2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මත් රකුසාත් දැන් යයි ඉස්කෝලේ

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

මත් රකුසා අපේ රටේ සිසු පරපුරට දත් විළිස්සන්නට පටන් ගත්තේ අදක ඊයෙක නොවේය. එහෙත් මේ වනවිට ඒ තත්ත්වය හිස් මුදුනටම පැමිණ හමාරදැයි සිතේ. අතීතයේ කොළඹ රටට සීමා වී තිබූ මෙවැනි විෂමාචාර ක්‍රියා මේ වනවිට ගමක් ගමක් පාසා අස්සක් මුල්ලක් නෑර අසන්නට දකින්නට ඇත්තේය. 

පස්සර ප්‍රදේශයේ පාසලක සිසුවකු කසිප්පු පානය කිරීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණේ පසුගියදාය. සිසුවා හදිසියේ අසනීප වී වමනය කරනු දුටු ගුරුවරුන් ඒ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ තමා විදුහල අසල මහ පාරේ සිට බීම වර්ගයක් පානය කළ බවයි. එහෙත් මෙම සිසුවා රෝහලේදී පවසා ඇත්තේ තමා කසිප්පු පානය කළ බවයි. එසේම කුරුණෑගලට නුදුරු ප්‍රදේශයක ප්‍රාථමික විද්‍යාලයක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් ඔහුගේ පියා සඟවා තිබූ බව කියන කිසියම් පෙති වර්ගයක් පෙරේදා පාසලට ගෙන ගොස් තවත් සිසුන් තිදෙනකු සමඟ පානය කිරීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් සිසුහු සිව්දෙනාම කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.  

මන්නාරම ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු මත්පෙති ළඟ තබාගෙන හසුවූයේ පසුගියදාය‍. මෙම ගුරුවරයා ජාවාරම්කරුවන් පිරිසක් සමඟ එක් වී සිසුන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කර ඇතැයි ද වාර්තා විය. මෙවන් සිදුවීම් රුසක් නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබෙද්දී වර්තමාන දරු පරපුර ආරක්ෂා කරගැනීමේ පරම වගකීම සියල්ලටත් ඉහළින් ඇත්තේය.  

පසුගියදා මහනාහිමිවරු පිරිසක් කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් තැබූහ. එහිදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පැවසූයේ මෙරට දරුවන් පාසල්වලදීම මත්වන තත්ත්වයකට පත්ව තිබුණද මෙතෙක් කිසිදු බලධාරියකු ඒ ගැන අවධානය යොමුකර නැති බවයි. එහිදී නාහිමිවරුන් අවධාරණය කරනු ලැබුවේ මෙරට මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුමට බාධා නොකළ යුතු බවත් එය කාලීන වැඩසටහනක් බවත්ය. 

පාසල් පදනම් කරගත් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය වඩා සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි ප්‍රධාන ස්ථානයක් වනුයේ පාසල බවයි. මත්ද්‍රව්‍ය දුර්භාවිතය සඳහා වැඩි වශයෙන් යොමුවන කාලසීමාව පාසල් වයස් සීමාව වන බැවින් එලෙස යොමුවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු අවස්ථාව වන්නේද පාසල් සමය බව එහි දැක්වෙයි.‍ එහි මෙසේද සඳහන් වෙයි. 

“මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප, කුසලතා සහ වටිනාකම්වලින් පාසල් ප්‍රජාව සංවර්ධනය කරමින් සෞඛ්‍යවත් සහ ආරක්ෂිත දරු පරපුරක් බිහි කිරීම අරභයා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් “ශික්ෂා” පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හඳුන්වා දී ඇති බවයි. මෙම නිවාරණ වැඩසටහන ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ පාසල් පද්ධතියේ සියලු පාර්ශ්ව ආවරණය පරිදි දිගූකාලීන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක බවත්* අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වෙබ් අඩවියේ සඳහන් කරයි. 

පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් පාසල් ප්‍රජාව සක්‍රීයව බලගැන්වීමත්, වැරුදි අවබෝධය මත මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් එයින් මුදවා ගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් ඒකාබද්ධව විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබුණේ කලක සිටය. එහිදී මෙරට පාසල් අතරින් වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගත් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49ක් ඉලක්ක කරගනිමින් “සුරක්ෂිත හෙට දවසක්” යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් හඳුන්වා දුන්නේය. එසේම තොරතුරු ලබාදීමට ක්ෂණික දුරකථන අංකයක් ද ලබා දී තිබේ.

වර්තමාන සිසු පරපුර මතට ගොදුරු වන්නේ කාගේ වරදින්දැයි ප්‍රශ්නයකි. එහෙත් මෙම ගැටලුවට බොහෝ දෙනා වගකිව යුතු බව නම් නොකියාම බැරිය. 

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා මෙසේ පැවසුවේය.

“නව යොවුන් වියේ පසුවන්නන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට බොහෝ අවස්ථාවල පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. මත්පැන් සහ දුම්වැටි මට්ටමේ තිබූ මෙම ඇබ්බැහිවීම මේ වනවිට හෙරොයින්, ගංජා, අයිස් වැනි මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහිවූවන් අපට දැන් හමුවෙනවා. මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන නව යොවුන් දරුවන් හඳුනා ගැනීම ඉතාම වැදගත් කාරණයක්. ළමා කාලයේදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වන හානිය වැඩිහිටි කාලයට වඩා විනාශකාරීයි. බොහෝ මත්ද්‍රව්‍යවලින් ළමා වැඩෙන මොළයට හානි වෙනවා. මේවායින් ළමයින්ගේ බුද්ධි වර්ධනය අඩු වෙන්න පුළුවන්. මෙම ගොදුරුවීම්වලින් අනාගතයේදී බුද්ධි හීන දරුවන් තමා බිහිවන්නේ. කුසලතා ශක්තිය, ධාරණ ශක්තිය වගේම ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සහ තර්තන හැකියා අඩු වෙනවා. මේවාට විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. මේ මත්ද්‍රව්‍ය නිසා විවිධ මානසික ව්‍යාකූලතා ඇතිවන්න පුළුවන්. රූප මැවී පෙනීම, කිසිවකු තමාට කතා කරනවා යැයි දැනීම ආදී අසාමාන්‍ය සංවේදන ඇතිවෙනවා. අසාමාන්‍ය විශ්වාස ඇතිවීමද මෙයින් වෙනවා. සැක කිරීම, තවකකු හානි කරනවා යැයි දැනීම මෙම මත්ද්‍රව්‍ය භාවිතයේ විපාකයි. සමාජයට වෛර කිරීම, පහසුවෙන් අනුන්ට හානි කිරීමට පෙළඹීම ආදී වෙනස්කම් සිදුවෙනවා. මත්ද්‍රව්‍යවලින් හෘද රෝග, හෘද ස්පන්දන වේගය වෙනස් වීම, ශරීර ශක්තිය අඩුවීම ආදී ශාරීරික දුර්වලතා ද ඇතිවෙනවා. ජීවිතයට හානි කරන ආකාරයේ දරුණු ශාරීරික ආබාධ ඇතිවන්නත් පුළුවන්. මීට අමතරව නින්ද නොයාම, ශ්වසන අපහසුතා, ආහාර අරුචිය ඇතිවන්නත් පුළුවන්. මතට ගොදුරුවූවන් කල්තියා හඳුනා ගැනීම ඉතාම වැදගත්‍. එහි වගකීම පාසල් ගුරුවරුන්ට සහ මව්පියන්ගේ වගකීමක්. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ දරුවන් සිටී නම් මූලික පියවරක් වශයෙන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට ඇති මාර්ග සියල්ල සොයා අහුරා දැමීම කළ යුතුයි. දරුවා මනෝ වෛද්‍ය සායනයකට යොමුකර අවශ්‍ය උපදෙස් සහ ඖෂධ ලබාදීමද යහපත් දරුවකු නිර්මාණය කරගැනීමට මනා පිටිවහලක් වෙනවා.”

I සසංක චලන ගිම්හාන