ඉන්දියානු කාඩ්පත් ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණ. යූපීඅයි යනුවෙන් එය හැඳින්වේ. Unified Payments Interface නොඑසේනම් ඒකාබද්ධ ගෙවීම් මුහුණුවරකි. පෙබරවාරි දොළොස් වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි නිල කටයුතු ඇරඹිණ. යුපීඅයි කාඩ් ක්‍රමය අනුව ඉන්දියාවේ සිට එන සංචාරකයන්ට මෙරට එම කාඩ්පත් භාවිතය පිළිගන්නා හෝටල්, වෙළෙඳසල් හා සේවා ස්ථානවලදී එම මොහොතේ දීම ගෙවීම් කළ හැක. බැංකු දෙකක් අතර ගනුදෙනුව සඳහා ජංගම දුරකථනය අතරමැදි කාර්යයක් ඉටු කරයි. ජංගම දුරකථනයෙහි ඇති මෘදුකාංගයක් මගින් වෙළෙඳසල හා ගනුදෙනුකරු සම්බන්ධ වන අතර එය ව්‍යාපාරික ස්ථානයෙහි ඇති සංකේතයක් ස්කෑන් කිරීමෙන් කළ හැකි වේ.
ඉන්දිය ගෙවීම් ආයතනය විසින් සංවර්ධනය කර දැනට ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන මෙම අන්තර්ජාල මුදල් ගෙවීමේ ක්‍රමය මුදල් හුවමාරු ක්‍රමවේද අතර අලුත්ම ප්‍රභවයක් වන අතර අනෙක් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් තුන්වැනි පාර්ශ්වයක් හරහා කරන ගනුදෙනුවලට සාර්ථක පිළිතුරක් වනු ඇත. බැංකු ගිණුම් දෙකක් අතර සිදුවන මෙම මුදල් හුවමාරුව වහාම සිදුවන අතර එදිනෙදා පවතින විනිමය අනුපාතය අනුව පියැවීම මෙහි ඇති විශේෂත්වයකි.
► පිරිවැය ගෙවීම සඳහා කාඩ්පත් භාවිත කිරීම
ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා ඔහුගේ නවකතාවක චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු ක්‍රමයක් ගැන සඳහන් කර තිබුණු අතර එවැනි අදහසක් ඉදිරිපත් කරන්නේ එම තාක්ෂණය භාවිත නොවුණු කාල වකවානුවකය. ක්‍රෙඩිට් කාඩ්පත් ගැන ඉතිහාසය ද එවැනි සිද්ධියකට සම්බන්ධය. ඇමෙරිකානු නවකතාකරුවකු වූ එඩ්වර්ඩ් බෙල්මේ ඔහුගේ නිර්මාණයක කාඩ්පත් ගනුදෙනු ගැන 1887 පමණ අතීතයක දී දක්වා ඇත. බැංකුකරුවන් කාඩ්පත් ගෙවීම් ආරම්භ කළේ දහනම වැනි සියවසේ දී පමණ පසු කාලයකය.
පළමුවෙන් සිය ගිණුමේ මුදල් කාඩ්පතකට බැර කර එම මුදල වියදම් කිරීම ආරම්භ වී තිබේ. පසුව විවිධ පරිවර්තනයන්ට ලක්වූ අතර අන්තර්ජාල සම්බන්ධතා සමඟ ලෝකයේ ඕනෑම තැනක සිට තමන්ගේ ගිණුමේ වත්කමක් නැති නමුත් අනුමත ප්‍රමාණයක් දක්වා ගෙවන්නට හැකි ණය කාඩ්පත් දක්වා සංවර්ධනය වී තිබේ. රටවල් හා බැංකු භාවිත කරන කාඩ්පත් ප්‍රමාණය විශාල ගණනකි. මුදල් ගෙවීම බැංකු සම්බන්ධ නොවන තරමට තවත් පැතිවලට දියුණු වී තිබේ. චීනයේ වීපේ ක්‍රමය අනුව ජංගම දුරකථන අංකයට මුදල් තැන්පත් කළ හැකි සහ පසුව දුරකථනයෙන් අවශ්‍ය මුදල භාණ්ඩ හෝ සේවා සඳහා පියැවීමට හැක.
ඉන්දීය යූපීඅයි ක්‍රමය අනුව රෑපේ යනුවෙන් කාඩ්පතක් ද නිකුත් වන අතර එය ද ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ මුදල් ගෙවීම් සඳහා ඉන්දියානුවන්ට භාවිත කළ හැකි වේ. 2016 වසරේ දී ඉන්දීය යූපීඅයි ආයතනය ස්ථාපිත කර ඇත. මෙම කාසි හුවමාරුවක් නැති ගිණුමකින් ගිණුමකට මුදල් හුවමාරු වන ක්‍රමය ලෝකයේ දැනට භාවිත වන ඒ ආකාරයේ විශාලතම ක්‍රමවේද අතරින් එකක් වශයෙන් සැලකේ. එයට හේතුව අධික ජනගහනයක් ඇති ඉන්දියාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් භාවිත කිරීම බව සඳහන් කළ යුතුය.
► භාවිතය සඳහා ජනගහනය හා තාක්ෂණය
2023 වසරේ අගෝස්තු මාසයේ පමණක් බිලියන 10.5 ක ගනුදෙනු යූපීඅයි ක්‍රමවේදය ඔස්සේ හුවමාරු වී තිබේ. පාරිභෝගිකයන් තමන්ගේ මුදල් සාක්කුවේ රුගෙන යන අතර ඇතිවිය හැකි අනාරක්ෂිතභාවය ගැන තක්සේරුවක පසු වූ අතර කොවිඩ් වසංගත කාලයේ දී හුවමාරුව සීමාසහිත වූ පසු ගනුදෙනුකරුවෝ දුර සිට ස්කෑන් කර මුදල් ගෙවන්නට නැඹුරු වූහ. ඉන්දියාවේ සාමාන්‍ය පිරිස් එනම් ආහාර අලෙවි කරන වීදි වෙළෙඳුන්, බස් හෝ දුම්රිය ප්‍රවේශ පත් නිකුත් කිරීම් පවා යූපීඅයි ගෙවීම් ක්‍රමවේදයට පරිවර්තනය වී තිබේ. ඇතැම් ප්‍රසිද්ධ නගරවල යාචකයන් පවා තම ගිණුම් අංකය දක්වමින් යූපීඅයි ක්‍රමයට ආධාර කරන සේ ආයාචනා කරන බව උපහාසයෙන් කියැවෙන අතර එය කිසිසේත් එසේ නොවිය හැකි දෙයක් ද නොවේ.
ඉන්දීය වැසියෝ තාක්ෂණයට බෙහෙවින් නැඹුරු වී සිටිති. පහසුවෙන් ස්ථාන සොයා ගැනීමටත්, කුලී ගමන් සඳහාත් අන්තර්ජාලය භාවිත කරති. අනෙක් අතට එවැනි පියවර සඳහා දත්ත සඳහා ගෙවිය යුතු වියදම සැලකිය යුතු අඩු පිරිවැයකි. අන්තර්ජාල භාවිතය ඉන්දියාවේ දී 2015 වසරේ ජනගහනයෙන් සියයට 12 ක ප්‍රතිශතයක සිට 2022 වසරේ දී සියයට පනහක් පමණ දක්වා වර්ධනය වී ඇත. අන්තර්ජාලයෙන් ඉගෙන ගැනීම හා අන්තර්ජාල සේවා අවස්ථා ඉතාමත් ප්‍රචලිතය. මෙම තත්ත්වය යටතේ යූපීඅයි ක්‍රමවේද කෙරෙහි මහජන විශ්වාසය වර්ධනය වෙමින් පවතී.
යූපීඅයි ගනුදෙනු සඳහා බැංකු මගින් අය කරන ලද කොමිස් ප්‍රතිශතය අඩු කරන්නට එරට මුදල් අමාත්‍යංශය පියවර ගත් අතර වහාම ගනුදෙනු ප්‍රමාණය දිරිගන්වන්නට ව්‍යාපාර හා සේවා අංශ පියවර ගත්තේය. බැංකු ගිණුමක්, ස්මාට් දුරකථනයක් හා සම්බන්ධතාවයක් සහ අන්තර්ජාල භාවිතය අවශ්‍ය කෙරේ. ශ්‍රී ලංකාවේ යූපීඅයි ගනුදෙනු සඳහා සම්බන්ධ වන ව්‍යාපාර හා සේවා අංශවලට මෙම පැති සලකා බැලිය හැකි වේ.
► ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මූල්‍ය සම්බන්ධතාව
රටවල් දෙකක් වශයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මූල්‍ය සම්බන්ධතා දියුණු වීමට පසුගිය කාලය පසුබිමක් විය. ආර්ථික අර්බුදයකින් හෙම්බත් වී සිටි රටට ඉන්දියාව උපකාර කළේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර නායකයෝ එකතු වී ශ්‍රී ලංකාව ගොඩනගන කුලුනු හතරකින් යුතු වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළහ. එවකට මුදල් අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ඉන්දියාවට ගියහ. ඉන්දීය අගමැතිවරයා හා ජනාධිපතිවරයා මුණගැසුණු ඔවුහු අතර ගිවිසුම් ගණනාවකට අත්සන් කළහ. යූපීඅයි ගෙවුම් ක්‍රමය රටට හඳුන්වාදීමට එකඟත්වය ද එම මූලික සාකච්ඡාවලදී පැන නැගුණු තීරණයකි.
යූපීඅයි ගෙවීමේ ක්‍රමය ඉන්දියානු සංචාරකයන්ට විශේෂ අත්දැකීමක් වනු ඇත. දැනටමත් මෙරටට එන සංචාරකයන් අතර ඉන්දියානුවෝ බහුතරයකි. ගුවනින් පමණක් නොව නැව් මාර්ග ඔස්සේ ද සංචරණය දියුණු කරන්නට සාකච්ඡා වෙමින් පවතී. ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගියදා කරන ලද සඳහන අනුව පිටරටකට ගමන් කරනවානම් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවට පිටත්ව යන ලෙස කරන ලද නිර්දේශය ද මෙහි දී ඉතාම වැදගත්ය. මෙරට එන සංචාරකයන්ට මුදල් වෙනුවට ඔවුන්ගේ ගිණුම්වලින් කෙලින්ම මෙරට සේවා සඳහා ගෙවන්නට හැකි පරිදි යටිතල පහසුකම් සකස් කර තිබීම අනිවාර්ය වැදගත් සාධකයක් වනු ඇත.
► ජාත්‍යන්තරයට යූපීඅයි පැතිරීමේ නව ප්‍රවණතා
ඉන්දියානු යූපීඅයි ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන අවස්ථාවේ එයට සමාන්තරව මොරිසස් රාජ්‍යයේ ද කටයුතු ආරම්භ කළේය. සිංගප්පූරුව, මලයාසියාව, එක්සත් අරාබි එමීර්, ප්‍රංශය, නේපාලය, බ්‍රිතාන්‍ය, බහරේන්, භූතානය ඇතුළු රටවල් දැනට මෙම ක්‍රමය භාවිත කරයි. සිංගප්පූරුව යූපීඅයි ගනුදෙනු 2021 වසරේ අරඹන අතර ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාව එයට වඩා කාලයක් ගත කර තිබේ. පළමු වටයේ දී ගනුදෙනු කරන ස්ථාන දස දහසක් ලියාපදිංචි කිරීම ඉලක්කය වී ඇත. දෙවැනි පියවරේ දී එය හැට දහස දක්වා වර්ධනය කරනු ඇත. දැනට මොරිසස් හා ඉන්දියානු සංචාරකයන්ට රටවල් දෙක තුළ ඕනෑම අවස්ථාවක මෙම කාඩ් ගනුදෙනුව කළ හැකි පරිදි සකස් කොට තිබේ. ඉන්දියාවට එන මොරිසස් රාජ්‍යයේ සංචාරකයන්ට එය විශේෂ පහසුවකි. ශ්‍රී ලංකාව එවැනි තැනකට ගමන් කිරීම සඳහා රටට ප්‍රමාණවත් ඉන්දීය රුපියල් ප්‍රමාණයක් උපයා ගත යුතු වේ. මෙතෙක් කල් ඇමෙරිකානු ඩොලර්වලින් ගනුදෙනු කළ රටවල් දෙකක් පහසුවෙන් එකිනෙකා හා ගනුදෙනු කරන තත්ත්වයට එන්නට රටවල් දෙකම ඉන්දියානු මුදලින් පොහොසත් විය යුතුය.
ඉන්දියානු යූපීඅයි ගනුදෙනු ක්‍රමයට පරිවර්තනය වීම පහසුය. විශේෂයෙන් ගනුදෙනුකරුවන්ට ඩොලර් අතරමැදි මුදලට මාරු කිරීමේ දී සිදුවන කොමිස් අවාසිය මග හැරේ. මෙම වසර තුළ තවත් රටවල් දහ තුනකට ක්‍රමය ව්‍යාප්ත කරන්නට ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගමන් කරන සංචාරකයන්ට මෙම අවස්ථා කරා සමීප විය හැකි විය යුතුය. විශේෂයෙන් බෞද්ධ වන්දනාවේ යන පිරිස් අපහසුවෙන් ශ්‍රී ලංකා රුපියල් ගෙවා කොමිස් ගාස්තු මැද ඩොලර් උපයාගෙන ඒවා ඉන්දියාවේ දී කොමිස් ගෙවා ඉන්දියන් රුපියල්වලට මාරු කිරීමේ දී අතරමැදි අවාසියට පත්වෙති. තමන්ගේ ගිණුමකින් තමන්ගේ ජංගම දුරකථනය හරහා යූපීඅයි ගෙවීම දක්වා සංවර්ධනය කරන්නට අවශ්‍යය. එය මැදි ආදායම් සංචාරකයන්ට පහසුවක් ඇති කරයි. එවැනි පියවරක් සඳහා සංවර්ධනය විය යුතු පැති ගැන විමර්ශනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.
I සාරා කන්දෙගොඩ