ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ලබාදුන් උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බවද සඳහන්ය.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා වෙනුවෙන් මුදල් වෙන්කිරීමට අපහසු යැයිද ඒ අනුව දිගින් දිගටම පාඩු ලබන මෙම ආයතන පොදු සමාගමක් බවට පත් කරන්නේ යැයිද ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රූපවාහිනී සංස්ථාව කිසිදු විටෙක අලෙවි නොකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මින් වසරකට ඉහත ප්‍රකාශ කර තිබිණි. රාජ්‍ය මාධ්‍ය ආයතන අකාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමත්, පමණට වඩා සේවක පිරිසක් සේවයේ යෙදවීම නිසාත් එම ආයතන තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය. රූපවාහිනියේ ණය බර මිලියන 1000කට වඩා අධික බව පෙන්වා දුන් ඔහු එම ණය සඳහා පසුගිය කාලයේ විශාල පොලියක් ගෙවීමට සිදුව ඇතැයිද ලැබෙන ආදායමින් පොලිය ගෙවූ විට සේවකයන්ට වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් උදාවන බවද සඳහන් කළේය.
මෙම ආයතන දෙකම දැනට අධික ණය බරින් මිරිකෙන බව මේ සම්බන්ධව රජය කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇත. ඒ අනුව මේ වන විට රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 1300ක්ද, ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක්ද ණය වශයෙන් ගෙවීමට ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 457ක්ද අලාභ ලබා තිබේ.
එසේම මෙම ආයතන දෙකේ විදුලිය බිල මසකට රුපියල් මිලියන 60ක් පමණ වෙයි. ආයතන දෙකෙහි වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය වෙයි. ඊට අවශ්‍ය අරමුදල් පවා උපයා ගැනීමට මෙම ආයතනවලට අසීරු වී ඇති නිසා මෙලෙස අදාළ ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇත. මම සංස්ථා දෙකෙහිම සමස්ත සේවක සංඛ්‍යාව 1100ක් පමණ වන බවද වාර්තා වේ.
රූපවාහිනියේ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේ මැතිවරණ සමයන්හි එවක බලයේ සිටි ආණ්ඩු මේ සංස්ථාව අවභාවිත කිරීම නිසා, සහ ගෙවිය යුතු නියමිත මුදල් නොගෙවීම නිසා මේ තත්ත්වයට පත්ව ඇති බවටය.
“1982 අංක 06 දරන රූපවාහිනී සංස්ථා පනතෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටවූයේ ජපානයෙන් ශ්‍රී ලාංකික ජනතාවට ලැබුණු පරිත්‍යාගයක් හැටියටයි. අපේ රටේ ජනතාවගේ විනෝදාස්වාද කටයුතු සහ අධ්‍යාපනික කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එය ලබා දී තිබුණා. මුල් කාලීන අරමුණු අද කොතෙක් දුරට ඉටු වෙනවාද කියන ප්‍රශ්නය තිබියදීම දශක 04කට අධික කාලයක් එය පැවතුණා. මෑත දශකවල රූපවාහිනී සංස්ථාව භාරව පත්වුණු ජනමාධ්‍ය ඇමැතිවරු සහ වෙනත් ඇමැතිවරුන් විවිධ අයට මේ ආයතනයේ පත්වීම් ලබා දුන්නා. දැන් 800ක පමණ සේවක පිරිසක් මෙහි සේවය කරනවා. කෙසේ නමුත් පාලකයන් මේ වන විට රූපවාහිනිය කෙතරම් ඇදවට්ටා තිබෙනවාද කියතොත් සමහර මාසවල සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් පවතිනවා. තමන්ට හිමි වැටුප ලබාගැනීමට ඔවුන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ කාමරය වට කරන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය කාලය පුරාම බලයේ සිටි ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ වැරදි ක්‍රියා නිසා සහ විශේෂයෙන්ම මැතිවරණ කාලයේ බලයේ සිටි ආණ්ඩු මේ සංස්ථාව අවභාවිත කිරීම නිසා, ගෙවිය යුතු නියමිත මුදල් නොගෙවීම නිසා මේ තත්ත්වයට වැටී තිබෙනවා. කෝප් සහ කෝපා කමිටු වාර්තා ආශ්‍රයෙන් මේ තත්ත්වයට ඕනෑ තරම් නිදසුන් දෙන්න පුළුවන්.
තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප පුම්බා ගන්න කළ විකාශනයන් වෙනුවෙන් රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවලින් රූපවාහිනියට නොගෙවූ විශාල මුදලක් තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය නාලිකාවක් පවත්වාගෙන යන්න වැඩසටහන් නිෂ්පාදනය කළ යුතුයි. රූපවාහිනියේ තිබූ එවැනි ගුණාත්මක වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය කාලයේ අත්හැරියා. මේ නිසා ඔවුන් ලැබූ ලාභය විශාල වශයෙන් පහත වැටුණා. සුදුසුකම් සහිත මානව සම්පතක් සහ අවශ්‍ය උපකරණ තිබුණත් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හැරිය නිසා රූපවානිය මූල්‍ය අර්බුදයකට ලක්වුණා.'' යනුවෙන් සඳහන් කර තිබිණි.
ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ වූයේ 1967 වර්ෂයේ දෙසැම්බර් 5 වැනිදා එවකට පැවති රේඩියෝ සිලෝන් (ලංකා ගුවන්විදුලි සේවය) මහජන සංස්ථාවක් බවට පත්වීමෙන් පසුවය. ගුවන්විදුලියට වැඩිම ආදායමක් ලැබුණේ වෙළෙඳ දැන්වීම්වලින් සහ එවක පැවැති ගුවන්විදුලි බලපත්‍රවලිනි. එමගින් සංස්ථාවේ සියලු වියදම් පියවා ගැනීමට හැකි වූ බවත් රුපියල් මිලියන 300ක පමණ ස්ථාවර තැන්පතුවක් සංස්ථාව සතුව පැවැති බවත් එහි පැරණි සේවකයෝ පෙන්වා දෙති. චන්ද්‍රිකා කුමාරතුංග පාලනය යටතේ ගුවන්විදුලි බලපත්‍රය අහෝසි කිරීම මත එයට ලැබුණු ප්‍රධානතම ආදායම් මාර්ගවලින් එකක් වැසී ගියේය. දේශපාලන කමිටු තීන්දු යනුවෙන් පවසමින් ඇතැම් පිරිස් වෙත විශාල ලෙස වන්දි ගෙවීමටද ඇතැම් අවස්ථාවල පියවර ගැනීම හේතුවෙන් ආයතනය සතු මුදල් විශාල ලෙස පහත වැටුණි. ඇතැම් අධ්‍යක්ෂවරුන් සංස්ථාවේ උන්නතියට වඩා දේශපාලන ප්‍රතිරූප ඉස්මතු කිරීමේ ක්‍රියාවලියක නිරත වීම හේතුවෙන්ද සංස්ථාව කඩා වැටීමකට ලක් විය. මේ වන විට ගුවන්විදුලි සංස්ථාවට ලැබෙන දැන්වීම් ප්‍රමාණයද විශාල ලෙස පහත වැටී ඇතැයි එහි සේවකයෝ පවසති. ඊට බලපා ඇත්තේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා සමඟ තරග කිරීමට ගුවන්විදුලි සංස්ථාවට නොහැකි වීමය. එමෙන්ම අවශ්‍ය ප්‍රමාණය ඉක්මවන සේවක සංඛ්‍යාවක් සිටීම ද වර්තමාන අර්බුදයට බලපා තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා