2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ඔන්න එනවා... මෙන්න එනවා... සංචාරකයෝ

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

ගෙවී ගිය වසර පහක පමණ කාලය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එතරම් යහපත් නොවූ බව අපි දනිමු. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ අනතුරුව පැමිණි ආර්ථික අර්බුදය මෙරට සංචාරක කර්මාන්තයේ බිඳවැටීමට හේතුව විය. එහෙත් මෑත කාලීනව තත්ත්වය වෙනස් වෙමින් තිබේ. එනිසාම සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් අපේක්ෂිත ඉලක්ක කරා ළංවීම අප සංවාදයට ලක් කළ යුතු මාතෘකාවකි. 

2024 වසරේ ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා කාලය තුළ මෙරට සමස්ත සංචාරක පැමිණීම තුන් ලක්ෂ හතළිස් හයදහස් නවසිය අසූ තුනක් (346,983) ලෙස සටහන් වීම සුවිශේෂී තත්ත්වයකි. 2023 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සමස්ත සංචාරක පැමිණීම සටහන්ව තිබුණේ දෙලක්ෂ දස දහස් හයසිය තිස් හතරක් (210,634) ලෙසය. ඒ අනුව පැහැදිලි ලෙසම ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස දෙක තුළ ලක්ෂ එකහමාරකට අධික සංචාරක පැමිණීමක් සටහන් වනු ඇත. මෙය ඉතාමත් සාධනීය තත්ත්වයකි.

කෙසේ වෙතත් මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගෙන් වැඩි පිරිස ඉන්දියානු සංචාරකයන් වීම සැලකිය යුතු තත්ත්වයකි. 2024 වසරේ පෙබරවාරි 18 වැනිදා දක්වා කාලය තුළ ඉන්දියානු සංචාරකයන් පනස් 53,000ක් පමණ පැමිණ තිබේ. ඉන්දියානු සංචාරකයන්ට අමතරව ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් පැමිණෙන්නේ රුසියානු සංචාරකයන්ය. ඉකුත් මාස දෙකක පමණ කාලය තුළ රුසියානු සංචාරකයන්ද පනස් දහසකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

මෙම තත්ත්වය මෙරට සංචාරක වෙළෙඳපොළේ යම් පරිවර්තනයක් බව සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් මෙම ඉන්දියානු සහ රුසියානු සංචාරකයන්, සංචාරක කර්මාන්තයෙන් වක්‍ර ආදායම් උපයන්නන් කෙරෙහි සාධනීය බලපෑමක් ඇති නොකරන බවට ඇතැම් පිරිස් චෝදනා කරති. මෙම පිරිස් අඩු වියදම් සංචාරකයන් ලෙස කටයුතු කරන අතර, ඔවුහු බොහෝ විට යුරෝපීය සංචාරකයන්ට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයන් කෙරෙහි සුහදශීලීත්වයක් නොදක්වති.

කෙසේ වෙතත් මේ පිළිබඳ ශ්‍රී ලංකා සංචාරක රියැදුරු මාර්ගෝපදේශක සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතා අප සමඟ සඳහන් කළේ මෙවන් අදහසකි.

“වැටිලා තිබුණු තත්ත්වයෙන් ගොඩ ආවා. කලින් සංචාරකයෝ එන්නෙම නැතුව තිබුණෙ. මම දන්න විදිහට මේ මාසෙ විතරක් ලක්ෂයකට අධික සංචාරකයෝ ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන තත්ත්වයෙන් මේක ගොඩගන්න පුළුවන්. මම කියන්නේ නැහැ දැන් එන සියලුම සංචාරකයන් අපේ මාර්කට් අය කියලා. 

ලෝ බජට් සංචාරකයෝ කියලා අපි ගැටලුවක් ඇතිකරගන්න නරකයි. අපි නොදන්නවාට ඒ අයගෙනුත් විශාල ආදායමක් රටට ලැබෙනවා. මේ සංචාරකයෝ අඩුවෙන් වියදම් කරන්නේ හෝටල් පහසුකම් ලබාගන්න විතරයි. රටේ අනෙක් අත්දැකීම් විඳින්න ඒ අය වියදම් කරනවා. ඇත්තටම මේ සංචාරකයෝ හෝටල් භාවිත කරන්නේ රූට නිදාගන්න විතරයි. ඒ නිසා එක කාමරයක් සඳහා ඔවුන් විශාල මුදලක් වියදම් කරන්න කැමැති නෑ."

ජයවීර මහතාගේ අදහසට අනුව මෙම නව පිබිදීමත් සමඟ කර්මාන්තය තුළද යාවත්කාලීන වීම් සිදුවිය යුතුය. විශේෂයෙන්ම කර්මාන්තයට අලුතින් සම්බන්ධ වන සංචාරක මාර්ග උපදේශකයන් දැනුවත් කිරීම සහ හික්මවීම අතිශය වැදගත් වේ. ඇතැම් තැනක වාර්තා වන සිදුවීම්වලට හේතු වී ඇත්තේ හික්මීමකින් තොරව කර්මාන්තයට අලුතින් ඇතුළු වූ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයයි. එම නිසාම සංචාරක මාර්ගෝපදේශනය සම්බන්ධ යහපත් කාලීන වැඩසටහන් නිර්මාණය කිරීමට මේ මොහොතේ සිදුවිය යුත්තකි.

සංචාරක හෝටල් හිමියන් සේම සේවකයන්ද ඉකුත් සමයේ බොහෝ පීඩාවට පත් වූ බව අපි දනිමු. එම නිසාම සංචාරක කර්මාන්තයේ මෙම නව පිබිදීමත් සමඟ ඔවුන්ගේ ද අදහස් විමසා බැලීම සුදුසුය. ඒ නිසාවෙන්ම අපි සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති, ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහතා සම්බන්ධ කර ගතිමු.

“සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් තියෙනවා. අපිට නව සංචාරක වෙළෙඳපොළවල් නිර්මාණය වෙලා තියෙනවා. ඉන්දියාව, රුසියාව, ඊශ්‍රායලය වගේ රටවලින් සංචාරකයෝ පැමිණීම ඉතාම හොඳ තත්ත්වයක්. ඉස්සර ලංකාවට සංචාරයෝ වැඩිපුර පැමිණීම සිද්ධ වුණේ බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් වලින්. මේ කාලේ මාර්කට් එක පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා, ලංකාවේ පහුගිය කාලෙ හැදුණු ප්‍රතිරෑපයත් එක්ක. නැවත ඒ රටවලින් සංචාරකයෝ ගෙන්න ගන්න අපි උනන්දු වෙන්න ඕනෑ."

උක්වත්ත මහතා පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තයේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් වර්තමානයේ පවතින අධික වියදම් හේතුවෙන් අපේක්ෂිත ලාබ කර්මාන්තකරුවන් වෙත නොලැබෙන බව ඔහු සඳහන් කරයි. මෙම තත්ත්වය පිළිබඳ රාජ්‍ය ආයතන කිහිපයක් වෙතම සංචාරක හෝටල් වෙතින් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

“දැන් කොළඹ ලොකු හෝටලයක මාසික විදුලි බිල සාමාන්‍යයෙන් ලක්ෂ 400ක් විතර වෙනවා. අපිට දැන් විශාලම පිරිවැයක් දරන්න වෙලා තියෙන්නේ ඒ වෙනුවෙන්. අපේ පිරිවැය වැඩි කරගන්න ගමන්, රජයේ ආදායම වැඩි කර ගන්නත් පුළුවන් යෝජනා කිහිපයක් අපි ඉදිරිපත් කළා. සූර්ය පැනල සවි කරන්න අපේ හෝටල්වල ඉඩ පහසුකම් මදි. ඒ නිසා වෙනත් ප්‍රදේශවල ඉඩම්වල අපි සූර්ය පැනල ව්‍යාපෘති සකස් කරලා, ජාතික පද්ධතියට විදුලිය සපයන්න සූදානම්. ඊට සාපේක්ෂව අපේ විදුලි බිල්පත්වල මිල අඩු කරන්න කියලා තමා ඉල්ලා තියෙන්නෙ." 

සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇති පසුබිමක, කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ද සංවර්ධනය විය යුතු බව මෑත කාලීනව අප සමඟ තොරතුරු බෙදාගත් පාර්ශ්ව රුසක්ම සඳහන් කළහ. මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු අප විමසා බැලුවේ ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයකු වන කනිෂ්ක සංජීව ලොකුආරච්චි මහතාගෙනි.

“මේ දවස්වල ඉතාම හොඳ සංචාරක පැමිණීමක් තියෙනවා. අපිට කරගන්න බැරි තරම් වැඩ එනවා. ඇත්තටම මේක හොඳ තත්ත්වයක්. ඒත් සංචාරක කර්මාන්තයේ මේ දියුණුව සංචාරක පැමිණීම මතම තීරණය වෙන්නේ නෑ. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකමුත් සංවර්ධනය වෙන්න ඕනෑ. 

සීගිරිය වගේ සංචාරක ආකර්ෂණය දිනාගත්ත ගොඩක් ස්ථාන ලංකාවේ තියෙනවා. එම ස්ථානවලින් බහුතරයක සංචාරකයන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම්වත් නැහැ. සමහරක් තැන්වල පහසුකම් තිබුණත් ඒවා සංචාරකයන්ට අවශ්‍ය ප්‍රමිතියෙන් නඩත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ විශාල වශයෙන් සංචාරකයෝ ගමන් කරන නුවර, ඇල්ල වගේ ප්‍රදේශවලට යන ප්‍රධාන පාරවල සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් තියෙන ස්ථාන ඇති කරන්න ඕනෑ කියලා අපි මේ වන විටත් යෝජනා කරලා තියෙනවා."

කනිෂ්ක සංජීව මහතා පෙන්වා දෙන ආකාරයට සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය විය යුතුය. ඇල්ල ආශ්‍රිත දුම්රිය ගමන් වාර ප්‍රමාණයද වැඩි කරගත යුතු බවත්, දුම්රිය පහසුකම් ද තවදුරටත් සංවර්ධනය විය යුතු බවත් ඔහු අප සමඟ පවසා සිටියේය.

සැබැවින්ම සංචාරක කර්මාන්තයේ පැහැදිලි වර්ධනය අභිමුව, නිවැරදි කරගත යුතු බොහෝ දෑ ඇති බව අපි සිහිපත් කර සිටිමු. සියල්ල කී ලෙස සිදු නොවන නමුත්, මේ උත්සාහ කිරීමට කදිම කාලය බව කිව යුතුය.

I චමිඳු නිසල්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03