දේශපාලනඥයකු, සිවිල් සේවකයකු සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු මෙන්ම 1977 සිට 1988 දක්වා, මුදල් හා ක්‍රම සම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් දේශපාලනඥයකු වූ රොනී ද මෙල් මහතා පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වැනි වියේ පසු වූ ඒ මහතා අයවැය 11ක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයකු ලෙස වාර්තාවක් ද තබා තිබිණි.
1925 අප්‍රේල් 11 දින රොනල්ඩ් ජෝසප් ගොඩ්ෆ්‍රි ද මැල් නමින් මොරටුවේදී උපත ලද ඔහු ජනතාව අතර ප්‍රකට වූයේ රොනී ද මැල් ලෙසිනි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලද ඒ මහතා ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය දිනාගත්තේය. ශිෂ්‍යත්වයක් මත ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට පිවිසි ඔහු ඉන් පශ්චාද් උපාධිය ලබා ලංකා සිවිල් සේවයට එක්විය. කීර්තිමත් සිවිල් සේවකයකු ලෙස නමත් දිනා සිටි හෙතෙම පුත්තලම කච්චේරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, කම්කරු හා සමාජ සේවා අමාත්‍යාංශය හා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සිවිල් සේවකයකු ලෙස විවිධ තනතුරු දැරීමෙන් අනතුරුව විශ්‍රාම ගිය අතර පසුව දේශපාලනයට අවතීර්ණ විය.
1960 දශකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ ඔහු 1965 වසරේ බිබිල ආසනයට තරග කළ අතර එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා වූ ධර්මදාස බණ්ඩා මහතාට පරාජය විය. පරාජයෙන් පසු වසර දෙකක කාලයක් ඔහු ශ්‍රීලනිපයේ සංවිධායක කටයුතුවලද නිරත විය. දෙවිනුවර ආසනය වෙනුවෙන් 1967 මාර්තු මාසයේ අතුරු මැතිවරණයක් පැවැත්වීමට රජය තීරණය කළේය.
අතුරු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් පී.පී. වික්‍රමසූරිය ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉඳිරිපත් වූයේ රොනී ද ෙමල්ය. එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය භාරව කටයුතු කළේ එක්සත් ජාතික පක්‍ෂ රජයේ සභානායක සහ ඉඩම් අමාත්‍ය ලෙස සිටි සී.පී. ද සිල්වාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් මැතිවරණය මෙහෙයවනු ලැබුයේ දඹදෙණිය මන්ත්‍රීවරයා වූ ආර්.ජී. සේනානායකය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්ද 18,483 ක්ද, එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද 16,045ක් ද හිමි විය. ඒ අනුව රොනී ද මෙල් මහතා වැඩි ඡන්ද 2438 කින් දෙවිනුවර මන්ත්‍රීවරයා ලෙස ජයග්‍රහණය කළේය.
1970 මැතිවරණයේ දී ද රොනී ද මෙල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දෙවිනුවර ආසනයට ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂයෙන් යළි තරග කළේ පී.පී. වික්‍රමසූරියයි. මහජන පක්‍ෂයෙන් පී.ඩී. වීරසිංහ ඉදිරිපත්ව සිටියේය. එම මැතිවරණයෙන් ඡන්ද 20,798 ක් ගත් රොනී ද මෙල් වැඩි ඡන්ද 6051 කින් වික්‍රමසූරිය පරාජය කොට දෙවිනුවර මන්ත්‍රීවරයා ලෙස පත් විය.
1970 වසරේ බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු රජයේ කිසිදු තනතුරක් රොනී ද මෙල් හට හිමි නොවීය. ඒ සම්බන්ධයෙන් ඔහු තුළ වූයේ කනගාටුවකි. එහි ප්‍රතිඵලයක් ලෙස 1974 දී රොනී ද මෙල් මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වූ අතර දෙවිනුවර ආසනයේ සංවිධායකවරයා බවට පත් විය. 1977 මැතිවරණයේ දී දෙවිනුවර ආසනයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වී ජය ගත්තේය. එහිදී ඡන්ද 23,776 ක් ලබා ගැනීමට ඔහුට හැකි විය.
1982 වසරේ පැවැති ජනමත විචාරණයේදී ‘%ලාම්පුව’ ලකුණ පරාජයට පත්වී ‘%කළය’ ලකුණ ජයග්‍රහණය කිරීම හේතුවෙන් දෙවිනුවර ආසනය නියෝජනය කළ මුදල් අමාත්‍ය රොනී ද ෙමල් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 18 දෙනකුට 1983 පෙබරවාරි 9 වැනිදා සිය ආසන අහිමි විය. ඒ අනුව මන්ත්‍රී ධූර අහිමි වූ 18 දෙනා නියෝජනය කළ ආසන වෙනුවෙන් අතුරු මැතිවරණ පැවැත්වීමට තීරණය වූ අතර දෙවිනුවර ආසනය අහිමි වූ රොනී ද ෙමල් මහතා බුලත්සිංහල ආසනයේ මන්ත්‍රී ලෙස නිතරගයෙන් පත් කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේය. දෙවිනුවර අතුරු මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් නම් කළේ පී.ඇස්.ඇල්. ගලප්පත්තිය.
1977 සිට 1988 දක්වා මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොනී ද මෙල් මහතා 1988 දී බුලත්සිංහල මන්ත්‍රී ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය. 1989 සිට 1993 දක්වා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ දේශපාලනයෙන් ඈත්ව විදේශගතව සිට යළි දිවයිනට පැමිණ 1994 හා 2000 මැතිවරණවලදී මාතර දිස්ත්‍රික්කයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරීපත් විය. 2000 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග රජයේ වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද 2001 වෙළෙඳ කර්මාන්ත ප්‍රවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. 2004 දක්වා ඔහු ඔහු මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විය.
2005 වසරේ දේශපාලනයෙන් විශ්‍රාම ගිය මෙල් මහතා 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාද විය.
නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා වූ රොනී ද මෙල් මහතා, කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය, නිදහස් වෙළෙඳ කලාපය, නිවාස ලක්‍ෂයේ වැඩපිළිවෙළ, වරාය, මහා මාර්ග, වැනි විවිධ ව්‍යාපෘති සඳහා අරමුදල් සොයාගැනීමට මූලිකත්වය දැරුවෙකි. එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, ජපානය වැනි රටවලට ගොස් එම රාජ්‍ය නායකයන් මෙන්ම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍යායතන ප්‍රධානීන් හමුවී සාකච්ඡා කළ ඔහු එවක ලෝක බැංකුවේ සභාපති රොබට් මැක්නමාරා ශ්‍රී ලංකාව ගෙන්වා මෙම ව්‍යාපෘති සඳහා ආධාර ලබා ගැනීමට කටයුතු කළේය.
එකල ඔහු තම අයවැය ලේඛනය සකස් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ ''ගී කියන කන්ද'' වත්තේ සිටිය. අයවැය ලේඛන බහාලු ඔහුගේ බෑගය ජනතාව හැඳින්වූයේ ''රොනීගේ මැජික් පෙට්ටිය'' ලෙසිනි.
දේශපාලනික පිල් මාරු කරන්නකු ලෙස ප්‍රකට රොනී ද මෙල් අවස්ථා කිහිපයකදීම පක්ෂ මාරු කළ අතර වර්තමාන දේශපාලකයන්ට පක්ෂ මාරු කිරීමේ කලාව ඉගැන්වූ පුරෝගාමියා ඔහු යැයි ජනතාව අතර ප්‍රකට කියමනකි. එවක ඇත්ත පුවත්පතේ ප්‍රධාන කර්තෘ බී.ඒ. සිරිවර්ධන මහතා තම පුවත්පතේ ඇතැම් සිරස්තල යෙදුවේ ''රොනී පනී'' යනුවෙනි.
රොනී ද මෙල් මහතා ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු මහතාගේ දියණියක වන මල්ලිකා ලක්ෂ්මි ප්‍රනාන්දු සමඟ විවාහ වී සිටි අතර ඔවුනට දියණියන් තිදෙනෙකි. මල්ලිකා ද මෙල් මහත්මියද කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ අතර 2009 වර්ෂයේදී අභාවප්‍රාප්ත වූවාය. දේශපාලනයෙන් විශ්‍රම ගිය රොනී ද මෙල් මහතා ජීවිතයේ සැඳෑ සමය ගත කළේ කොළඹ 3 පිහිටි තම පෞද්ගලික නිවහනේය.
රුහුණු විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා වූ රොනී ද මෙල් මහතාගේ අවසන් කැමැති පත්‍රයේ ඔහුගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය මෙලෙස දක්වා තිබිණි. තමා මියගිය පසු දේහය පැය 24ක කාලයක් කොළඹ නිවෙසේ තැන්පත් කර තැබීමෙන් පසු රුහුණු විශ්වවිද්‍යාලයට රැගෙන යා යුතු වන අතර එහි ගෘහස්ථ ක්‍රීඩාංගනය අසල විශේෂ ශාලාවේ තැන්පත් කළ යුතුය. (2018 වසරේ එතුමා එහි පැමිණ එම ස්ථානය නිරීක්ෂණය කර තිබිණි.) දෙදිනක කාලයක් එම ස්ථානයේ තැන්පත් කර තැබීමෙන් පසු රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනය වෙත රථ පෙරහරකින් දේහය රැගෙන යා යුතුය. ආගමික වතාවත්වලින් පසු පැවිදි අනුශාසනා තුනක් සහ පිළිගැනීමේ කතාව රුහුණු විශ්වවිද්‍යාලයේ විද්වතකු විසින් කළ යුතුය. ගිහි කතා ජනාධිපති, අගමැති සහ දිනේෂ් ගුණවර්ධන, හා මංගල සමරවීර මහතාට ලබා දිය යුතු බවද එහි සඳහන්ව තිබිණි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා