ඉන්දියාවේ කිරි නිෂ්පාදනය ජාත්‍යන්තර අවධානයට පත් ව්‍යාපාරයකි. බහුජාතික සමාගමක ස්වරෑපයට හාත්පසින්ම වෙනස් ලක්ෂණවලින් සමන්විත වන අතර ලක්ෂ සංඛ්‍යාත ගොවීහු එහි කොටස්කරුවෝ වෙති. මෙම කොටස්කරුවන්ගේ එකමුතුවෙන් අමූල් සමාගම පිහිටුවා තිබේ. සමාගමට අනුබද්ධිත කිරි සමූපකාර සමිති දහස් ගණනක් ඉන්දියාව පුරා ස්ථාපිත කර ඇති අතර කිරි දෙනුන්ගෙන් දොවාගන්නා කිරි අදාළ සමූපකාර සමිතිවලින් එකතු කර ප්‍රධාන කම්හල් වෙත යැවේ. දියර කිරි වශයෙන් ඉන්දියාව පුරා බෙදාහැරෙන දැවැන්ත ජාලයකින් අමූල් ව්‍යාපාරය පොහොසත්ය. තවත් කොටසක් යෝගට්, බටර්, චීස් ඇතුළු අතුරු නිෂ්පාදනවලට යෙදවේ. අමූල් නිපැයුම් අපනයනයෙන් ඉන්දියානු ආර්ථිකයට විශාල ආදායමක් ලැබේ. ඉන්දියාවේ ක්ෂීර විප්ලවයේ ප්‍රධානී අමූල් සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නට සූදානම් බව ප්‍රකාශ වේ.
අමූල් සමාගම නැවතත් ආයෝජනය කිරීමට එකඟවීම පිටුපස වෙනස් කතාන්දරයක් ද ඇත. 1998 වසරේ දී ඉන්දියාවේ අමූල් සමාගම කොළඹට පැමිණ ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සක අයෝජනයක් කළේය. මිල්කෝ සමාගමේ කොටස්වලින් සියයට හතළිස් නවයක් මිල දී ගත් අතර කිරිවලින් පොහොසත් කරන යෝජනා ඉදිරිපත් කළේය. වසර දෙකකට පසු ඉන්දියන් සමාගම රට හැර ගිය අතර දිගින් දිගටම පැවැති වර්ජන හා විරෝධතා එයට හේතු වී තිබුණි.
I පෞද්ගලික ව්‍යවසායයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරියුමෙන් ඉන්දීය අමූල් සමාගමේ විශේෂ නියෝජිත පිරිසක් අවස්ථා දෙකක දී මෙරටට පැමිණියහ. ශ්‍රී ලංකා ජනාධිපති හා ඉන්දීය විදේශ ලේකම් වන එස්. ජෙයශංකර් මහතා අතර සාකච්ඡා 2023 වසරේ අග භාගයේ සිදුවූ මෙම සංචාරවලට පසුබිම සකස්ව තිබුණි. දෙරට අතර පශූ සම්පත් හා ධීවර අමාත්‍යංශ අතර මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු පැමිණි මෙම නියෝජිතයෝ ඉන්දියාවේ ජාතික පශූ සම්පත් මණ්ඩලය, ගුජරාට් කිරි අලෙවි ප්‍රවර්ධන සමාගම හා ශ්‍රී ලංකාවේ කාර්ගීල්ස් පෞද්ගලික සමාගම සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයකට සූදානම් වී සිටිති. අමූල් හා මිල්කෝ යන ඉන්දියාවේ සමූපකාර ව්‍යාපාරය හා ශ්‍රී ලංකා රජයට අයත්ව තිබුණු සමාගම සමඟ කටයුතු අසාර්ථක වීමෙන් පාඩමක් ඉගෙන ගන්නට ඇති අතර පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීමට එකඟවීම එහි ප්‍රතිඵලයක් බව සැකයක් නැත.
කාර්ගීල්ස් සමාගම සිය කොටස් හිමියන්ට කරුණු දක්වන නිවේදනය අනුව මෙම ව්‍යාපාරය ආරම්භ වන බව නිල වශයෙන් අනාවරණය වී තිබුණු අතර ශ්‍රී ලංකාවේ කිරි ගොවියන් ලක්ෂ දෙකක් මෙම ජාලගත නිෂ්පාදන ක්‍රියාදාමයට සම්බන්ධ වනු ඇතැයි සැලකේ.
අමූල් සමාගම හා මිල්කෝ ආයතනය සම්බන්ධ වීමෙන් ස්ථාපිත කරන ලද කිරියා සමාගම මුහුණ පෑ අභියෝගවලට සමාන තත්ත්වයකට මෙම අලුත් ව්‍යාපාරය ද බිලිවනු ඇති බවට සැක ඇතිකර ගැනීම සුදුසු නැත. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධය පුළුල් වෙමින් පවතින අතර ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ඉන්දියානු ක්‍රමවේද ගැන මනා අත්දැකීම් සහිත බව පෙන්වා දිය යුතුය.
I ඉන්දීය නිදහස් සටනේ කොටස්කරුවෝ
අමූල් කිරි සමූපකාරය ඉන්දියාවේ නිදහස් සටනට ද සම්බන්ධය. නිදහස පතා අරගලයක් ගෙන ගිය නායකයෝ දුප්පත් ජනතාව වෙනුවෙන් ද සැලසුම් සකස් කළහ. කර්මාන්ත, ව්‍යාපාර හා ගොවිපොළ ඒ අතර වේ. නිදහස් සටන් පෙරමුණේ සිටි සර්දාර් පටෙල් ගොවියන්ගේ සත්ත්ව පාලන කටයුතුවල අසංවිධිත ස්වභාවය සලකා කුඩා සමූපකාර ව්‍යාපෘතියක් වශයෙන් එය ආරම්භ වන්නේ 1946 අවුරුද්දේය. ක්‍රමයෙන් වැඩුණු අමූල් කිරි සමූපකාරය අද ලෝකය පුරා විහි දී ඇත. ලක්ෂ තුන්සියයකට වැඩි පිරිසක් සමූපකාරයේ සාමාජිකයෝ වශයෙන් සත්ත්ව පාලනයෙහි නිරත වෙති. අමූල් කිරි ගොවි සමූපකාර සමිති දහ හතර දහසක් අද ඉන්දියාවේ ඇත. කිරි සමූපකාර සමිති ඉන්දියාවේ ප්‍රාන්ත මට්ටමින් ව්‍යාපෘති ආරම්භ කර තිබේ. කිරි දෙනුන් පමණක් නොව එළුවන්, කිකිළියන් හා වෙනත් සතුන් ඇති කරන මෙම ව්‍යාපෘති ඉන්දියාවේ සත්ත්ව නිෂ්පාදන අංශය ශක්තිමත් කර තිබේ. අමූල් කිරි සමූපකාර සමිතිවල සාමාජිකයෝ සාමාන්‍ය ගොවීහු වෙති. ඔවුන්ට දෙනුන් මහා පරිමාණයෙන් නැත. දෙතුන් දෙනකු නඩත්තු කරන නමුත් කිරි සමිතියට දිනපතා දියර කිරි සපයයි.
සංස්කෘත වචනයක් වූ අමූල් හි අරුත මිලක් නැත යන්නයි. මිලක් නැතිව තිබුණු ඉන්දියාවේ කිරි ව්‍යාපාරය අද දෙවැනි වන්නේ ඇමෙරිකාවේ කිරි නිපැයුමට පමණකි. මෙම සැලැස්ම ඉදිරියේ ඉන්දියාවේ ඒක පුද්ගල කිරි පරිභෝජනය ද 1973 දී ග්‍රෑම් 111 ක සිට 2000 වන විට ග්‍රෑම් 222 තෙක් වැඩි වී ඇත.
1977 අවුරුද්දේ ග්‍රෑම් 400 ක කිරි පැකැට්ටුවක් රුපියල් හයකි. පිටිකිරිවලට එපමණ හුරුව නොසිටි බව ද සඳහන් කළ යුතුය. අනූ ගණන්වල තත්ත්වය වෙනස් වූ අතර අද වන විට එය ආනයනය, වෙළෙඳාම හා ජනතාව අතර ප්‍රචලිත කිරීම දැවැන්ත කර්මාන්තයකි. වර්තමානයේ ග්‍රෑම් 400 ක වියළි කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් දහස ඉක්මවා ඇත. ශ්‍රී ලංකාවේ කිරිපිටි වෙළෙඳාමේ විප්ලවය එසේය. රටට අවශ්‍ය කිරි ප්‍රමාණය මෙහිම නිපදවා ගැනීම අපහසු නොවේ. එයට අවශ්‍ය දර්ශනයකි. වැඩපිළිවෙළකි. ශක්තිමත් නායකත්වයකි.
I කිරි නිපැයුම සඳහා ගෙන ගිය වැඩසටහන්
එළකිරි හා මී කිරි නිපදවන ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ක්‍රමවේදයක් තිබුණි. කාලගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන නිදැල්ලේ හැසිරෙන ගවයන්ගෙන් සීමිත කිරි ප්‍රමාණයක් ලබාගත හැකි විය. ජනගහන වර්ධනය සමඟ කිරි අවශ්‍යතාව ඉහළ ගියේය. දේශීය දියර කිරි වෙනුවට පිටිකිරි ආනයනය කළේය. 2021 වසරේ දි ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ කිරි ආනයනයට වැය කර ඇත. රටට අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට හැටක් පිටරටින් ගෙන්වයි. අවස්ථා ගණනාවක දී කිරි දේශීයව ප්‍රවර්ධනයට වෑයම් කර ඇත.
මෙරට ඉතිහාසයේ ප්‍රකට පැරකුම් කිරි කම්හල ස්ථාපිත කරන ලද්දේ 1968 අවුරුද්දේය. නවසීලන්ත රජය එයට ආධාර කළේය. කිරි ලීටර් හතළිස් දහසක නිපැයුම් ධාරිතාවක් ඇතිව ගෙන ගිය කම්හල නිසි ලෙස පවත්වාගෙන යන්නට අසමත් වූ අවස්ථාවේ එය 1979 දී නෙස්ලේ සමාගමට පැවරීය. අද එහි නිපදවන ධාරිතාව හරි අඩකින් අඩුවී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ආවේණික ගවයන් බෝ කර කිරි නිපදවන සැලැස්මක් සඳහා ණය පහසුකම් සපයමින් සිටියේය. තෝරාගත් ප්‍රදේශවල ගොවීන් දිරිගැන්වීය. පසුව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවලින් උසස් තත්ත්වයේ දෙනුන් ආනයනය කර ගොවීන්ට සැපයීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ දේශගුණයට හා ආහාර රටාවට නුහුරු මෙම දෙමුහුන් දෙනුන්ගෙන් අපේක්ෂිත කිරි ප්‍රමාණය නොලැබුණු අතර සතුන්ට බෝවූ රෝග හේතුවෙන් සැලකිය යුතු හානියක් සිදුවිය. කිරි ගොවීහු ණයගැතියෝ බවට පත් වූහ. ඉන්දියාව ගෙන ගිය සාර්ථක වැඩපිළිවෙළ හේතු කොටගෙන අවශ්‍ය කිරි නිපැයුමෙන් සියයට විසි පහක් පමණක් නිපදවා ගන්නට 1982 දී සමත් වූ ඉන්දියාව එදා කිරි ආනයනයට පිටරට යැවූ මුදල මෙන් තුන් ගුණයක ආදායමක් අද කිරිපිටි හා අතුරු නිෂ්පාදන අපනයනයෙන් උපයයි. කුඩා ගොවි සමූපකාරයකට කළ හැකි වූ පෙරුළිය එයයි.
I කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය
අමූල් සමාගම සමඟ සැලැස්මක් අනුව සත්ත්ව පාලන කටයුතු ආරම්භ කළහොත් කිරි නිෂ්පාදනය වැඩිදියුණු කළ හැක. නවසීලන්තය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති වාර්තාවක් අනුව ප්‍රමාණවත් තෘණ භූමි අහිමිවීම මෙරට කිරි නිපැයුම දියුණු කිරීමට බාධාවකි. ඉඩම් ප්‍රශ්න එයට හේතු වී තිබේ. ගොවියන් සතු ඉඩම කුඩා එකක් වන අතර සතුන් නඩත්තු කරමින් දෛනික ආදායම සඳහා ප්‍රමාණවත් නොවේ. කිරි ගොවියන් ලක්ෂ දෙකක් රට තුළින් සොයා ගැනීම පහසු නැති බව මෙයින් පැහැදිලි වේ.
ගොවියන් අලුතින් හඳුනාගැනීම සහ ඔවුන් රටාවකට හුරුකර නඩත්තු කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ තරුණ පිරිස කෘෂිකර්මයෙන් බැහැර වෙනත් සැප පහසු වෘත්තීය අවස්ථා සොයන පසුබිමක සත්ත්ව පාලනය ඇතුළු අංශවලට ශ්‍රම හිඟය තවත් බරපතළ ප්‍රශ්නයකි. වී ගොවිතැන පවා යන්ත්‍ර සූත්‍රවලට යෙදවෙන කාලයක සත්ත්ව පාලනය හුදෙක් කිරි නිෂ්පාදනය හා මස් සඳහා විය යුතුය. සත්ත්ව පාලනයෙහි නිරත ගොවියන් මුහුණ දී ඇති ගැටලු ගැන ප්‍රතිපත්ති තීරණ ගත යුතු වේ. සත්ත්ව ආහාර, ගොවිපොළ නඩත්තුවේදී අවශ්‍ය වන විදුලිය හා ජලය යන සම්පත් සඳහා වැය කරන්නට සිදුවන ආයෝජන සලකා බැලීමෙන් පසු විශේෂ සහන මාලාවකින් හැර රටට කිරි නිපදවන පුළුල් සැලැස්ම පහසු ව්‍යාපෘතියක් නොවන බව ද සඳහන් කළ යුතු වේ.
I සාරා කන්දෙගොඩ