2024 මාර්තු 02 වන සෙනසුරාදා

ශ්‍රී ලන්කන්.. ඕල්වේස් බ්‍රේක් ඩවුන්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අපගේ ජාතික ගුවන් සේවයයි. ඒ ආකාරයට ලෝකයේ බොහෝ ‍රටවල් තමන්ටම අනන්‍ය වූ ජාතික ගුවන් සේවා පවත්වාගෙන යනු ලබන අතර එමගින් එම ජාතියට අභිමානය මෙන්ම හදිසි වැදගත් අවස්ථාවලදී මහත් ඵල ප්‍රයෝජන ද අත්වන බැවින්, එම ගුවන් සේවා මගින් ලාභ උපරිම කිරීමක් එම රටවල් අපේක්ෂා නොකරයි.

එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෑත කාලයක සිට ප්‍රමාද වීම්, සිය ගුවන් ගමන් අවලංගු කිරීම් නිසා ව්‍යාකූලත්වයට පත් වී තිබේ. මෙම සිදුවීම් දාමය මෙම ගුවන් සේවය විදේශීය සමාගමක් වෙත ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් විකුණා දැමීම පෙරටු කරගත්, එම ගුවන් සේවයේ ඉහළ බලධාරීන්ගේ ද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි බොහෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන් මෙන්ම, ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු ද විශ්වාස කරන මූලික කාරණාවක් බවට පත් වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානා මේ ආකාරයට ප්‍රමාද වීම්වලට සහ අවලංගු කිරීම්වලට ලක්වීමට එක් ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් ගමන් පරිපාලකයන් සහ කළමනාකරුවන් විසින් සකස් කර ඇති ගුවන් ගමන් කාලසටහනයි. එය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු වත්මන් ගුවන් යානා සංඛ්‍යාවට සාපේක්ෂව සකස් කළ යුතුය. එමෙන්ම පෞද්ගලික බස් රථ මෙන් නොව එක් ගුවන් ගමනක් නිම කර පැමිණි පසු තවත් ගුවන් ගමනක් සඳහා පිටත්වීමට සූදානම් වීමට සාධාරණ කාලයක් ඒ සඳහා වෙන් කර පැවතිය යුතුය. ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන, ජලය, ගුවන් යානය ඇතුළත සහ පිටත පිරිසුදු කිරීම, ගුවන් යානයට අවශ්‍ය ආහාර ගබඩා කර ගැනීම සඳහා මෙම කාලය ඇස්තමේන්තු කර ගලපා ගත යුතුය.

මීට අමතරව සෑම  ගුවන්  යානයක්ම අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුතු නඩත්තු කිරීම් ගණනාවක් පවතින අතර ඒ සඳහා ද කාලය වෙන් කිරීම සිදු කළ යුතු වේ. මෙහිදී පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයේ වායු සමන පද්ධතිය තුළින් දුමක් පිට වූ සිදුවීම සහ පාකිස්ථානයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළට මීයෙකු රිංගීම වැනි සිදුවීම් ඇති වුවහොත් එහිදී ගුවන් ගමන් වාර කිහිපයක්ම අවලංගු කිරීමට සිදු වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෙම දුර්භාග්‍ය සම්පන්න කාලය උදා වන්නේ මෙරට දේශපාලන පරිවර්තන සමඟිනි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීමට ඇණවුම් කර තිබූ නවීනතම ඒ.- 350 ගුවන් යානා ඇතුළු අනෙකුත් ගුවන් යානා මිලදී ගැනීම පසුගිය යහපාලන ආණ්ඩුව අහෝසි කර දැමීය. ඒත් සමඟම පැන නැගුණු ගුවන් යානා හිඟය මේ වන තෙක්ම නිමා කර ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය අපොහොසත් වී තිබේ.

මීට වසරකට පමණ පෙර ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 27ක් තිබූ අතර එය මේ වනවිට 17 දක්වා පහත බැස තිබේ. එයට හේතු වී ඇත්තේ ගුවන් යානාවල ලීසිං කාලය අවසන් වූ පසුව ඒවා ආපසු භාර දීම සිදු කළ යුතු නිසාය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස යළිත් ඒ.- 350 එයාර් බස් ගුවන් යානා 05ක් ඇතුළු තවත් ගුවන් යානා කිහිපයක්, ශ්‍රී ලන්කන් අරමුදල්වලින් මිලදී ගැනීමට සූදානම් වුවද ඒ සඳහා රජයේ නිසි අවසරය නොලැබුණි. ඉන්පසුව එම ගුවන් යානා ලීසිං පදනම යටතේ ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ, ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ රාජ්‍යයක් වීම නිසා ප්‍රංශයේ එම ගුවන් යානා නිෂ්පාදන සමාගම්, එම ගුවන් යානා අලෙවි කිරීම අත්හිටුවා තිබේ.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඒ.- 330 ගුවන් යානා 09 ක්, ඒ.- 320 neo ගුවන් යානා 07 ක් සහ ඒ.- 321 neo වර්ගයේ එක් ගුවන් යානයක් වශයෙන් ගුවන් යානා 17ක් සක්‍රිය සේවයේ යොදවා තිබේ. මීට අමතරව බෙල්ජියම් ගුවන් සේවයෙන් තාවකාලික පදනම මත ඒ.- 330 ගුවන් යානා 02ක් ලබාගෙන ඇති අතර එම ගුවන් යානා එරට ගුවන් නියමුවන් විසින් පදවාගෙන යාම ද සිදු කරනු ලබයි. ඊට අමතරව ෆිට්ස් එයාර් ගුවන් සේවයෙන් ලබාගත් ඒ.-320 ගුවන් යානයක් ද සේවය සඳහා එක් කරගෙන තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙයි. එම ගුවන් සේවා කටයුතු ශ්‍රී ලංකාවේ සිදු කළත්, එංගලන්තයේ සිදු කළත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉටු කළ යුතු සේවාවකි.

මේ වනවිට මෙම ගුවන් සේවයේ සේවකයෝ වැටුප් ගැටලුවකට මැදි වී සිටිති. ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින උද්ධමනකාරී ආර්ථික තත්ත්වය සහ අස්ථාවර දේශපාලන වාතාවරණය නිසා බොහෝ ශ්‍රී ලාංකිකයන් විදේශ රුකියා සඳහා පිටත්ව යාම අඛණ්ඩව සිදුවෙමින් පවතී. මේ තත්ත්වය වෛද්‍ය වෘත්තියට, හෙද වෘත්තියට පමණක් නොව ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීන් සඳහා ද බලපෑම් ඇති කර තිබේ.

රජය මෙම ගුවන් සේවය වෙනුවෙන් සිදු කළ යුතු සියලුම ගෙවීම්, එනම් ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු අය කිරීම, විදේශීය ගුවන් සීමා තරණයේ දී ගාස්තු ගෙවීම, විදේශීය ගුවන් තොටුපොළ වෙත ඉන්ධන සහ අනෙකුත් සේවා සඳහා ගාස්තු ගෙවීම ජාත්‍යන්තර මිල ගණන් යටතේ සිදු කළත්, වැටුප් ගෙවීමේ දී ජාත්‍යන්තර වැටුප් රටා පිළිබඳ සිය අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි. 

මේ නිසා ජාත්‍යන්තර ආර්ථික විද්‍යාවට අනුව වැඩි වැටුප් සොයා ගමෙන් නගරයට ඇදී එන්නාක් මෙන්, අපගේ ඉංජිනේරු සහ තාක්ෂණික අංශයේ සේවකයෝ මැදපෙරදිග එමිරේට්ස්, කටාර්, ඉටිහාඩ් වැනි ගුවන් සේවා වෙත ආකර්ෂණය වී සිටිති. ඉහළ වැටුප්වලට අමතරව නිවාස පහසුකම් සැපයීම, මොවුන්ගේ දූ දරුවන්ට අධ්‍යාපනික පහසුකම් සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම ඇතුළු තවත් විශාල සහන රාශියක් ද පිරිනමා තිබේ. එසේම මේ වනවිට සෞදි අරාබිය “රියාද් එයාර්" (Riyad Air) නමින් නවතම ගුවන් සේවයක් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින අතර, මෙම ගුවන් සේවය අනෙකුත් ගුවන් සේවා අභිබවා තම සේවකයන් හට පහසුකම් සහ දීමනා ලබා දීමට පියවර ගනිමින් සිටියි. මේ නිසා තවදුරටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීන් විශාල වශයෙන් ආකර්ෂණය වීමට අවකාශ තිබේ.

මෙම පසුබිම යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව සිටිය යුතු ගුවන් යානා ඉංජිනේරුවන් සංඛ්‍යාව 160ක් පමණ වුවද මේ වනවිට සැබෑ ලෙස සිටින්නේ 118ක් තරම් පිරිසකි. එමෙන්ම තාක්ෂණික ශිල්පීන් පිරිස අතුරෙන් 60% ක පමණ පිරිසක් මේ වනවිට වෙනත් රටවල ගුවන් සේවාවන් සමඟ එක්වීමට විදේශ ගත වී සිටිති.

මේ නිසා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යොමුකෙරෙන ශ්‍රී ලන්කන් ගුවන් යානා නඩත්තු කිරීමට මීට පෙර පැය 24ක් ගත වූ ගුවන් යානා සඳහා නව තත්ත්වයන් යටතේ පැය 36ක් 40ක් වැනි කාලයක් ගත වීම සිදු වේ. මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගුවන් යානා ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ හිඟය සහ දැනට ඉතිරි වී ඇති තාක්ෂණ ශිල්පීන්ගේ අඩු අත්දැකීම් සහ පළපුරුද්ද මදි වීම බව අනාවරණය වී තිබේ. මේ නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් ජෝර්දානයේ ජෙරම්කෝ පරිශ්‍රය වෙත නඩත්තු කටයුතු සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30ක් පමණ වැය වන අතර ඒ සඳහා මාස එකහමාරක පමණ කාලයක් ගත වීමට නියමිතය.

මෙම ගුවන් යානා ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් පහසුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළෙන් සොයා ගැනීම සිදු කළ නොහැකිය. ගුවන් යානා තාක්ෂණ ශිල්පියකු ලෙස වසර 02ක ප්‍රායෝගික පුහුණුව සහිත අධ්‍යාපන කාලයකින් පසුව කනිෂ්ඨ තාක්ෂණ ශිල්පියකු ලෙස බඳවා ගැනීම සිදු කරන අතර ජ්‍යෙෂ්ඨ තාක්ෂණ ශිල්පියකු ලෙස වසර 07ක අත්දැකීම් සහ පළපුරුද්ද ඇති පිරිස පමණක් ගුවන් යානා ඉංජිනේරුවන් ලෙස බඳවා ගැනීම සිදු කෙරේ. මෙයට හේතු වී ඇත්තේ වෙනත් වාහන මෙන් නොව ගුවන් යානා අහසෙහි ගමන් කරන, අධික වටිනාකමක් සහිත සංවේදී ප්‍රවාහන මෙවලමක් බැවිනි. මෙම පසුබිම යටතේ දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇත්තේ අඩු අත්දැකීම් සහ පළපුරුද්ද සහිත ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් පිරිසකි.

මෙම ගුවන් සේවය මෙසේ හිඟ ගුවන් යානා ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් පිරිසක් ගුවන් සේවය වෙත බඳවා ගැනීම සඳහා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කර ඇති අතර ඒ සඳහා අයැදුම් කිරීමට වයස අවුරුදු 50 දක්වා අවකාශය ලබා දී තිබේ. එහෙත් එම තනතුරු සඳහා ගුවන් සේවය වෙත ලැබී ඇත්තේ අයැදුම් පත්‍ර කිහිපයක්  පමණි. 

I කටුනායක ටී.කේ.ජී. කපිල