2024 මාර්තු 02 වන සෙනසුරාදා

පාසල්වලින් ගලවන ජීවත්ව සිටින දේශපාලකයන්ගේ නම්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

දේශපාලකයන්ගේ නම්වලින් බෝඩ් ගැසූ පාසල් අපේ රටට අලුත් දෙයක් නොවේ. එසේම බස් නැවතුමක් සෝදා පිරිසුදු කර හෝ එහි නම ගසා ගන්නා දේශපාලකයන්ද අපේ රටේ නොසිටිනවාම නොවේ. විදුහලක නාමය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛ, උපදේශ සංග්‍රහ මගින් පෙන්වා දී තිබේ. 1981 දී අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළ ව්‍යුහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයට අනුව පාසලක නාමය ජාතික ආගමික සංස්කෘතික හා ‌ඓතිහාසික පසුබිම පෙන්නුම් කරන්නක් විය යුතු බවත් එය උච්චාරණයට පහසු විය යුතු බවත් සඳහන්ය. පවත්නා නාමය වෙනස් කරන්නේ නම් ඒ සඳහා පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන්ගෙන් සියයට 75 කට වැඩි පිරිසකගේ කැමැත්ත අත්‍යවශ්‍ය බවත් එහි සඳහන්ය. එසේම විදුහල් නාමය සඳහා ජීවත්ව සිටින පුද්ගලයකුගේ නමක් යොදා නොගත යුතු බව පැහැදිලිව සඳහන් කර ඇත. 

ජීවත් වී සිටින දේශපාලකයන්ගේ නම්වලින් පාසල් හැඳින්විය නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් මගින් තහනම් කර ඇත්තේද 1996 වසරේදීය. ඒ චක්‍රලේඛය උල්ලංඝණය කර ඇත්තේ අමු අමුවේමය. 1935 දී ආරම්භ කළ කුණ්ඩසාල එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රාථමිකය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය ලෙස නම් කෙරෙනුයේ 2012 දීය. 

එසේම මධ්‍යම පළාත් හිටපු මහ ඇමැතිවරයකු වූ සරත් ඒකනායකගේ නමින් හසලක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ අලවතුගොඩ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය නම් කර ඇත. ඒ අදක ඊයෙක නොවේ.‍ මෙම පාසල මුළු ලොවම දැනගත්තේ 2017 වසරේදී ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ තැබූ ගිනස් වාර්තාවෙනි. මීටර 3200 ක දිගින් යුත් ඔසරි පොට දිගහැරුණේ කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසුවියන් සිය ගණනකගේ දෑත්වලිනි. ඔසරි පොටේ කතා වස්තුවේ කතා නායකයා හැටියට නම් දැරුවේද එකල මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකමය. පාර දිගේ අව්වේ ඔසරි පොටක් අල්ලාගෙන සිටින්නට සිසුවියන් යෙදවීමට එදා පළාතේ අධ්‍යාපන ලොක්කන් දෙවරක් නොසිතන්නට ඇත්තේද දේශපාලන බලය නිසා වන්නට ඇත.   

මෙරට හිටපු ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු වූ මහින්ද රාජපක්ෂ නමින් හෝමාගම සහ මාතර පාසල් දෙකක් නම් කර තිබේ. 

“චක්‍රලේඛවල පැහැදිලිව කියා තියෙනවා ජීවත්වෙලා ඉන්න අයගේ නම් පාසල්වලට දාන්න බෑ කියලා. ඒකට හේතුව ජීවත්වෙලා ඉන්න අය කුමක් හෝ වරදක් කළහොත් දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද? ඒක ප්‍රශ්නයක්. එහෙම තියෙද්දි තමා කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය කියලා දාලා තියෙන්නේ. ඒ වගේම හසලක සරත් ඒකනායක විද්‍යාලයත් එහෙමයි. කුණ්ඩසාල බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය 1935 ආරම්භ කරපු පාසලක්. කෙහෙළියගෙ නම දාලා තියෙන්නේ 2012. රට පුරා තියෙනවා මහින්ද රාජපක්ෂ විද්‍යාල. ඒක කළේ බන්දුල ගුණවර්ධන. ඒ කාලෙ ඉඳන් ගුරු සංගම් විරෝධය පළ කළා මේ වැඩේට‍. මේවා වැරදි ආදර්ශ. මේවා තවදුරටත් වෙනස් නොවුණොත් අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. දේශපාලකයන් තමන්ගෙ නම පවත්වාගෙන යන්න ඕනෑ යහපත් ජීවනයක් සහ සමාජ සේවයක් කරල ජනතා සේවකයෙක් විදිහට. පාසල්වල විතරක් නෙමේ බස් නැවතුම්පොළ කොච්චර තියෙනවාද? පළාත් සභා සල්ලිවලින් හදලා තමන්ගෙ නම දාගන්නවා. මේවා වැරදි ආදර්ශ.”
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා කියුවේ එහෙමය.  

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර 1996 වසරේ නිකුත් කළ චක්‍රලේඛය අධ්‍යයනය කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ප්‍රමුඛ සාකච්ඡාවක් ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්වෙන බවත් එම සාකච්ඡාවෙන් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹිය හැකි බවත් ලලිත් යූ.ගමගේ මහතා පැවසුවේය. 

හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන ඇමැතිවරයකු වූ රිචඩ් පතිරණ මහතාගේ සේවය අගයමින් ඔහු ජීවත්ව සිටියදී ගාල්ල උළුවිටිකේ නවෝද්‍යා පාසලක් ලෙස ඇරුඹි විද්‍යාලය 1996 දී ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලය ලෙස නම් කරනු ලැබීය. 

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක බාල බෙහෙත් මෙරටට ගෙන්වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චූදිත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අවස්ථාවක අධ්‍යාපන බලධාරීන් ඔහුගේ නම පාසලකට යොදා මෙරට දරු පරපුරට ලබා දෙන ආදර්ශය කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරති. 

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසූයේ ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බවයි.  
පාසල් ආදි ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම අනුව පසුගිය කාලයේදී දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ජීවත්ව සිටියදී පාසල්වලට නම් යොදා තිබෙන බවත් මින් ඉදිරියට ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් පාසල්වලට නොයොදන බවත් සඳහා ඉදිරියේදී අවශ්‍ය නීති ගෙන එන බවත්‍ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. එසේම දේශපාලනඥයන් පාසල්වලට ගොස් ආධාර ලබා දෙන මුවාවෙන් සිදු කරන දේශපාලන කතා නතර කිරීමටද පියවර ගන්නා බවද ප්‍රේම්ජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය. 

I සසංක චලන ගිම්හාන