2024 මාර්තු 02 වන සෙනසුරාදා

ඉවසන්න බෑ මේ රස්නේ...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

රට පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් පසුගිය දින දෙක තුන තුළ පාසල් සිසුන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහනේ රැඳවීමෙන් වළකින්න යැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව විශේෂයෙන් පසුගිය සතිය තුළ දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබුණි.

මේ දිනවල රට පුරා පවතින අධික උෂ්ණත්වය ඉදිරි සති කිහිපය තුළදී රට පුරා ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අධික උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශය මගින් මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව වැඩබිම්වලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් ගහකොළවලින් තොර අධික හිරු රශ්මිය ඍජුවම පොළොවට පතිත වන ස්ථානවල පවතින වැඩබිම්වල සේවය කරන සේවක සේවිකාවන් මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. මොවුන් වරින් වර ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර එකදිගට ඇඟ වෙහෙසා වැඩ නොකොට මඳ වේලාවක් හෝ විවේක ගැනීම වැදගත් වෙයි. 

''පුදුම රස්නයක් තියෙන්නෙ. මේ අව්වට පිච්චිලා මගේ ඔලුව කැක්කුමයි. ඒත් ඉතින් මොනව කරන්නද? අව්වයි කියලා වැඩ නොකර හිටියොත් ගෙදර මේ රස්සාවෙන් ජීවත් වෙන ජීවිත හතරක් හාමතේ. ඉස්කෝලෙ යන දරුවෙක් ඉන්නවා. ලෙඩ ඇඳේ අම්මා ඉන්නවා. ඒ හැමෝම ජීවත් වෙන්නෙ මේ ගන්න පඩියෙන්.'' යැයි කොළඹ මහා මාර්ගය පිරිසුදු කරන පෞද්ගලික අංශයක සේවය කරන කරුණාවතී මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

විශේෂයෙන් මේ දිනවල කොළඹ නගරය ද මෙම දැඩි උෂ්ණත්වයට මුහුණ දී සිටියි. පසුගිය දින දෙක තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම අගය 36.80C ක් ලෙස වාර්තා වී ඇත. එමෙන්ම වයඹ, බස්නාහිර, දකුණු පළාත මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කවලින් ද වඩාත් අවධානය යොමු කළ යුතු උෂ්ණත්වයක් වාර්තා වෙයි. කොළඹ පිටකොටුව නගරාසන්නයේ වෙළෙදාම් කටයුතුවල නිරත වන වෙළෙඳුන් ද මේ දිනවල පවතින අධික උෂ්ණත්වයට දැඩි ලෙස මුහුණ දෙති. ඔවුන් වැඩි වශයෙන් ජලය පානය කරන බවක් දක්නට ඇත. එපමණක් නොව කොළඹ මේ දිනවල වැඩි වශයෙන් තැඹිලි වෙළෙදාම සිදු වේ. මේ දිනවල තැඹිලි ගෙඩියක් රුපියල් 120ත් 180ත් අතර මිලකට අලෙවි වෙයි. ඇතැම් තැන්වල රුපියල් 200 ද ඉක්මවා තැඹිලි අලෙවි විය. මීට අමතරව දොඩම්වලටද ඉහළ ඉල්ලුමක් පවතී. 

''වෙනදාට අපි වතුර බොනව තියා වතුර බෝතලයක් ළඟ තියාගන්නෙත් නැහැ. ඕනෑම දුරක් මේ කරත්තේ තල්ලු කරගෙන යන්න පුළුවන්. ඕනෑම බරක් මේ කරත්තෙට ඔරොත්තු දෙනවා. ඒ නිසා බර නම් දැන් අපිට ගාණක් නැහැ. හැබැයි මේ අව්ව දැන් පුදුම අමාරුයි. හුළඟක් නැහැ. අව්ව තිබිල හුළං ටිකක් තිබුණා නම් ඇඟේ මහන්සිය මේ තරම් දැනෙන්නෙ නැහැ. හැබැයි හුළඟවත් නැත්නම් මේ අව්වේ සැර දරාගන්න හරි අමාරුයි. ඇඟට දැනෙන රස්නයත් එක්ක මහන්සිය දැනෙනව වැඩියි. දැන් කරත්තෙ එක්ක වතුර බෝතලයකුත් අරගෙන යන්න අපිට සිදුවෙලා තියෙනවා.'' යැයි පිටකොටුවේ නාට්ටාමිවරයකු ලෙසින් සේවය කරන කරුණාදාස මහතා දේශයට පැවසීය.

සෞඛ්‍ය අංශය මගින් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව වැඩිහිටි පුද්ගලයන් මේ දිනවල පවතින අධික උෂ්ණත්වය පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් හැකි සෑම අවස්ථාවකදීම ජලය පානය කළ යුතු අතර නිවෙස්වල සිටින වැඩිහිටියන් හා රෝගීන් සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ. එමෙන්ම එළිමහනට යන අවස්ථාවලදී කළු සහ තද වර්ණ වෙනුවට සුදු හෝ ලා පැහැති ඇඳුම් සහ සැහැල්ලු ඇඳුම් ඇඳීම වැදගත්ය. දහවල් 11 සිට පස්වරු 2.30 අතර කාලය තුළදී වැඩි වශයෙන් හිරු රශ්මිය පතිත වේ. ඒ කාලසීමාව තුළදී හිරු එළියට නිරාවරණය වීම අවම කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. විශේෂයෙන් ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම දීර්ඝකාලීනව රෝගවලට ගොදුරුව සිටින පුද්ගලයන් මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුය.

''මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් කුඩා දරුවන්ට දහඩිය බිබිලි ඇතිවීමට පුළුවන්. ඒ වගේම කුෂ්ඨයක් ඇතිවීමටත් පුළුවන්. ඒ නිසා දිනකට කිහිප වතාවක්ම ජලයෙන් සේදීමත් තෙත රෙදි කැබැල්ලකින් ඇඟ පිසදැමීමත් සිදු කිරීම සුදුසුයි. මේ උෂ්ණ අධික කාලයේදී දරුවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වෙනවා.'' යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ආහාර ආරක්ෂණ පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා දේශයට පැවසීය.

මෙම අධික උෂ්ණ තත්ත්වය මිනිස් සිරුරට පමණක් නොව සොබාදහමේ ජීවත් වන සතා සිව්පාවුන්ට ද දැඩි ලෙස දැනේ. එබැවින් සතුන්ගේ පානය සඳහා ජලය පිරවූ කුඩා බඳුන් තැබීමෙන් දැඩි අව් රශ්මියෙන් පීඩා විඳින සතුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි මෙම තත්ත්වය අඩුවැඩි වශයෙන් මැයි මාසයේදී දිවයින හරහා නිරිතදිග සුළං ප්‍රවාහය ස්ථාපිත වනතුරු ඉදිරියටත් බලාපොරොත්තු විය හැකිය.

I දිශානි ජයමාලි කරුණාරත්න