2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

සොඳුරිය ඔබ නොකියාම ගියා...

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

බෙර සක් හඬ මැද පෝරු මස්තකයේ දෑඟිලි බඳින්නට ඇඟිලි ගනිමින් පෙරුම් පිරූ ඇයට ඒ සඳහා තිබුණේ තවත් මාස කිහිපයකි. මනාලියක සේ අලුතින් හැඩ වැඩ කරන්නට නොවන තරමේ රුවකින් පිරුණු ඈ සුරඟනක සමය. ගෙදරට මිණි පහනක් වූ ඈ නිවැසියන්ට සුදු මැණික වෙද්දී නුදුරු සවස් යාමෙක ඒ සුදු මැණිකගේ අතින් මංගල ඇරුයුම්පත ලැබෙනු ඇතැයි ඥාති හිතවතුන් නොඉවසිල්ලෙන් පසුවූවෝය.

ආදරණීය සැමියකු වන්නට සිහින දකිමින් මංගල දිනයේ සිය යුවතිය සරසන්නට මිලට ගත් වටිනා මංගල සාරිය පටලා දෙව්ලොවින් බට සුරලියක සේ ඈ දෑස පියාගෙනය. හැල හොල්මනක් නැතත් ඇගේ ආදරණීය පෙම්වතා චතුර හා මාපියන් වන බෝගමුව යුවළත් පසෙක කඳුළු සෝ සුසුම් මැදය. රුව ගුණ නුවණ හැදියාව එක සේ ලබා උපන් මේ සුදු මැණික යළි නොඑන ගමන් ගොසිනි. සැබැවින්ම සුදු මැණික ඒ ගමන ගියා නොව මාරාවේෂයෙන් ආ නොහික්මුණු රියැදුරකු විසින් සොරාගෙන යාමකි.

බෝගමුව යුවළගේ ආදරයට දෙවියන් විසින් ලබා දුන් වටිනාම ත්‍යාගය සුදු මැණිකය. ලක්මිණී චුලෝත්තමා බෝගමුව යන නම තබා මිල නොකළ මැණිකක් තරම් ආදරෙන් සුරැකි සුදු මැණිකට තිබූ අහිංසක ආසාවකි. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ චිත්‍රපටයක සුරංගනාවියකගේ චරිතයක් රඟපෑමය. තවද ජීවිතයේ අවසන කෙදිනක හෝ සිය ශරීර කොටස් දන් දෙන්නට ඇය ලොකු බලාපොරොත්තුවක සිටියාය. නමුත් සිදුවූ හදිසි අනතුරේ බරපතළකම අනුව ඇගේ මොළය අක්‍රීය වී ශරීර කොටස්වලට දැඩි ලෙස බලපා තිබිණ. වෛද්‍යවරුන්ගේ එම නිර්දේශය නිසා ආශාවෙන් පසු වුවද ඇගේ ශරීර කොටස් දන් දීමට අවස්ථාවක් නොවීය.

මේ සියල්ල දැන වේදනාව යටපත් කරගන්නට හඬන සුදු මැණිකගෙ අම්මා ''ලක්මිණී.. අපේ දුවේ අදින් පස්සෙ අපි කාටද සුදු මැණික කියන්නේ.... දුව නැති දවසක් අපිට තිබුණද? අපි දෙන්නගේ ජීවිතේ සුදු මැණිකනෙ... අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද? අපි කොහොමද දැන් දුව නැතුව ඉන්නේ...'' යැයි කියමින් විලාප නගන්නීය. 

මේ මළගමට පැමිණ අවසන් බුහුමන් දක්වන මොහොතේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා සංවේදී වෙමින් “ලක්මිණි දුව අපේ පවුලට හරි සමීපයි. මම බලාගෙන හිටියේ දවසක චන්ද්‍රසිරි එක්ක දුව ඇවිත් මට වෙඩින් කාඩ් එක දෙනකම්. මංගල පෝරුව ඉස්සරහ කරන්න හිතපු කතාව මට අද මේ සමනලියක් වගේ දුවගේ දේහය ඉදිරියේ කරන්න වෙලා. දෙවියො චන්ද්‍රසිරිට දුන්න දුව අරගෙන ගිහින්. දුවගෙ මංගල උත්සවයට මුදල් ගෙවලා හෝටලයකුත් වෙන් කරලා ඉවරයි. නැවත ඒ මුදල් දෙන්න ඔවුන් කාරුණික වෙයිදැයි අපි දන්නෙ නෑ. මට මේ දරුවගේ වියෝව දරාගන්න බෑ.'' යැයි තව තවත් දියණියගේ මතක හා බලාපොරොත්තු පිළිබඳව පැවසීය.

මේ අතර ආචාර්ය සෝමරත්න දිසානායක මහතා දේහය ඉදිරියේ කතා කරමින් ''දවසක් මගේ චිත්‍රපටයක දර්ශනයක් නරඹන්න මේ දියණිය ආවා. අනිත් අයත් එක්ක ෆොටෝ අරගෙන මාත් එක්කත් ෆොටෝ එකක් ගත්තා. මම එතකොට ඇය හරියට දැනගෙන හිටියේ නෑ. චන්ද්‍රසිරි කොච්චර හිතවත් වුණත් අද තමයි කීවේ දුව මගෙ චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් හිටියා කියලා. ඒ අවස්ථාව දෙන්න බැරිවීම ගැන මටත් හරිම කනගාටුයි.'' යැයි පැවසීය.

ලක්මිණී දහම් අධ්‍යාපනය ලබා තිබුණෙත් පසුව උගන්වා තිබුණෙත් තලවතුගොඩ ගනේලන්ද සිරි නන්දාරාම විහාරයේ ශ්‍රී ගැමුණු දහම් පාසලේය. නොබෝ කලකින් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි ලක්මිණී බෝගමුවගේ, පෙම්වතා වූ චාමර කලකට ඉහත හඳුනාගෙන තිබුණේ මේ පිං බිමේදීය. ඉගැන්වීම, නර්තනය, ගායනය ආදී නොයෙක් දක්ෂතාවලින් හෙබි ඇය විනෝදශීලීය. එවැනි ආදරණීය පෙම්වතියක් අහිමි වේදනාවෙන් පසුවන චාමර පසුගිය දිනවල විවාහ මංගල්‍ය වෙනුවෙන් වෙහෙසෙමින් සිටියේය. “එයා කොහේ හිටියත් ආදරෙන් මගේ දිහා බලාගෙන ඇති. මේ ආදරේ හැමදාමත් මගේ ළඟ තියෙනවා..'' යැයි කීවේ හැඩූ කඳුලෙනි.

සවිඳු ගුණවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ හතරවැනි වසරේ විද්‍යාර්ථීයෙකි. ඔහු පවසන්නේ මෙවැන්නකි.

''අපේ මිස් බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් හිටියේ. බොහොම ළෙන්ගතුව අධ්‍යාපනය ලබා දුන් ගුරුතුමියක්. ළඟදි අපේ ප්‍රදර්ශනයක් තිබුණා. ඒකෙදි ජාත්‍යන්තර සබඳතා ගැන මම ප්‍රසන්ටේෂන් එකක් කළා. මම අන්තිමට මිස්ගෙන් ඇහුවා මිස් මම හොඳට කළාද කියල. මිස් මට එකපාරටම කිව්වෙ ඔයා කියපු කිසිම දෙයක් මට තේරුණේ නෑ කියලා. මිස් ගොඩක් හිනා වුණා. එහෙම විහිළුත් මිස් කරනවා. පස්සේ මට මිස් කිව්වා ඔයා හොඳට කළා කියලා. ඒ වගේ ආදරණීය චරිතයක් අපේ මිස්.” 
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ලක්මිණී බෝගමුව පසුගිය 16 වැනිදා අවාසනාවන්ත රිය අනතුරකට ලක්වූවාය. ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරින් දින දෙකකට පසුව ඈ ජීවිතයෙන් සමු ගත්තාය. මියයන විට ඇය 27 වැනි වියේ පසු වූවාය. බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමග පදිංචිව සිටි ලක්මිණී බෝගමුව තලවතුගොඩ පාරේ වික්‍රමසිංහපුර හන්දියේ පදික මාරුව අසලින් මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී ලොරියක ගැටී සිදුවූ අනතුරකින් මියගිය බව තලංගම පොලිසිය වාර්තා කළේය. බත්තරමුල්ල පැලවත්ත දෙසින් තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටීමෙන් තරුණිය මාර්ගයේ ඇද වැටී ඇති බවත් පසුව ළඟම තිබූ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට සිටියදී මියගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් වාර්තා කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරයකු වූ මැයගේ පියා සිනමා හා වේදිකා නිර්මාණ ක්ෂේත්‍රයේ නම් දැරූ කැලණිය විශ්වවිද්‍යාලයේ රංග කලා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාය. 

2017 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යාව වූ ලක්මිණී කොළඹ විශ්වවිද්‍යාලයේ නර්තනයට ගායනයට වාදනයට අති දක්ෂ ශිෂ්‍යාවක වූවාය.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඈ කොළඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වූ අතර 2017 වර්ෂයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයේ දී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මගින් ලබා දුන් ශිෂ්‍යත්වය දිනා ගැනීමට සමත් වූවාය.
එකට ඉගෙනුම ලැබූ හිත මිතුරන්ගේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද නොමඳ ආදරය දිනාගත් ලක්මිණී බෝගමුව මෙනවිය දහසක් දේ රටට ලබා දීමට වෙහෙසෙමින් සිටියදී නොසිතූ මොහොතක මාරයාට පරාද වීම දැරිය නොහැකි පාඩුවකි. ඒ බව ඈ පිළිබඳ වන ගුණ කථන හා විවිධ අදහස් ඔස්සේ පෙනෙන්නට තිබේ. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තලවතුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ. ඇයට භව ගමන වැඩිදුර නොවේවා.. අමා මහ නිවන අත්වේවා.. යැයි අපි ප්‍රාර්ථනා කරමු.

I සමන්ත ප්‍රදීප් විල්තෙර