Q කවුද මේ බෙල්ලන, සමහරු කියනවා එයා වෛද්‍යවරයෙක් නෙමෙයි, මේ තනතුරේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි, මේ ඉන්නේ නියමිත රාජකාරි ස්ථානයෙත් නෙමෙයි කියලා. ඔහුව ඉවත් කරන්න කියලත් කියනවා?
එහෙම කියන්න ලංකාවේ ජනාධිපති වෙන්න එපැයි, ලංකාවේ අගමැති වෙන්න එපැයි, කැබිනට් ඇමැති වෙන්න එපැයි. සෞඛ්‍ය ලේකම් වෙන්න එපැයි, නැතිනම් අධ්‍යක්ෂ ජනරාල් වෙන්න එපැයි. මේ කොහෙවත් යන නොසන්ඩාලයෝ සෙට් එකක් තමන්ට ඕනෑ කවුද, ඒ අයව පත්කළ යුතුයි කියන තත්ත්වයක් දැන් මතුවෙලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ සුළු සේවකයන් ආශ්‍රිතව. මේකට වගකියන්න ඕනෑ අමාත්‍යාංශය, එහි නිලධාරින්.
Q එහෙම සේවයක් සුළු වෙන්නෙ කොහොමද? මේ ඔබ නිතර කියන මේ වචනය නේද ගැටලු රැසකට හේතුව?
සුළු සේවක කියන්නේ මම කියන වචනයක් නෙමෙයි, ඒක ආයතන සංග්‍රහයේ ඇති වචනයක්, අපි කිසිසේත්ම කියන්නේ නෑ සේවාව සුළුයි කියලා. අපි කියන්නේ සේවකයන් සුළුයි කියලා. ඕනෑම ආයතනයක සේවකයන් සුළු සහ විධායක කියලා කට්ටියක් ඉන්නවා. නමුත් මේ වචනේ කියනකොට මේ අයගේ හිත රිදෙනවා. ඒකට තියෙන්නේ වෙන හේතුවක්.
Q මොකක්ද මේ ගැටුමකට පවා මුල්වුණු හේතුව?
මේ අයගේ කට්ටියක් දේශපාලකයන්ගේ වැඩ කළ අය. ඒ අතරේ කොටසක් දේශපාලන හෙංචයියන්ට සල්ලි දීලා පත්වීම් ගත්තු අය. ලක්ෂය දෙක තුන දීලා සමහරු ඇවිත් ඉන්නේ. මේ අය බොහෝමයක් ඈත පළාත්වලින් ආපු අය. ඔවුන් තමන්ගේ ගමේ රටේ කියලා තියෙන්නේ කාර්යාලයේ සහායක, පියන්, නැතිනම් ලිපිකරු සේවයේ වැඩට යනවා කියලා. ඉතින් එහෙම එන්නේ අධිමාන්නක්කාර මානසික තත්ත්වයකින්. සෞඛ්‍ය කාර්ය සහායක ලෙස වැඩ කරන්න නෙමෙයි. නමුත් මෙහේ ආවාම තියෙන්නේ කාර්යාලයක වැඩ නෙමෙයි. කැත කුණු අදින්න, වීල් චෙයාර් තල්ලු කරන්න, ට්‍රොලී තල්ලු කරන්න. මේක මේ අයට ගැටලුවක්. සමහරු නයි වෛරයෙන් ඉන්නේ. මොකක්ද මේ සල්ලිත් අරන් දුන්න රස්සාව කියලා. ඉතින් දාහක් ආවාම සමහරු දෙතුන් - සියයක් රස්සාව දාලා ගිහින්. ඉන්න ඉතිරි අය සේවය ගැන ඉන්නේ තද අපැහැදීමකින්.
Q සල්ලි අරන් පත්වීම් දෙනවා කියන එක ලොකු චෝදනාවක්. ඇමැතිවරු මේවාට නිහඬ ඇයි?
ඇත්තටම බොහෝ ඇමැතිලා පවා දන්නේ නෑ මේ තත්ත්වය. මේවා හෙංචයියන්ගේ වැඩ. මම මේ කියන්නේ දේශපාලකයනුත් නොදන්න කතාවක්. මේ ක්‍රමයට එන අය සමාජයටම පෙන්වලා ඇත්තේ, තමන්ගේ දූ දරුවන්ට සහකරුවන්ට පවා පෙන්වා ඇත්තේ තමන් ඉහළ සේවයක යෙදෙනවා කියලා. ඉතින් මේ අයට මම, සුළු සේවකයා කියනකොට ඒ අය මා එක්ක කුපිත වෙනවා තමන්ව සමාජ අපකීර්තියකට, නිග්‍රහයකට ලක් කරනවා කියලා. මම කියන්නේ නෑ මේ අය කරන සේවය සුළුය කියලා, මම කියන්නේ සේවකයා අයත් වන සේවා කාණ්ඩය, කැටගරිය සුළුය කියන එකයි.
Q සුළු සේවා කාණ්ඩයේ මේ පිරිස අතරත් ඔබ අතරත් මේ තරම් විරසකයක් ඇයි? තවත් වෛද්‍යවරු අධ්‍යක්ෂවරු ඉන්නවනේ?
ඒ මේ අය තුළ සමාජ අපකීර්තියට ඇති පැකිලීම නිසා, තමන්ගේ සේවය ගැන වැඩුණු හීනමානය නිසා. දැකලා ඇතිනේ ඉස්පිරිතාලවලට රෝගීන් ආවාම දොස්තරලා වගේ හැසිරෙන්නේ කවුද කියලා. සල්ලි නොදුන්නොත් වීල් චෙයාර් පවා තල්ලු කරන්නේ නෑ. වරක් මම ඒක ක්‍රියාවෙන් කරලා පෙන්නුවේ ඒකයි. මේක සේවයක්. එයට ලජ්ජා නොවිය යුතුය කියන්න. ඉතින් මෙතෙක් කලක් දොස්තරලා පවා මේ අයගේ හැසිරීම් ගැන තදට හිතුවේ නෑ. ඔවුන් මේ අයගේ පමණ ඉක්මවා හැසිරීම දුටුවේ නෑ වගේ හිටියා. ඔවුන්ව නලවලා වැඩියි. අමාත්‍යාංශයත් නිලධාරිනුත් එහෙමයි. දැන් මේ තත්ත්වය වෛද්‍යවරුන්ගේ ඔලුවට අත හෝදන තැනටම ඇවිත්. මහරගම ස්ථාන මාරුවක් නිසා මන්නයකින් කෙටීමට ගිය සිද්ධිය, කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට පහර දීම, දැන් මේ ජාතික රෝහලේ ගැටලුව, තවත් ඔය වගේ සිද්ධි, මේ තත්ත්වය ගැන කවුරුත් කතා කළේ නෑ. සුළු සේවකයාට තමන්ට අයිති තැන ඔවුන්ට මතක් කර දුන්නේ නෑ. ඉතින් මම ඒක කළා. මම තමා ඒක කළ එකම වෛද්‍යවරයා. ඒක තමා විරසකය. මා සමඟ ඇති ගැටලුව.
Q එතකොට ඔවුන්ගේ මෙ බදු හැසිරීම් ගැන අමාත්‍යාංශය නිහඬද?
අමාත්‍යාංශ නිලධාරින් ඉන්නේ ඇඟ බේරාගන්න තැනක. ඒගොල්ල ඉන්නේ Easy management කියන ලේසි ආකල්පයේ. මෑත කාලයේ මේ සේවක හැසිරීම් ගැන නිසි විනය ක්‍රියාමාර්ග පවා ගත්තේ නෑ. නිලධාරින් ජනප්‍රිය තීන්දු තීරණ මත රැඳී අභියෝගාත්මක තත්ත්ව මගහැර යනවා. පඩිය අරන් ෂේප් එකේ ඉමු කියන න්‍යාය තමයි ඇත්තේ. මේ තරම් විනාශයක් වී ඇත්තේ ඒ නිසයි. මේ අය මේ තරම් දැඩි ක්‍රියාදාම සඳහා පොළඹවන වැරැදි පූර්වාදර්ශ ලබා දුන්නේ ඒ අයයි.
Q මේ සඳහා ඔබ දකින විසඳුමක් තියෙනවද?
මේ සේවය, සේවයක් හැටියට පවත්වාගෙන යන්න ඕනෑ. මේ කියන සේවාවන් බොහෝමයක් රජයේ සේවයක්ම විය යුතු නෑ. වෙද, හෙද, කළමනාකරණ වැනි සේවා හැරුණුවිට අපිට මේ අනෙක් සුළු සේවා පෞද්ගලික අංශයෙන් වඩාත් හොඳින් යහපත් විනයක්, කඩිසර බවක්, කැපවීමක් සහිතව ලබාගත හැකියි. දැන් පිරිසුදු කිරීම් කටයුතු කාලයක් තිස්සේ පෞද්ගලික අංශයෙන් කළා. අවුරුදු 30කට කලින් ඒක පටන් ගත්තේ අත්හදා බැලීමක් විදියට. ඉස්සර ඉස්පිරිතාල ළඟින් යන්න බෑ. පෞද්ගලික අංශයෙන් ඒ තත්ත්වය වෙනස් කළා. දැන් එය සාර්ථක බව පෙනෙනවා. ඉතින් දැන් මේ ආකාරයට ඉතිරි සුළු සේවාවනුත් රෝගීන්ට වැඩි පහසුවක්, ආධාරයක් වන ආකාරයට පවත්වාගෙන යා හැකියි.
Q හැබැයි පර් යේෂණාගාර, ඔය ලේ පරීක්ෂණ වගේ දේවල් එහෙම කරන්න බෑ නේද?
පුළුවන්. ඇත්තටම දැන් මේ සඳහා ලොකු අනවශ්‍ය වියදමක් නේද යන්නේ. කොළඹ බලන්න. ළඟ ළඟ ඉස්පිරිතාල රුසක් තියෙනවා. පර් යේෂණාගාර ඒ හැම එකකම තියෙනවා. මේවායේ ඇතැම් තැනක අතිරික්ත සේවකයනුත් ඉන්නවා. මම කියන්නේ රෝහල් ආශ්‍රිතව තියෙන්න ඕනෑ සාම්පල් ගැනීමේ මධ්‍යස්ථාන කියලයි. මේ සියලු සාම්පල පරීක්ෂාවට පිළිගත් උසස් තත්ත්වයේ මධ්‍යම රසායනාගාරයක් පමණක් තිබීම සෑහෙනවා.
ලොකු සේවක පිරිසක්, ඔවුන්ට පඩිනඩි, යටිතල පහසුම්, හැමතැනටම යන්ත්‍ර සූත්‍ර, නඩත්තු වියදම්, රසායන ද්‍රව්‍ය තොග, මේවා අවශ්‍ය නෑ. තනි පර් යේෂණායතනයක් පවත්වාගෙන යාම මගින් මේ සඳහා යන අධික වියදම් පවා අඩුකර ගන්න පුළුවන්. වැඩෙත් කාර්යක්ෂමව කෙරෙයි. ඒ ගැන සනාථ කළ පිරිවැය අධ්‍යයන පවා තියෙනවා. ආණ්ඩුවේ රෝහල්වල දැන් ලේ පරීක්ෂාවකට යන වියදම තුන් ගුණයකින් අඩුකර ගන්න පුළුවන් කියලා ඒවා පෙන්වා දෙනවා. රිපෝට් පවා ඩිජිටල් ක්‍රමයට රෝහල් වෙත එසැණින් ලබා දිය හැකියි. දැන් Ai කෘත්‍රිම බුද්ධිය වගේ තාක්ෂණ විධි ඇවිල්ලා තියෙනවා. මේ දැනුම අපි යොදා ගත යුතුයි. ඉතින් මේවා දැන්වත් ක්‍රියාත්මක කළ යුතුයි, සේවය විනයගරුක සේවයක් ලෙස පවත්වාගන්න නම් කාර්යක්ෂම සහ පලදායී වෙන්න නම්. ඒ වගේ අලුත්වෙන ලෝකයත් එක්ක පලදායී ලෙස අපි අලුත් විය යුතුයි.
Q ඔබ කියන්නේ අපේ සෞඛ්‍ය සේවාව යල් පැන ඇති බවද?
මට කමක් නෑ මේවා මේ ක්‍රමයට තියාගත්තට. හැබැයි රෝහල් තියෙන්නේ සුළු සේවකයන් සඳහා නෙමෙයිනේ. රෝගීන් සඳහායි. රෝගීන් රෝහලට ආවාම ඔවුන්ට රජෙකුට වගේ නිසි ලෙස සලකන සේවා ලබා දෙන මට්ටමකටයි අපි යා යුත්තේ. රෝගියා රෝහලට ආවාම සුළු සේවකයන්ගෙන් බැණුම් අසන, ගෙම්බර් බලන්න වෙන තත්ත්වයක්නේ මේ තියෙන්නේ. මේවා අධ්‍යක්ෂවරුන්ටත් පාලනය කළ නොහැකි තත්ත්වයක්නේ දැන් උදාවෙලා තියෙන්නේ. දැන් මේ අය අධ්‍යක්ෂකවරුන්, පරිපාලනය වැනි දේ ගැන තීන්දු තීරකයන් බවටත් පත්වෙලා. නමුත් සේවය අන්තිමයි. මේ නිසා සේවකයා ප්‍රමුඛ කරගත් සෞඛ්‍ය සේවාවක් නෙමෙයි අපිට දැන් ඕනෑ, රෝගියා ප්‍රමුඛ කරගත් සෞඛ්‍ය සේවාවක්. මම මේ කතා කරන්නේ රෝගීන්ගේ පැත්තේ ඉඳලා. රෝගියාට රජෙකුට වගේ සලකන දියුණු මට්ටමේ සේවාවකුයි අපට අවශ්‍ය.
I සුගත් පී. කුලතුංගආරච්චි