රටේ ආර්ථිකය බිඳවැටී තිබෙන කාලයක ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය එක්වරම විශාල ප්‍රමාණයකින් ස්වකීය වැටුප් තල ඉහළ නංවාගෙන තිබීම පසුගිය සතියේ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ කරුණක් විය. රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් සහ අසාධාරණ බදුවලට ලක් කරමින් තිබීම හේතුවෙන් ඔවුන් ජීවත්වීමේ විශාල ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව රහසක් නොවේ. ලබන වැටුපට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබියදී තෝරාගත් එක් කොටසකට හෝ දෙකකට පමණක් මෙලෙස සහන සැලසීම නිසා අනෙක් බහුතරයත් සේවකයන් අතෘප්තිමත්භාවයට පත්ව නිසි පරිදි රාජකාරිවල නිරත නොවන විට එය රටේ නිෂ්පාදන ආර්ථිකය උඩු යටිකුරු කිරීමට හේතු වන බව අරුමයක් නොවේ. මෙහිදී එක් කණ්ඩායමකට පමණක් විශේෂ වරප්‍රසාද සැලසීම නිසා සමස්ත රාජ්‍ය සේවයේ සමානාත්මතාවය පිළිබඳ විශාල ගැටලුවක් උද්ගතවීමට අද පවතින වාතාවරණය හේතු වී තිබේ.
එවැනි වාතාවරණයක පසුගිය සතියේ වාර්තා වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් සියල්ලටම පාහේ විශාල ලෙස වැටුප් සහ දීමනා වැඩි කරගෙන ඇති බවය. මාණ්ඩලික සේවා නිලධාරීන්ගේ වැටුප රුපියල් ලක්ෂ 7-8 කින් වැඩි කරගෙන ඇති අතර මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායකයකුගේ වැටුප පවා රුපියල් 1,75,000 ඉක්මවා යන පරිදි වැඩි කරගෙන ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ සුවිශේෂ පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල වැඩි වී ඇති අතර බැංකුව සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් බවට පත්කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහ බැංකුවේ තීන්දු තීරණවලට මුදල් අමාත්‍යාංශයට හෝ පාර්ලිමේන්තුවට පවා සීමා පැනවිය නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මෙලෙස මහ බැංකුවට විශාල බලතල ලබා දුන්නේ එයින් රටේ ආර්ථිකය ගොඩනැංවීමට තීන්දු තීරණ ගැනීමට පහසු වනු පිණිසය. එහෙත් අභාග්‍යයකි. ඒ සියලු වගකීම් පසෙකලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මුලින්ම කළේ ස්වකීය කාර්ය මණ්ඩලයේ වැටුප විශාල ලෙස ඉහළ නංවා ගැනීමය. පුදනකොටම කාපි යකා කීවා මෙන් කිසිවකුටවත් හා හූවක් කියන්නට ඉඩ නොදී හදිසියේ ගත් මෙම තීරණය නිසා සමස්ත වැඩ කරන ජනතාවම ගල් ගැසී බලා සිටිති.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන් එපා කියද්දී මෙම වැටුප් වැඩිවීම කරගෙන ඇති බවය. මේ තත්ත්වය පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන විට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඇතුළු නිලධාරින් පාර්ලිමේන්තුවට කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කළ යුතු බවය. ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ද මේ ගැන පැහැදිලි කිරීමට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ඉල්ලා සිටි බවද වාර්තා විය. කෙසේ වුවද මෙම වැටුප් වැඩිවීම ආණ්ඩුව නොදැන කළ හැක්කක් නොවන බවට සැක පහළ වී ඇත. වෘත්තියවේදීන්ට වැටුප් ඉහළ නංවා ගන්නා බව පවසමින් කාර්යාල කාර්ය සහායකයන්ට පවා වැටුප් ඉහළ නංවා ගැනීම නිවැරදිද යන තර්කය මතු වී ඇත.
මේ අතර මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඉල්ලීමක් යොමුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එම ඉල්ලීම මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා වෙත පසුගිය 22දා යොමුකර ඇති බවද නිවේදනය කෙරේ. මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ඇතැම් මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් ගැන මහ බැංකුවේ අවධානය යොමුව ඇති අතර ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට සූදානම්ව සිටින බවද මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ වැටුප් සංශෝධනය සිදු නොවුණා නම් මහ බැංකු නිලධාරීන්ගෙන් සෑහෙන කොටසක් මේ වන විට මහ බැංකුව මෙන්ම රට ද අතහැර යාමේ ප්‍රවණතාවක් උද්ගතව තිබූ බවය. එසේ සිදුවූවා නම් එයින් මහ බැංකු කටයුතු අඩාල වනු ඇති බවද කියයි. පසුගිය වසරේ 100 කට අධික සංඛ්‍යාවක් බැංකුව අතහැර ගොස් ඇති අතර ඔවුන්ගෙන් ඇතැම් අය ලෝක බැංකුව හා ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයකට සම්බන්ධ වී ඇති බවද එම නිවේදනයෙන් කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුව එහි ආරම්භයේ සිටම ස්වාධීන ආයතනයක් බව පෙන්වා දෙමින් ඒ අනුව පෙර පැවැති මහ බැංකු මුදල් මණ්ඩලයට මෙන්ම වර්තමාන පාලක මණ්ඩලයට ද මහ බැංකු පරිපාලනයට අදාළ තීරණ ගැනීමට අවශ්‍ය ස්වාධීනත්වය පවරා දී ඇත්තේ තර්කානුකූල පදනමක් මතය. මෙම පරිපාලන ස්වාධීනත්වය ලොව සෙසු මහ බැංකුවලටද එසේම පවතින බව නිවේදනයෙන් කියැවේ.
රාජ්‍ය විධායක නිලධාරී වැටුප
මහ බැංකු පියන්ගේ වැටුපටත් අඩුයි
රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති ඒ.එච්.එල්. උදයසිරි පවසන්නේ තම සංවිධානය ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරින් අත්තනෝමතික ලෙස විශාල වශයෙන් තම වැටුප වැඩිකර ගැනීම පිළිබඳ විරෝධය පාන බවය.
''අප සංවිධානය සමන්විත වන්නේ දීපව්‍යාප්ත සේවාවල සහ දෙපාර්තමේන්තුගත සේවාවල විධායක නිලධාරින්ගෙනුයි. සමස්ත රාජ්‍ය අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල යාන්ත්‍රණය කළමනාකරණය කරනුයේ අපියි. සේවා 18ක නිලධාරින්ගෙන් මෙම කමිටුව සමන්විත වෙනවා. මෙම සේවාවලට පසුගිය වසර 06ක කාලයක් තිස්සේ උද්ගතව ඇති වැටුප් විෂමතාව තවම වෙනස් කිරීමට නොහැකි වී තිබෙනවා. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශ නිලධාරින්, රාජ්‍ය පරිපාලන ලේකම් ආදී උසස් නිලධාරින් සමඟ සාකච්ඡා කළා. ඒ අය අපේ ගැටලුව පිළිගත්තත් රජයේ මුදල් තත්ත්වය අයහපත් නිසා එය යහපත් වූ විට විසඳුම් දෙන බව පැවසුවා.
එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? මුදල් අහේනියක් තියෙන රටේ මහ බැංකුවේ සියලුම නිලධාරින් විශාල ලෙස වැටුප් වැඩිකර ගත්තා. රාජ්‍ය විධායක නිලධාරින් වන අප අද ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායකයකු ගන්නා වැටුපටත් වඩා අඩු වැටුපක්. එය බරපතළ විෂමතාවක්. 2021 වසරෙන් පසුව ආර්ථික අර්බුදය උග්‍ර වී උද්ධමනය සියයට 85ට නැගලා මිල මට්ටම තුන් ගුණයකින් ඉහළ ගියා. උද්ධමනය නිසා අපේ වැටුප සියයට 85 කින් අවප්‍රමාණ වී තිබෙනවා. රට මේ තත්ත්වයට පත්වූයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ගත් අමනෝඥ තීරණ නිසයි. මහ බැංකු නිලධාරීන් සියයට 30 සිට 80 දක්වා වැටුප් වැඩි කරගෙන තියෙනවා. රටේ ආර්ථිකය නගා සිටුවීමට විශාල කාර්යභාරයක් ඉටු කරන රජයේ විධායක නිලධාරීන් නොසලකා හැර ඔවුන් ගත් මේ අත්තනෝමතික ක්‍රියාව ගැන අප දැඩිව විරෝධය දක්වනවා. මේ වැටුප් වැඩිකර ගැනීම මහ බැංකුව මහා භාණ්ඩාගාරය සමඟ එකඟතාවයකින් කළ දෙයක් බව අපේ විශ්වාසයයි. මුදල් අමාත්‍යංශය මෙය කල් තියා දැනගෙන සිටිය යුතුයි. රටේ මූල්‍ය තත්ත්වය දැන් යහපත් වෙලා තිබෙන නිසා අපටත් යුක්තිය ඉටු කරන ලෙස තරයේ ඉල්ලා සිටිනවා.''
මෙහෙම වැඩි කරන්න සාමූහික ගිවිසුමේ ඉඩක් තියෙනවද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් සහ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ
''ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මෙලෙස විශාල ලෙස වැටුප් වැඩිකර ගැනීමේ පදනම අපි දන්නෙ නැහැ. බැංකුවේ බලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ පිළිබඳ තත්ත්වය පහදා දෙන්න. එය සාධාරණීකරණය කළ යුතුයි. මේවා බැංකුවේ මුදල්ය කියලා කිව්වාට මහජනයාගේ මුදල් බව සැලකිය යුතුයි. වෛද්‍යවරුන්ද වෘත්තියවේදීන්ට අයත්. අපි කියන්නේ වෘත්තියවේදීන් රට තුළ රුක ගැනීමට වැටුප් වැඩි කිරීමේ තීරණවලට එළැඹිය යුතු බවයි. වෘත්තියවේදීන් ආරක්ෂා කිරීම සුදුසු නමුත් එය කළ යුත්තේ වැටුප් වැඩිවීමෙන් පමණක්ද යන ගැටලුව මතු වෙනවා.
ඒ අය කියන්නෙ වසර තුනකට වරක් එළඹෙන සාමූහික ගිවිසුම අනුව මෙය කළ බවයි. බැංකු ක්ෂේත්‍රයේ ඇති එකම සාමූහික ගිවිසුම මෙය නොවෙයි. බැංකු සේවකයන්ගේ තවත් සාමූහික ගිවිසුම් තියෙනවා. කොහොම වුණත් මහ බැංකු සේවකයන්ට මේ සා විශාල වැටුප් වැඩිවීමක් කිරීමට මේ සාමූහික ගිවිසුම් අනුව ඉඩ තිබෙනවාද යන්න ගැටලු සහගතයි.
මහ බැංකුව ස්වාධීන විය යුතු බව ඇත්තයි. ඒත් එය ජනතාවට යටත් බව අමතක නොකළ යුතුයි. අපේ ඩී.ඒ.ටී. දීමනාව අනුව රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් අපට උරුමයි. එහෙත් අපි ගත්තේ රුපියල් 35,000 යි. මුලදි දුන් 35.000 ඊට පසු 70,000 වුණා. රට අර්බුදයක තිබෙන විට ප්‍රමුඛත්වය දිය යුතු දේවල් තිබෙනවා. අපි මස් රාත්තලම ඉල්ලිය යුතු නොවෙයි. අනිත් අතට ආණ්ඩුව මෙය නොදැන කළා යැයි පිළිගන්න බැහැ. කෙසේ නමුත් වෘත්තියවේදීන් වශයෙන් වැටුප් වැඩිකර ගත යුතු නොවේ යැයි අපි කියන්නෙ නැහැ. තත්ත්වය දන්නෙ නැතිව ඒ පිළිබඳ ප්‍රකාශයක් කළ නොහැකියි.
අපි ලබන සඳුදා වෘත්තියවේදීන්ගේ එකමුතුව කැඳවලා තිබෙනවා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව ගත් පියවර පිළිබඳ තීරණයක් ගෙන ප්‍රකාශයක් නිකුත් කරනවා.''
රජයේ කතාව බොරු රඟපෑමක්
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ
''2015 වසරට පසු රාජ්‍ය සේවකයන්ට කිසිදු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ. දවසින් දවස ඉහළ යන ජීවන වියදමට මුහුණ දෙන්න අමාරුයි. ඒ නිසයි අපි රුපියල් 26,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවේ. මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ රටේ මුදල් තත්ත්වය අනුව එවැනි වැටුප් වැඩිවීමක් දීමට බැහැ කියලයි. අන්තිමට 10,000 දෙන්න එකඟ වුණත් දැනට දෙන්නේ 5000 පමණයි. එය කොහොමවත් ප්‍රමාණාත්මක නැහැ.
වෛද්‍යවරු ඉල්ලුවේ ඒ අයගේ උපයන විට ගෙවීමේ බද්ද අඩු කරන්න කියලයි. ඒත් ආණ්ඩුව කළේ වැටුප් හා දීමනා ඉහළ දැමිල්ලක්. අපි හිතන්නෙ එය ආණ්ඩුව ඇටවූ උගුලක් ලෙසටයි. බදු අඩු කරන්න ගියා නම් ඔවුන්ට ගැටලු ඇතිවෙනවා. අපි වෘත්තිකයන්ගේ වැටුප නොඉල්ලුවත් අපටත් සමානුපාතික සාධාරණ වැටුපක් වැඩිවිය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරින් වැටුප් වැඩිකර ගැනිල්ලත් රජයේ අනුදැනුම ඇතිව කරගත් දෙයක් කියලයි අපි හිතන්නෙ. රජය රඟපාන්නෙ එය නොදන්නා ලෙසටයි. ඒක කොහොමත් වෙන්න බැහැ. ඒ අය රහසේ කතාබස් කරලා එකඟ වෙලයි මෙය කරන්න ඇත්තේ. මෙය හැන්ද අතේ තියෙන අයම බෙදාගත්තා වැනි වැඩක්. කිසි ලෙසකින්වත් සදාචාරාත්මක නැහැ.
ලබන මාසයේදී රාජ්‍ය ආයතන විකිණීමට, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් නැති කිරීමට එරෙහිව සහ අපේ ඉතිරි රුපියල් 10,000 මුදල ලබාගැනීම සඳහා දීපව්‍යාප්තව වෘත්තිය ක්‍රියාමාර්ග රුසක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. එයට සෑම රාජ්‍ය සේවකයෙක්ම සම්බන්ධ කර ගන්නවා.''
I යසවර්ධන රුද්රිගූ