනුව බලාපොරොත්තු වන්නේ වර්තමාන ජනාධිපතිවරයාට තවත් අවස්ථාවක් ලබාදීමටය. එහෙත් වර්තමාන තත්ත්වය අනුව ඒ අවස්ථාව ලබාදීම එතරම් ලෙහෙසි පහසු නැත. ජනතා ආකර්ශනය දිනාගනිමින් ඉදිරියට එන ජාතික ජන බලවේගයත්, විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන බලවේගයත් එකී තරගයේ ඉදිරියෙන්ම සිටිනා බැවිනි. ඒ අනුව ජනාධිපතිවරයාට තරග වැදීමට නම් විශාල බලවේගයක් සැකසිය යුතු වේ. දැනට පෙනෙන තත්ත්වය අනුව ජනාධිපතිවරයාට සහාය දක්වන්නට පොහොට්ටුවේ යම් පිරිසක් ඍජුව පෙනී සිටිති. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද වෙති. එපමණක් නොව සජබයේ පිරිසක් ඇතැයි ද පැවසේ. එහෙත් ඍජුව පෙනී සිටින පිරිස හැර මහා පිරිසක් ජනාධිපතිවරයා හමුවේ නැත. මේ නිසාම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම වී ඇත්තේ අප්‍රේල් මාසයේ ජනතාවගේ මතය විමසීමකින් පසුව තත්ත්වය යහපත් නම් ජනාධිපතිවරණයක් සඳහාත් අයහපත් නම් මහ මැතිවරණයක් සඳහාත් යාමටය.

යම් හෙයකින් මහ මැතිවරණයක් සඳහා ගියහොත්, බහුතර බලයක් කිසිදු පක්ෂයකට ලැබිය නොහැකි බව ඔවුන්ගේ මතය වී ඇත. ඒ නිසාම එම මොහොතේ නිර්මාණය වන පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුවක් නිර්මාණය කරගනිමින් එම ආණ්ඩුවේ නායකයා ලෙස ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට යාම සිදුකළ යුතු බව බොහෝ ආණ්ඩු හිතෛෂීන්ගේ මතය වී තිබේ. එහෙත් එය ප්‍රායෝගිකව කළ හැකිද යන්න අප දන්නේ නැත. මෙවැනි වැඩ දේශපාලන ගේම් වුවද එම ගේම්ද කණපිට හැරුණු අවස්ථා අනන්ත අප්‍රමාණය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මතය එයමද යන්න අපි නොදනිමු. එහෙත් විපක්ෂය පවසන්නේ එලෙස ජනාධිපතිවරයා මහ මැතිවරණයකට යාමට සූදානම් වන බවය.

පසුගියදා එම කසුකුසුව මැද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරණය නිසි පරිදි නියමිත දින පැවැත්වෙන බවත්, මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වෙන බවත්ය. එහෙත් අපි එය විශ්වාස නොකරමු. මන්ද ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වුවද ඊට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අප්‍රේල් මාසයෙන් පසුව ඇති තරම් කාලය පවතී. ඒ අනුව මේ රටේ ආණ්ඩු කියූ සහ කෙරෑ දේවල් සමඟ ඒ අදහස් අසා අපි පුදුම නොවන්නෙමු.

මේ සියල්ල මැද දේශපාලන පක්ෂ සුපුරුදු මැතිවරණ ව්‍යපාරයට ලහිලහියේ සූදානම් වෙමින් සිටියි. ඔවුහු නව සන්ධාන ගොඩනගමින් නව දේශපාලන ව්‍යාපාර බිහි කරමින් සිටිති. එය සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාදාමය වුවත් තවදුරටත් සාම්ප්‍රදායික පොරොන්දු දේශපාලනයට මේ රටේ ඉඩක් නම් නැත. ඒ බව දේශපාලකයන් දැනගත යුතුමය. එහෙත් පුදුමය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුපුරුදු පැරණි පොරොන්දු කරළියට ගෙන එමින් සිටීමය. ඒ විධායකය අහෝසි කිරීම පිළිබඳවය. මේ රටේ භූමියේ දේශපාලනය අනුව ජනතාවට විධායකය අහෝසි කිරීම, 13 ට එහා ගිය බලය බෙදීම් තවදුරටත් වැඩක් නැත. ජනතාවට අවශ්‍ය වී ඇත්තේ තමාගේ ජීවන බර අඩුකර ගැනීම පමණි. ඒ නිසා ජනතාවට මේ එක එක කතා හුදෙක් තඹයකට වටින්නේ නැත. ජනතාවට අවශ්‍ය වන්නේ හොඳ හැටි කා බී නිදහසේ ජීවත් වීම පමණි. ඒ බව දැන දැනම මේ රටේ දේශපාලන පක්ෂ තවදුරටත් ජනතාවට විධායකය අහෝසි කරන කතා ගෙන එන්නේ නම් ඒ පක්ෂ මේ භූමියේ සමාජ ප්‍රශ්නය හරි හැටි අවබෝධ කරගෙන නොමැති බව කිව යුතුය. පුදුමය නම් ඒ කතාවේ පොහොට්ටුවද එල්ලෙන්නට උත්සහ කිරීමය.

මේ අතර ජාතික ජන බලවේගයේ ඉන්දියානු සංචාරයත් සමඟ ඔවුන්ට ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාර එල්ල වෙමින් පවතී. ඉන්දියාව සහ එරට ඇතැම් ආයතන සම්බන්ධයෙන් තිබූ දැඩි ප්‍රතිපත්ති එම ගමනින් පසුව මාලිමා සහෝදරවරුන් විසින් වෙනස් කරගෙන තිබේ. ලිහිල් කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් කවුරු විවේචන එල්ල කළද එය යහපත් දෙයක් ලෙස අගය කළ යුතුය. ඔවුන් දේශපාලන අන්තයේ නොසිට, යම් මැද තැනකට පැමිණිය යුතුමය. ලිබරල්වාදී වීම වැදගත්ය. ඒ වෙන කිසිවක් නිසා නොව නූතන ලිබරල්වාදය තදින් ලෝකයේ අනෙකුත් රටවල් වැළඳගෙන සිටීමය. වසර ගණනාවකින් පසුව මෙම පිරිස එම සංචාරයේ නිරත වීම තුළින් තමන්ගේ දේශපාලන මතය කෙතරම් අල්පද වැරදිද යන්න ඔවුන්ටම පෙනෙන්නට වී තිබීමය. කොහොම කළත් බෑ කියා සිටි මතයට වඩා රජයේ ප්‍රසම්පාදන වැඩපිළිවෙළ අනුව සිදුවන්නේ නම් ප්‍රශ්නයක් නැතැයි යන තැනට ඔවුන් පරිවර්තනය වීම ඉතාම සුබවාදී බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

මේ අනුව වර්තමානයේ දේශපාලන ගැට, දේශපාලන මුහුණුවර දිනෙන් දින වෙනස් වෙමින් ඇත. ඒ මැතිවරණ හේතුවෙනි. බොහෝ දෙනා දිනෙන් දින අලුත් අලුත් මාතෘකා කරළියට ගෙන එමින් සිටින්නේ එකී දේශපාලන ගේම් එක හේතුවෙනි. ඒ නිසා මේ ගේම් එක ඉදිරියට තව තවත් රසවත් වනු ඇත.

I ගයාන් ගාල්ලගේ