2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ඉවක් බවක් නැති රාජ්‍ය සම්පත් විකිණීම මහනාහිමිවරුන්ගේ උදහසට

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 121

''දිගින් දිගටම රටක් හැටියට අපට වැදගත් වන රාජ්‍ය සම්පත් විදේශීය සමාගම්වලට විකුණා දැමීම පසුගිය කාලයේ දකින්න ලැබුණා. ඉන්ධන, විදුලිය, සන්නිවේදනය වැනි ආයතන විදේශිකයන්ගේ අයිතියට ලබා දෙන්නේ භූමියත් සමඟ වීම භයානක කරුණක්. මේ ආයතන කටයුතු කරන්නේ ලාබය මූලික කරගෙන පමණයි. මේවා රාජ්‍ය ආරක්ෂාවට සහ රටේ ස්වාධිපත්‍යයට වැදගත් වන ක්ෂේත්‍රයි. මේ වගේ දේවල් විදේශිකයන් සතු කළාම ඔවුන්ට රටට බලපෑම් කිරීමට, අනියම් ලෙස රට පාලනය කිරීමට ඉඩ ලැබෙනවා. ඒක නිසයි මහානායක හාමුදුරුවරු රටේ නායකයා දැනුම්වත් කිරීමට ඒ වගේ ලිපියක් යැව්වේ..''

එසේ දේශය සමඟ අදහස් දැක්වූයේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ වෙති. උන්වහන්සේ එසේ සඳහන් කළේ පසුගියදා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය පිළිබඳ අදහස් වීමසීමේදීය.  

මහජන සුබසිද්ධිය, ජාතික ආරක්‍ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජනයා සතු සම්පත් වන අතර ඒවා ගැන තීරණ ගැනීමට තාවකාලිකව පත්වන දේශපාලන නායකයන්ට අයිතියක් නැත. එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බව ත්‍රෛනිකායික මානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ අවධාරණය කර තිබේ.  

තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, මල්වතු පාර්ශවයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඥානරතන, අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ සභාපති, මකුලෑවේ ශ්‍රී විමල, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක යන නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ලිපිය යොමුකොට තිබේ.

රාජ්‍ය ව්‍යාපාර රැසක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුතු බවට රජය හඳුනාගෙන පසුගිය වසරේ අගභාගයේදී එවායේ නාමලේඛනයක් ප්‍රසිද්ධ කෙරුණි. ඒ අතර පාඩු ලබන රාජ්‍ය ආයතන මෙන්ම විශාල වශයෙන් ලාබ ලබන ආයතනය ද තිබුණු අතර මේ නිසා විශාල මහජන විරෝධතාවක් එයට එල්ල විය. ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය ඉටු කිරීම සඳහාම වන විශේෂ ඒකකයක් ද මුදල් අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ පිහිටුවිණි. රජයට අයත් වාණිජ ව්‍යාපාර ආයතන 130 කට අධික ප්‍රමාණයක් ඇති අතර ඒ අතුරින් හඳුනා ගන්නා ලද රාජ්‍ය ව්‍යාපාර ආයතන 85 ක් පමණ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුතු බවට සහ තවත් ආයතන 15 ක් වසා දැමිය හැකි බවට ද රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් හඳුනාගෙන ඇත.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ ක්‍රියාපාටිය තුළ විනිවිදභාවයක් නොමැතිවීම මෙන්ම මහජන අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු නොකොට ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපාරයෙන් රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම තුළින් මහජන සුබසාධනය, ජාතික හා සමාජ ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් උද්ගතව ඇති බව ද මහනායක හිමිවරුන්ගේ ලිපියේ අවධාරණය කර තිබේ. 

''රජය විසින් ගෙන යන මෙම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ පසුගිය කාලවකවානුව තුළ මෙරට වෘත්තිය සමිති බහුතරයක් සිය අප්‍රසාදය රජයට පළ කරන ආකාරය අපි නිරීක්ෂණය කළෙමු.'' ගතවූ වසර 76 තුළ ජාතික ප්‍රතිපත්තියකින් තොරව වැරදි ආර්ථික උපාය මාර්ග මත අත්තනෝමතික සහ අවස්ථාවාදී ලෙස  විවිධ රාජ්‍යයන් කටයුතු කිරීම හේතුවෙන් රට තුළ අනේකවිධ ජාතික දේශපාලනික සමාජීය හා ආර්ථික අර්බුද හටගත් බව නායක හිමිවරු ලිපියේ සඳහන් කර තිබේ. රටේ මහජන මතයට පසුගිය කාලයේ පත්වූ පාලකයන් ගරු නොකළ බවත් නාහිමිවරු අවධාරණය කරති.

''රටේ මහජන මතය වනුයේ රාජ්‍ය ව්‍යාපාරවලට සිදුකරන දේශපාලන අතපෙවීම්, බඳවා ගැනීම්, රාජ්‍ය සම්පත් අවභාවිතය, දූෂණය හා වංචාව වැළැක්වීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකසා නිසි අධීක්ෂණයක් තුළින් මහජන සුබසිද්ධියට ප්‍රමුඛත්වයක් ලබාදෙන නිසි පරිදි නියාමනයකට ලක්කෙරෙන නිවැරදි කළමනාකරණයකට රාජ්‍ය ආයතන පත්කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.'' 

අතීතයේ පටන්ම රටේ අර්බුද අවස්ථාවලදී පාලකයන්ට උපදෙස් දුන්නේ සංඝයා වහන්සේ බව ඉතිහාසයේ සඳහන්ය. දස රාජ ධර්මයෙන් රට පාලනය කිරීමට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. අද අමුඅමුවේ මහ දවල් හොරකම් කරන දේශපාලනඥයන් සිටින රටකට මහනායක උපදෙස් වටින්නේදැයි අපට නම් පැනයකි. 

මැදගම ධම්මානන්ද නාහිමියෝ මෙසේ ද අප සමඟ පැවසූහ: 

''භූමියේ සම්පත් මේ විදිහට පවරාදීම අනාගතයේ දී නරක ප්‍රතිඵල ලැබෙන දෙයක්. අමුල් සමාගමට රට පුරා ගොවිපොළවල ඉඩම් අක්කර 28000ක් ලබාදීමට යනවා. මන්නාරමේ දූපත් බදු දීලා තිබෙනවා. චීනයට ඉඩම් ලබාදීමට යනවා. රාජ්‍ය ආයතන පාඩු වෙන්න පුළුවන්. ඒවා ලාබදායක බවට පත්කර ගැනීම වෙනම කාරණයක්. විදුලිය, ඉන්ධන වගේ අත්‍යවශ්‍ය සම්පත්වල අයිතිය රජය සතුවිය යුතුයි. රටක් ස්වාධීනව පවත්වා ගැනීමට ඒක බලපානවා. අපි පීඩනයට පත්කරලා සැලසුම්සහගතව රාජ්‍ය සම්පත් විකුණා දැමීමක් තමයි සිදුවන්නේ. 

ඉස්සර නම් රජවරු රටට බලපාන යමක් කිරීමට පෙර භික්ෂුන් වහන්සේගේ අදහස් අවවාද විමසා බැලුවා. ඉංග්‍රීසින්ගේ කාලෙ පවා එය සිදුවුණා. විහාර දේවාලගම් පනත ඉංග්‍රීසි සමයේ ඉදිරිපත් කළේ ඒ විදිහට සංඝයා වහන්සේගේ අදහස් අනුවයි. ඒ කාලේ වගේ නොවෙයි. දැන් පාලකයන් පත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මහජනතාව විසින්. ඉතින් මේ වගේ පාලකයන් පත්කිරීම ගැන මහජනතාවත් වගකිව යුතුයි. බුදුදහමටත් විවිධ නොගැලපෙන දේවල් ක්‍රියාත්මක වීමක් පසුගිය කාලයේ සිදුවුණා. මේවා එකම සැලසුමක කොටස් බව පේනවා. මෙවා පිටුපස විවිධ බලවේග ඉන්න බව පැහැදිලියි. මේ නිසා අනාගතයේ දී විශාල සමාජ ආර්ථික දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට හේතු විය හැකියි. ඒ වගේම ජනජීවිතයත් අඩාල කිරීමට මේවා බලපාන්න පුළුවන්.''

මේ කරුණු පිළිබඳ ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමුකර මහජන සුබසිද්ධිය අවිනිශ්චිතතාවට ලක්නොකෙරෙන සේ කටයුතු කිරීමටත්, විධිමත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමකට අදාළ බලධාරින්ට උපදෙස් දෙන ලෙසත් මහානායක හිමිවරු අවධාරණය කරති. 

ඔරුවල වානේ, කන්තලේ සීනි, කන්කසන්තුරේ සිමෙන්ති, කොස්ගම තුනීලෑලි, පූගොඩ රෙදි වැනි රටම කතා කළ රාජ්‍ය ආයතන රාශියක මතකය පවා රුඳී ඇත්තේ පරණ මිනිස්සුන්ගේ සිත්වල පමණි. ඒවා එකල විශාල ලාබයක් ද ජනිත කළ අතර දහස් ගණනකට රැකියා ද සැපයුණි. මහානායක හිමිවරු සඳහන් කරන්නා සේ අද විකුණන්නට යන ආයතන රටේ පැවැත්මට ඍජුවම බලපාන මර්මස්ථාන වීම වඩාත් භයානක කරුණකි. 

අපට නම් සිතෙන්නේ මෙසේ ඉවක් බවක් නැතුව රාජ්‍ය දේපළ විකුණා දැමීමට රජය කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටමින් බවයි. පාලකයන් එසේ රට උකස් තබන්නේ දේශය ගැන කිසිදු හැඟීමකින් නොවන බව මහජනතාවට දැන් අවබෝධ වී තිබේ. මේ නිසා රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව දිනපතා විරෝධතා පැවැත්වීමට වෘත්තිය සමිතිවලට සිදුව ඇත. මේවාට පාලකයන්ට පාඩම් ඉගැන්වීමට ඡන්දයක් පවත්වන තුරු ජනතාව නොඉවසිල්ලෙන් සිටිති. 

I කුසුම්සිරි විජයවර්ධන