බිත්තර පිළිබඳ මේ දිනවල යළිත් කතිකාවතක් ගොඩනැගී ඇත්තේ බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යාම නිසාය. අද රටේ ළමා ජනගහනයෙන් සියයට 40ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන අඩු බර දරුවන්ව සිටියදී ඔවුන්ට අඩු මිලකට ප්‍රෝටීන් බහුල ආහාරයක් වශයෙන් ලබාගත හැකිව තිබූ බිත්තර අද වන විට දුප්පත් දරුවන් සඳහා ලබාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබීම අතිශයින් ඛේදජනකය. අද පවතින මිල අනුව දිළිඳු දෙමාපියන්ට දරුවන්ගේ බත්පතට සතියකට වරක්වත් බිත්තරයක් එක් කිරීමේ භාග්‍යය ලැබී නැත.
අපේ රටේ බිත්තර ගැටලුව සතියෙන් සතිය උස් පහත් වෙමින් යන මුහුදු රළක් බවට පත්ව ඇත. සතියක් බිත්තර මිල යම්තම් හෝ පහළ මට්ටමක තිබුණද ඊළඟ සතිය වන විට ඉහළ නගී. බිත්තරයක මිල තීරණය කිරීමේ අයිතිය වෙළෙඳුන්ට ලැබී ඇත. බිත්තරයක මිල කීයදැයි දන්නේ වෙළෙඳපොළට ගියාට පසුවය. සිල්ලර වෙළෙඳුන් පවසන්නේ අද අපට බිත්තරයක් ලැබුණේ මේ මිලටයි. එයට රුපියල් දෙකක් ලාබ තබාගෙන අලෙවි කිරීමට සිදුව ඇති බවය. එසේම හැසිරවීමේදී බිත්තරයක් බිඳුණහොත් ඒ මිල ද තම ලාභයෙන් ආවරණය කර ගැනීමට සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. සිල්ලර වෙළෙන්දා කියන මේ කතාවේ අර්ධ වශයෙන් හෝ යම් සත්‍යයක් ඇති බව පෙනී යයි.
පසුගිය දිනවල මිල අඩු කිරීම යැයි පවසමින් ඇමැතිවරයා ගැසට්ටුවක් ගසා බිත්තර මිල පාලනය කළේය. එහෙත් ඉතාම කෙටි කාලයකදී එම පාලන මිල රිවර්ස් කිරීමට සිදුවූයේ එම මිල ප්‍රායෝගික නොවන බව හෙළිවීමෙන් අනතුරුවය. ඊළඟට වෙළෙඳ ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළේ මිල අඩු කිරීමට බව පවසමිනි. මෙසේ ගෙන ආ බිත්තරද එකවරම වෙළෙඳපොළට නොපැමිණියේ ඒවායේ ප්‍රමිතිය පිළිබඳ සහතික අවශ්‍ය බව පවසමිනි. බිත්තර ආනයනය කරන දවස් වන විට ඉන්දියාවේ කුරුළු උණ පවතින බවට පුවතක් ප්‍රචාරය වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝග නිරෝධායන අංශවලින් ඒ පිළිබඳ තත්ත්ව සහතිකයක් ලබාගැනීම ඇවැසි විය. ඒ නිසා රටට ආනයනය කළ බිත්තර පාරිභෝගිකයා අතට යන විට සති දෙකක පමණ ප්‍රමාදයක් ඇතිවිය. ඊළඟට ඇතිවූ ගැටලුව වූයේ මෙම බිත්තර කල් තබාගැනීමට නම් අධි ශීතකරණවල තබාගැනීමට සිදුවීමය. මෙම ශීතාගාර පහසුකම් සෑම වෙළෙන්දා ළඟම නොතිබූ නිසා ඔවුන් ලබාගත් බිත්තර ඉක්මනින් අලෙවි කළ යුතු විය. එසේම පාරිභෝගිකයාට ද තමා මිලට ගන්නා බිත්තර ඉක්මනින් ආහාරයට ගත යුතු බවට සෞඛ්‍ය අංශ මගින් උපදෙස් දෙනු ලැබීය.
මුල් අවස්ථාවේදී ගෙන්වූ විදේශ බිත්තරවල සිල්ලර මිල වූයේ සුදු බිත්තරය රුපියල් 35ක් වශයෙනි. පාරිභෝගිකයන් අඩු මිලට අලෙවි වූ මෙම බිත්තර වැඩිපුර ඉල්ලීම නිසා තොග නොසෑහුණු බැවින් ඒවා සතොස හා සුපිරි වෙළෙඳසල්වල අලෙවි කළේ සීමාවකට යටත්වය. එක් අයකුට බිත්තර 5 – 10 වශයෙන් රට බිත්තර ලබා දුන්නේ ආනයනය කළ තොග සීමිත වූ බැවිනි.
කෙසේ වුවද ආනයනික බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයීමට අමාත්‍යංශය අසමත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිත්තර මිල යළිත් වැඩිවීමේ ප්‍රවණතාවක් උද්ගත විය. ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩා කර තිබූ බිත්තර දස ලක්ෂයක් වෙළෙඳපොළට මුදාහැරීම ඇරුඹියද එය බිත්තර හිඟයට විසඳුමක් නොවීය. අවශ්‍ය බිත්තර ඉල්ලුම සැපිරීම සඳහා යළිත් වරක් බිත්තර ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවූ අතර එලෙස ගෙන ආ බිත්තර පසුගිය සඳුදා සිට වෙළෙඳපොළට මුදාහරින බව සංස්ථාව පැවසුවද එම දිනයට බිත්තර වෙළෙඳපොළට එවීමට ඔවුනට නුපුළුවන් විය. එයට හේතුව වූයේ මෙම බිත්තරවල රෝගී විෂබීජ තිබේදැයි පරීක්ෂා කර වාර්තා ලබාගැනීමට බලාපොරොත්තු වූ දිනයට වඩා දින කිහිපයක් ගත වීමය. මෙම බිත්තර හිඟයෙන් ප්‍රයෝජන ගත් දේශීය සැපයුම්කරුවෝ මේ වන විට බිත්තරයක මිල රුපියල් 70 දක්වා ඉහළ නංවා තිබේ. මෙලෙස බිත්තර මිල වෙළෙඳපොළේ ඉහළ යාමට තවත් හේතුවක් වූයේ දෙවැනි වර ගෙන ආ රට බිත්තරයක මෙරට අලෙවි මිල රුපියල් 43 දක්වා ඉහළ යාම වේ. වෙළෙඳ අමාත්‍යංශය එයට හේතුව ලෙස පැවසුවේ ඉන්දියාවේ බිත්තර මිල ඒ වන විට ඉහළ ගොස් ඇති බවය.
බිත්තර ව්‍යාපාරය අද පවුලක බිස්නස් එකක්
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී. අලහකෝන්
&මේ දිනවල බිත්තර මිල ඉහළ ගිහිල්ලය කියලා රාවයක් යනවා. එහෙත් අපට කියන්න තියෙන්නේ අපේ බිත්තර ගොවිපොළවල නම් මිල වැඩි වී නැති බවයි. ආහාර සහ රසායනවල මිල කොච්චර වැඩි වුණත් තවමත් අපි අමාරුවෙන් හරි පරණ මිලටමයි බිත්තර දෙන්නේ. සුදු බිත්තරයක් රුපියල් 50 යි. රතු එකක් 52 යි. තොග වශයෙන් මිල උපරිමය රුපියල් 55ක් විය යුතුයි. උපරිම සිල්ලර මිල රුපියල් 58ක්ය කිව්වත් එයට වඩා මිල ඉහළ දැමීමට හේතුවක් නැහැ. මේ දිනවල බිත්තර රුපියල් 65 – 70 දක්වා ඉහළ ගිහිල්ල යැයි චෝදනා නැගෙනවා. එහෙත් මේ තත්ත්වයට අපි සම්බන්ධ නැහැ. වැට් එක ගෙව්වත් රුපියල් 6ක් වැඩි වෙනවා මිස රුපියල් 8 – 10 වැඩි වෙන්න විදිහක් නැහැ. මෙලෙස වැඩි කර ඇත්තේ බිත්තර තොග වෙළෙඳුන් සහ අතරමැදියන් විසින්ය කියලයි කියන්න පුළුවන්.
වෙළෙඳ ඇමැති ඉන්දියාවෙන් ගේන බිත්තර මිල වැඩි කළ විට ඒ දිනයේ සිටම තොග වෙළෙඳුන් කිසිම හේතුවක් නැතුව මිල ඉහළ දමලා. මේ නිසා සිදුවන්නේ අසරණ පාරිභෝගිකයන් සූරා කෑමක්. මෙය වෙළෙඳ ඇමැති සහ බිත්තර තොග වෙළෙඳුන් එකතුවෙලා කරන කුමන්ත්‍රණයක්. වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුගේ මස්සිනා තමයි ජාඇල ඇන්ටනී කියන ව්‍යාපාරිකයා. මේ වන විට බිත්තර ව්‍යාපාරය පවුලක බිස්නස් එකක් බවට පත්වෙලා. මේ අය එකට සම්බන්ධ වෙලයි මිල වැඩි කරන්නේ. ආණ්ඩුව ආනයනය කරන බිත්තර මිල ඉහළ දැමූ විට තොග වෙළෙඳුන්ටත් එය පදනම් කරගෙන මිල ඉහළ දැමීමට පහසු වෙනවා. හරියට කතා වෙලා කරන දෙයක් වගේ.
රටේ බිත්තර ගොවිපොළවල් අයිති අපේ සංගමයේ සාමාජිකයන්ට. මේ වන විට කිසිදු බිත්තර හිඟයක් නැහැ. එහෙම හිඟයක් තියෙනවා නම් එය කෘත්‍රිමව තනාගත් හිඟයක්. හිඟයක් ඇති කරලා මිල ඉහළ දානවා. බිත්තර ගොවිපොළවල් පවත්වාගෙන යන්නේ බොහොම අමාරුවෙන්. අමුද්‍රව්‍ය මිල ඉහළයි. පොහොර වර්ගවල මිල සියයට 400 කින් ඉහළ ගිහින්. පැටව් මිල ඉහළයි. සමහර බෙහෙත් වර්ග යළිත් මිල ඉහළ ගියා. වැට් වැදිල්ලත් එයට හේතුවක්. කොහොම වුණත් පාරිභෝගිකයා අදටත් වැඩියෙන් ඉල්ලන්නේ දේශීය බිත්තරයි. බේකරිවලත් පාවිච්චි කරන්න වඩාත් කැමැති ලංකා බිත්තරයි. ඉන්දියානු බිත්තරයක මිල තරමක් අඩු වුණත් ඒවායේ බර අඩුයි. ග්‍රෑම් 40 – 45 තමා බර වෙන්නෙ. දේශීය බිත්තරයක් ග්‍රෑම් 60 – 65 වෙනවා. බර ග්‍රෑම් 20 – 25 ක වෙනසක් තියෙනවා. මේ නිසා බේකරිවලටත් ගන්නේ අපේ බිත්තර. දේශීය බිත්තරවල පෝෂ්‍ය පදාර්ථ වැඩියි. ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළයි. කහ මදය අංගසම්පූර්ණයි.
අපි දේශීය බිත්තර අලෙවි කරන්නේ රුපියල් 50 – 52 මිලටයි. ලෙහෙසියෙන් 55 – 58 ට දෙන්න පුළුවන්. අසාධාරණ ලෙස මිල වැඩි කරන්නේ තොග වෙළෙඳුන් සහ අතරමැදියන්. කොරෝනා වසංගත කාලයේ බිත්තර පාරිභෝජනය දිනකට ලක්ෂ 5 ½ දක්වා අඩුවෙලා තිබුණා. ඒත් අද වන විට දිනක පාරිභෝජනය ලක්ෂ 80 දක්වා ඉහළ ගිහින්. මසකට ලක්ෂ 240 – 250 අතර විකිණෙනවා. දැන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා නිසා බිත්තර අලෙවියද අඩුවෙලා. දිනකට ලක්ෂ 70 – 72 අතර ප්‍රමාණයක් අද අලෙවි වන්නේ. මිල වැඩිවෙලා තියෙන නිසා බිත්තර මිලට ගන්න ජනතාවට මුදල් නැහැ. සම්බෝල එක්ක කන්න හාල් කිලෝවක් ගන්නයි උත්සාහ කරන්නෙ.
රජය ඉන්දියාවෙන් ගෙන්වන කුඩා ප්‍රමාණයේ බිත්තරවලින් කිහිප දෙනෙක් කොමිස් ගන්නා බව කියනවා. මේ බිත්තරවල මිල ඉන්දියාවේ බොහෝ අඩු වුණත් ඒ වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. ඇමැති කරන්නේ බිත්තර මිල වැඩිය කියලා කැබිනට් එකෙන් අවසර ගෙන බිත්තර ආනයනය කරන එකයි. කොමිස් ගන්නවා නම් එය නවත්වලා හැකි තරම් අඩු මිලට අලෙවි කිරීමට රජය පියවර ගත යුතුයි. අදටත් රට බිත්තර ගන්න තැනක් නැහැ. සතොසට අවශ්‍යතාවය සපුරන්න බැහැ. මම නම් හිතන්නේ බිත්තර මිල වැඩි වුණේ රජය බිත්තර අලෙවිය පටන්ගත් නිසා කියලයි.''
සැ.යු
බිත්තර තොග වෙළෙඳුන්ගේ සංගමයේ නිලධාරියකු මෙම සාකච්ඡාව සඳහා එක්කර ගැනීමට උත්සාහ කළ ද ඔහු ජනමාධ්‍යවල බිත්තර මිල පළවීම ගැන දෝෂාරෝපණය කරමින් අපට කතා කිරීම ප්‍රතික්ෂේප කළේය.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර පවසන්නේ බිත්තර මිල අඩු කිරීම සඳහා ආනයනය කිරීම අසාර්ථක උත්සාහයක් බවය. එයින් කිහිප දෙනකු පොහොසත් වෙනවා හැරුණුවිට පාරිභෝගිකයාට සිදුවන යහපතක් නැති බව ඔහු කියයි. මෙයින් සිදුවන්නේ දේශීය නිෂ්පාදන කඩා වැටීම බව ඔහු කියයි.
I යසවර්ධන රුද්රිගූ