සුපුරුදු පරිදි වසරකට වතාවක් නිර්මාණය වන ජල විදුලි අර්බුදය මෙවර කරළියට පැමිණ තිබේ. එහෙත් ඉකුත් සතියේ එය අලුත් පුවතක් ලෙසින් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබෙන අයුරු දැකගත හැකි විය. නිරස නමුත් යථාර්ථය නම් මෙය ගෙවී ගිය වසර කිහිපය පුරාවට පෙබරවාරි මාර්තු මාසවල සාමාන්‍යකරණය වූ පුවතක් වීමයි.
“ජල විදුලිය තවත් සති කිහිපයයි" යන සිරස්තලයේ සිට මෙම පුවත "විදුලි කප්පාදුව ඇරඹේ" යන සිරස්තලය දක්වා ඉකුත් වසරවලදී විකාශනය වූ අයුරු මතකය. "ගහන්න ගහන්න වඳින එකාත්, වඳින්න වඳින්න ගහන එකාත් මෝඩයෙක්" යනුවෙන් ජනවහරේ ඇති කියමන අනුව මෙම නැවත නැවත සංවාදයට ගන්නා අප ද වැටෙන්නේ මෝඩයන්ගේ ගණයටය. එහෙත් දූෂිතයන් හොරුන් උම්මත්තකයන් නිසාවෙන් මෝඩයන්ට ඇන්දී ඇති හුදී ජනයා පිළිබඳ පහන් සංවේගයෙන් අපි මෙම කතාව ලියා තබමු.
පළමුව සියල්ලන්ගේම දැනගැනීම පිණිස මෙහි වර්තමාන කතාව ඔබ හමුවේ තැබිය යුතුය. පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ, තවත් සති 6කට පමණක් යැයි ඉකුත් සතියේ මණ්ඩලයේ විදුලි ඉංජිනේරු මහත්වරුන් අනතුරු අඟවා තිබුණි. කෙසේ වෙතත් දිවයිනටම විදුලිය සැපයීම සඳහා ගිගාවොට් පැය 130ක පමණ ධාරිතාවක් මේ වන විට පවතින බව ඔවුහු පැවසූහ.
එය වෙනදා ඇසෙන කතාවට සාපේක්ෂව වෙනස් කතාවකි. එහෙත් මෙවර පිටපත තරමක් වෙනස් කොට තිබුණේ ඉංජිනේරුවන් නොව වැස්සවළාහක දෙවියෝය. පෙර වසරවලට සාපේක්ෂව මේ දක්වා ජල විදුලි බලාගාර ප්‍රශස්ත ජල මට්ටමක පැවතියේ අනපේක්ෂිතව ලැබුණු අධික වැසි නිසාය. ජලාශවල සමස්ත ජල ධාරිතාව 80% කට ආසන්න අගයක් ගත් බව කියැවිණි.
මෙතරම් ජලය තිබේ නම් සති හයකින් ජල විදුලිය අවදානමට ලක්වෙන්නේ අහවල් කාරියක් නිසා දැයි ඔබට සිතෙනු ඇත. මෙහිදී සුපුරුදු පිටපතේම කොටසක් නැවත නැවතත් ජනගත වේ. එම කතාව මෙසේය. ''මෙම ජලාශවලින් පානීය ජලයට සහ ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීමට සිදුවුවහොත් විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලය ප්‍රමාණවත් නොවනු ඇත.'' මෙලෙස පවසන්නේ මණ්ඩලේ මහත්වරුන්ය.
මෙම කතාවේ සුපුරුදු මකරා ගිනි පිඹින්නට පටන් ගන්නා මොහොත මෙයයි. ''තාප විදුලි බලාගාර වැඩි වශයෙන් යොදාගැනීමට සිදුවීමෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම ජල විදුලි නිෂ්පාදනයට සාපේක්ෂව ඉහළ යෑම නොවැළැක්විය හැකිය'' මෙම වදන් මකරාගේ ගිනි පුළිඟු බව අපි දනිමු. ඉකුත් වසරවල වැසි නැතිවී, ජල විදුලි සැපයුම අඩාල වී තාප විදුලිය එකම විකල්පය වූ විට සිදුවූ දෙය අපි දනිමු. තාප විදුලිය සඳහා ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නැතිවූ තැන තෙල් නැව් එනතුරු අපි සැම මහ මුහුද දෙස බලා සිටියෙමු.
නමුත් මෙවර තත්ත්වය එතරම්ම භයානක නොවන බව මණ්ඩලයේ ඇත්තන් කියන කතා ඇසුරේ හැඟී යයි. ජල විදුලිය කළමනාකරණය කර ගැනීමේ උත්සාහයක විදුලිබල මණ්ඩලය නිරතව සිටියි. ඒ අනුව ලංවිමය සිය විදුලි නිෂ්පාදන ධාරිතාවෙන් 65% ක් තාප බලාගාර යොදාගනිමින් දැනටමත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. ජල විදුලි නිෂ්පාදන ධාරිතාව 20% දක්වා අඩු කර තිබේ. මේ හරහා තත්ත්වය යම් පමණකට කළමනාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
කෙසේ වෙතත් වැස්සවළාහක දෙවියන් කරුණා නොකළේ නම් මෙවන් විසඳුමක් කරා එළැඹීමට ද මණ්ඩලේ ඇත්තන්ට හෝ ආණ්ඩුවේ ලොක්කන්ට නොහැකි වනු ඇත. අනෙක් අතට තාප විදුලිය වැඩි වශයෙන් භාවිත කිරීමට වීමේ ආර්ථික සාපය මෙයින් ඉඳුරාම නිමා නොවනු ඇත. විදුලි කප්පාදුවෙන් ගැලවීමට නම් මෙම වසර මාර්තුවේ ද සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් පුච්චා දැමීමට සිදුවනු ඇත. ණයට ගත් ඩොලර් පුච්චා හෝ මැතිවණ කටේ රෙද්ද කඩා නොගෙන නම්බුව රුක ගැනීමට පාලකයන් මැලි නොවනු ඇත. කැමැති නම් ඒ පිළිබඳ සිඟිති සතුටක් ඇති කරගත හැකිය.
වර්තමාන කතාවෙන් ඉක්බිති මෙහි නිධාන කතාව කරා ද අප එළැඹිය යුතුව තිබේ. වසර විස්සක් ඉදිරියට රට තුළ පවතින විදුලි අවශ්‍යතාව ගණනය කිරීම ඇරුඹුණේ අදක ඊයෙක නොවෙයි. ඒ අනුව අප කවුරුත් නිතර අසා ඇති ජනන සැලැස්ම සමාජ ආර්ථික දේශගුණික කාලගුණික සාධක සලකා බලා සකස් විය. මාසිකව විදුලි අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි පුරෝකථනයක් මෙහි අන්තර්ගත වූයේය.
එසේම එම විදුලි අවශ්‍යතාවය ජනනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද එහිම අන්තර්ගත විය. කෙසේ වෙතත් 2015 න් පසු හැදුණු ආණ්ඩු මෙම සැලසුම අනුව ක්‍රියා කළේ නැත. ඒ ඒ කාලවලදී රට තුළ නිර්මාණය කළ යුතු බලාගාර ඔවුහු ඉදි නොකළහ. විටෙක දේශපාලන මතගැටුම්, තවත් විටෙක පාරිසරික ප්‍රශ්න ආදිය ජනන සැලසුමට එල්ල කළේ සුළුපටු බාධා නොවේ.
ඌරන් කැකුණ තලන අතරේ රජමඟුල් කෑ හබන් කුකුළන් පිරිසක් ද මේ අතර වූහ. බලාගාර නොමැති වීමෙන් අවශ්‍ය විදුලි ධාරිතා නොලැබෙන විට ඔවුහු පෞද්ගලික බලාගාර වෙතින් විදුලිය මිලදී ගත්හ. අධික මිලට එම විදුලි මිලදී ගැනීම් සිදුවූ අතර ලොක්කන් සොක්කන් සහ කුක්කන් අතරේ එම මිලදී ගැනීම්වලට අදාළ කොමිස් මුදල් සාධාරණව බෙදී ගිය බව දන්නෝ දනිති.
තතු දත් අය අප සමඟ පැවසූ පරිදි, පසුව මෙය ඇබ්බැහියක් වූ අතර, සිතාමතාම ජනන සැලැස්ම හකුලා දැමීමට මෙම පිරිස් දායකත්වය ලබා දී තිබේ. ආරම්භයේදී පෞද්ගලික විදුලියෙන් යැපෙනු හැකි වූ නමුත්, පසුව තත්ත්වය ක්‍රමයෙන් භයංකර වූයේ පූර්ව සැලැස්මේ සඳහන් වූ පරිදි විදුලි අවශ්‍යතාව වාර්ෂිකව ඉහළ යාම හේතුවෙනි.
ඉකුත් සමයේ නව බලාගාරයේ ඉදිකිරීම් කල් මැරීම, පුනර්ජනනීය බලශක්තියට විරෝධය පෑම ආදිය සිදුවූ බව අපි හොඳින්ම දනිමු. සූර්ය බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමට වසර ගණනාවක් උත්සාහ කළ නමුත් ඇතැම් සමාගම් පසුව අදාළ ව්‍යාපෘති අතහැර දැමුවේය. තත්ත්වය ඉකුත් සමයේ එසේ වුවත් බලශක්තිය සම්බන්ධ මෙරට පැවති සංදර්ශන සැණකෙළි මෙතැකැයි කියා ලියා නිම කළ නොහැකිය.
නිධාන කතාව තවත් දීර්ඝව විග්‍රහ කළ හැකි නමුත් එය අප මෙතෙකින් නිමා කළ යුතුය. අවසානයේ පෙර අපර සන්ධි ගලපා ගැනීම වැදගත්ය. මෙරට බලශක්ති අර්බුදය දූෂිත නිර්ලජ්ජිත නිලධාරීන් බලධාරීන් විසින් නිර්මාණය කරන ලද්දකි. තවමත් එම අර්බුදය කරළියට පැමිණෙන්නේ වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මාසවලදී පමණි.
ජල විදුලිය ප්‍රමාණවත් නොමැති බව කියමින් මතුවන මෙම ගැටලුවට බොහෝ විට පැලැස්තර විසඳුම් ඇලවීමට බලධාරීහු සමත් වෙති. ඔබට සිහි මඳ ගතියකින් නොපෙනෙන්නේ නම් බලශක්තිය අර්බුදය කළමනාකරණය කරගත නොහැකි වූ තැන අරගලයක් පවා නිර්මාණය වූ බව ඔබට මතක ඇතුවාට සැක නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයෙක් පවා ගෙදර ගියේය.
එහෙත් සැබෑ ගැටලුව තවම ලොක්කන් හඳුනාගෙන නොමැත. නොඑසේ නම් හඳුනා ගත්තද ඔවුනට ඒ පිළිබඳ වගක් නොමැත. කෙසේ වෙතත් ජන ජීවිතය කෙරෙහි බලපාන ගාස්තු සහ සියල්ල කෙරෙහිම මෙම අර්බුදය බූමරංගයක් වී ඇති බව කිව යුතුය.
කෙසේ වෙතත් තවදුරටත් මෝඩකම් හොරකම් සමඟ උද්දච්චකම් ද බලශක්ති ලොක්කන් වෙතින් ප්‍රකට වෙමින් තිබේ. සැබැවින්ම අප දුක් විඳින්නේ පය බරවායට පිටි කර බෙහෙත් බඳින වාහෙලාගේ ගොන්කම් නිසාවෙනි.
I චමිඳු නිසල් ද සිල්වා