2024 මාර්තු 02 වන සෙනසුරාදා

බාල බෙහෙත් මදිවාට හොර දොස්තරලාත්!

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

දහසක් අලකලංචි මැද අතරමංව සිටින ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය ගැන තවත් ඇඟ කිළිපොලා යන ආරංචියක් පසුගියදා පැතිර ගියේය. ඒ රට පුරා හොර දොස්තරලා 40000කට ආසන්න පිරිසක් සිටින බවට වූ ප්‍රකාශයකි. මේ චෝදනාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙතින් රටට ඉදිරිපත්ව තිබුණි.

වරින් වර අවස්ථා කිහිපයකදීම මේ සංගමය මගින් මෙම හොර දොස්තර කතාව කරළියට ගෙන එනු දක්නට ලැබුණි. නමුත් මේ වනතුරු ඒ වැළැක්වීම සඳහා හෝ ව්‍යාජ වෛද්‍යවරුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා හෝ ක්‍රියාකාරී සාර්ථක මෙහෙයුමක් සිදුවූ බවක් පෙනෙන්නට නැත. මහජන පැමිණිලි මෙන්ම දැන් රජයේ ප්‍රධාන වෛද්‍ය වෘත්තීය සමිතියද නැවත කරුණු දක්වා පෙන්වා දෙන්නේ මේ හොර දොස්තර නඩයට එරෙහිව නිසි පියවරක් නොගතහොත් ව්‍යාජ බෙහෙත්, බාල බෙහෙත් සහ තදබල බෙහෙත් හිඟයක් මැද අනාථව අසරණව සිටින රෝගී ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් බවට මෙය පත්වනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහට අනුව    වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින මෙම පුද්ගලයන් කිසිදු සුදුසුකමක් නොමැතිව වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ වෛද්‍යවරුන්, බටහිර, ආයුර්වේද හා හෝමියෝපති යන වෛද්‍ය සභා තුන යටතේ ලියාපදිංචි නමුත් තමන් උගත් වෛද්‍ය කර්මය වෙනුවට වෙනත් වෛද්‍ය කර්මයක් භාවිත කරමින් ප්‍රතිකාර කටයුතු කරන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට යම් සම්බන්ධයක් පවතින හෙද නිලධාරීන් ඇතුළු අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලවලට අයත් වන තමන්ට නැති සුදුසුකමක් පෙන්වා වෛද්‍ය කර්මයේ යෙදෙන පුද්ගලයන් වශයෙන් වර්ගීකරණයට ලක් කළ හැකිය.

සංගමය පෙන්වා දෙන ආකාරයට ඔවුන් කාලාන්තරයක් තිස්සේම මේ ව්‍යාජ රංගනය කරගෙන යමින් පවතී. සාමාන්‍ය රෝග තත්ත්වවල සිට බරපතළ සංකූලතා සහිත රෝගී තත්ත්වයන් දක්වා මෙන්ම, ජීවිතයට පවා හානි විය හැකි නීතිවිරෝධී ගබ්සාවන්හි පවා  මෙම පිරිස් නිරත වන බව මාධ්‍ය හරහා ද වාර්තා වී ඇත. ඊට අමතරව පිළිකා, වකුගඩු රෝග සහ හෘද රෝග ආදී තත්ත්වයන්ට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති විශේෂ ප්‍රතිකාර ක්‍රම ඇතැයි පවසමින් ජනතාවගෙන් විශාල වශයෙන් මෙම පිරිස් මුදල් වංචා කරමින් සිටින අතර, ජන ජීවිතද අවදානමකට ලක් කරමින් සිටීම බරපතළ තත්ත්වයකි.

මෙය නීතිවිරෝධී ක්‍රියාවලියක් වුවද මෙම හොර නඩයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ගැටලු රාශියක් උද්ගතව ඇති බව පෙනී යයි. මෙබඳු ව්‍යාජ වෛද්‍යවරුන් වැටලීම, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිවිරෝධී ලෙස ප්‍රතිකාර සේවාවන්හි යෙදීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන පමණක් නොව ඒ බලාත්මක කිරීමට ප්‍රමාණවත් මානව සම්පත නොමැතිවීම ද මෙම ගැටලුව උග්‍ර වීමට ප්‍රධාන හේතුවක් බවට පත් වී ඇත.

මෙම නඩය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලපාන පනත් කිහිපයක් පැවතියද, ඒ සියල්ලේම ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති වීම නිසා එම හිඩැස් හරහා ඔවුන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාජ වෛද්‍යවරුන් වැටලීමේදී සෞඛ්‍ය අංශ පමණක් නොව ශ්‍රී ලංකා පොලිසිය ද සම්බන්ධ විය යුතු අතර, ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිසා මෙම වැටලීම් සාර්ථකව සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු කාර්යභාරය ද නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන්, ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උග්‍ර වීමේ අවදානමක් මතු වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ විනාශය වැළැක්වීම සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් මෙයට පෙර ද ඉදිරිපත් කර තිබුණි. ඔවුන් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ රජයේ බලධාරීන් වෙත කරුණු දක්වා ඇත්තේ රටේ ප්‍රධාන වෛද්‍ය සභා තුනෙහි ලියාපදිංචි වී සිටින වෛද්‍යවරුන්ගේ දත්ත ගොනුවක් ආරම්භ කර අඛණ්ඩව යාවත්කාලීන කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි බාර ගන්නා පැය 24 පුරා විවෘතව පවතින තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා එහි දුරකථන අංකය ප්‍රසිද්ධියට පත්කිරීම සහ කෙටි දුරකථන පණිවුඩ මගින් වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වඩාත් සුදුසු බවටය. එසේම ව්‍යාජ වෛද්‍යවරුන් සමාජයෙන් තුරන් කිරීම සඳහා පවතින නීති රාමුව ශක්තිමත් කර සුදුසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කර වරදකරුවකු වන පුද්ගලයකුට රු. 10,0000ක දඩ මුදලක් සහ වසර පහක් දක්වා සිරදඬුවමක් ලැබෙන නීති අලුතින් සම්පාදනය කරන ලෙසටය.

මීට අමතරව වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඖෂධ හල් හරහා ඍජුවම ජනතාවට ඖෂධ ලබාදීම ද, ජනජීවිත අවදානමකට ලක් කරමින් ඉහළ යන ප්‍රවණතාවයක් බවට මේ වන විට පත්ව ඇත. පෞද්ගලික ඖෂධ හලකින් සීමිත ඖෂධ වර්ග කිහිපයක් හැර අනෙකුත් ඕනෑම ඖෂධයක් රෝගියකුට ලබා දිය හැක්කේ නියමිත හා පිළිගත් වෛද්‍ය නිර්දේශයක් මත පමණි.

ඖෂධයක් නිර්දේශ කිරීමේදී රෝග ලක්ෂණ පමණක් නොව රෝගියාට අදාළ තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සලකා බැලිය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය දැනුම, වගකීම මෙන්ම නීත්‍යානුකූල බලය ඇත්තේ වෛද්‍යවරයකුට පමණි. ඖෂධ හලක සේවය කරන ඖෂධවේදියකුට, ඖෂධ සංයෝජකයකුට හෝ වෙනත් කිසිදු සේවකයකුට එවන් නීත්‍යානුකූල බලයක් හෝ දැනුමක් කිසිසේත්ම නොමැත.

එසේ වුවද රට පුරා බොහෝ ස්ථානවල වෛද්‍ය උපදෙස් හෝ නිර්දේශයකින් තොරව, නීතිවිරෝධී අයුරින් ඖෂධ වෙළෙඳසල් හරහා රෝගීන්ට ඖෂධ ලබා දෙන බවට තොරතුරු ලැබෙන අතර එමගින් ජනජීවිතවලට සිදුවන හානිය අති මහත්ය.
මෙවන් ඖෂධ හල් වසා දැමීම, බලපත්‍ර අහෝසි කිරීම, එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ආදී නීතිමය ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකියාව තිබුණද, ඒවා ක්‍රියාත්මක වන්නේ ඉතා අවම වශයෙනි. මීට අමතරව එම ඖෂධ හල්වල සේවය කරන පුද්ගලයන් ජනතාවට ඖෂධ නිකුත් කිරීම සඳහා නියමිත සුදුසුකම් සපුරා තිබේ ද යන්න සොයා බැලීම ද අත්‍යවශ්‍ය කරුණකි. ජනතාව විශාල අවදානමක සිටිය ද, විවිධ හේතු මත මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් දිනෙන් දිනම ප්‍රමාද වීම හරහා මෙම පිරිස්වලට රුවටෙන ජනතාවට  ඇතිවන අහිතකර ප්‍රතිඵල ද ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

I සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05