ජනාධිපතිවරණයට මේ වන විට විවිධ අපේක්ෂකයෝ සූදානමින් සිටිති. ඒ සඳහා ප්‍රධාන වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර යන මහත්වරුන් ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ කියා ඇත.
මේ වන විට ප්‍රධාන වශයෙන් කතා වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා මේ සඳහා ඉදිරිපත් වන්නේද නැද්ද යන්නයි. ඔහු ජනාධිපතිවරණය පවත්වන බවට පුන පුනා කීවත් තමන් ඒ සඳහා තරග වදින බව පවසන්නේ නැත. එහෙත් ඔහු වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා පවසන්නේ ජනාධිපතිවරයා නියත වශයෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග වදින බවයි.
මේ සඳහා වැඩිම වෙහෙසක් ගනිමින් සිටින්නේ එජාපයේ අයටත් වඩා පොහොට්ටුවෙන් කඩාගෙන එළියට ගිය පිරිසය. ඒ අතර උඩින්ම සිටින්නේ නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායමයි. ඒ පිරිස වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු යන මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ පෙනී සිටිනවා පමණක් නොව ඔවුහු ඒ සඳහා ජාඇල සහ කොළඹ රුස්වීම් දෙකක් ද පැවැත්වූහ. මෙහි සුවිශේෂීත්වය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීම සඳහා මූලිකත්වය ගත් පිරිස්ද මේ අතර සිටීමය.
මේ අතර පොහොට්ටුවේ ප්‍රධානීන් ලෙස සිටින, රාජපක්ෂ හිතවාදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රසිද්ධියේ කියා සිටියේ තවත් අවස්ථාවක් ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවය. ඒ පණිවිඩය ජනතාවටත් වඩා ඔහු දෙන්නට උත්සාහ ගත්තේ තම පක්ෂය වෙතය. ඊට හේතුව වන්නේ රාජපක්ෂවරුන් ඇතුළු ඔවුන්ට හිතවාදී අය බහුතරයක් වර්තමාන ජනාධිපතිවරයා වෙත සහාය ලබා නොදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බැවිනි. ඒ සඳහා අපේක්ෂකයා ලෙස නොනිල වශයෙන් නම් කර ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන ධම්මික පෙරේරා මහතාය. එහෙත් එය සාර්ථක වේද නැද්ද යන්න අපි නොදනිමු.
මේ අතර ලබන පස්වැනිදා ඇමෙරිකාවේ සිට පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ආපසු මෙරට පැමිණීමට නියමිතව ඇත. ඒ සඳහා විශේෂ පිළිගැනීමේ උත්සවයක් සූදානම් කර ඇති අතර ජනාධිපතිවරණයේ පළමු වෙඩිමුරය ගුවන්තොටුපළින් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි බොහෝ දෙනා පවසති. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස පැමිණ මහා ජන හරසර මැද පිටව ගියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අලුත් බලාපොරොත්තුවක් තබමිනි. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒ අදහස් පළ කළත් අද කා වෙනුවෙන් එලෙස අදහස් පළ කරයිද යන්න අප දන්නේ නැත. කෙසේ වෙතත් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් වන බවට ඉඟි පවතී.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අලුත් සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් පසුගියදා වතුකරයේ පක්ෂ සමඟ ගිවිසුම් ගතවීම සිදුවිය. එහෙත් ප්‍රධාන පක්ෂ සමඟ ගිවිසුම් ගතවීම සිදුවුණේ නැත. ඊට හේතුව වූයේ එය හදිසියේ සිදු නොකරන බවට ඇතැම් අය පැවසීමය. ඒ සන්ධාන ගතවන පිරිස් ජනපතිවරණ උණුසුම ළඟා වූ පසුව වෙනත් පක්ෂ වෙත ගියහොත් එය එතරම් යහපත් නොවන බැවිනි. මේ නිසා සන්ධානය නිර්මාණය කල් දැමීමට පිරිස තීන්දු කළහ. ඒ අතර අදාළ පක්ෂ සමඟ සමීපව කටයුතු කිරීමට ද පිරිස මෙහිදී තීරණය කළහ.
කෙසේ වෙතත් සන්ධානයකින් තොරව එකම ශුද්ධ වූ කණ්ඩායමක් ලෙස මෙවර තරග වදින්නට යන එකම අපේක්ෂකයා වන්නේ අනුර කුමාර දිසානායකය. ඔහුට විශාල ඉල්ලුමක් ඇති බවට ඔවුන් අතර ඇතිව තිබෙන විශ්වාස කටයුතු ස්ථීරත්වය මෙයට හේතු වී තිබේ. ජනතාව සාම්ප්‍රදායික දේශපාලනයට තිත තැබීම සඳහා අනුර කුමාර මහතා විකල්පයක් ලෙස තෝරාගන්නා බව ඔවුන්ගේ මතය වී ඇත. මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණේ හිරවුණු ප්‍රතිපත්ති වෙනුවට යම් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ජාතික ජනබලවේගය පියවර ගෙන තිබුණි. විශේෂයෙන් ඉන්දියානු විරෝධයක සිටි ජවිපෙ මතය බිඳ හෙළමින් ජාතික ජනබලවේගය මුහුණුවරින් ඔවුන් ඉන්දියාවට යාම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් ඉදිරිපත් කළ ද බහුතරයක් එම ගමන අගය කළහ. ඒ සිදුවෙමින් පවතින වෙනස්කම් හේතුවෙනි. ඒ නිසා ඔවුන් මැද මාවත් දේශපාලනයට පිවිස ඇති බව බොහෝ දෙනා කීහ.
මේ අතර ජනාධිපතිවරණයේදී කාගේ පැත්ත ගන්නේදැයි තවම නිශ්චිත තොරතුරක් නැති පිරිසක්ද දේශපාලනයේ සිටීම පුදුමයකි. ඒ ඩලස්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසය. ඩලස් සජබය වෙත යම් නැඹුරුවක් දැක්වුවද එය පසුව වෙනස් විය. කෙසේ වෙතත් බොහෝ දෙනා අනාවැකි පළ කරන්නේ ඔහු විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ සටන අතට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව සටන් කරන බවය. එහෙත් පුදුමය නම් ශ්‍රීලනිපය දැන් කෙමෙන් සූදානම් වන්නේ ජනාධිපතිවරයා අගයමින් ඉදිරියට යාමට වීමයි. ඒ සඳහා ශ්‍රීලනිපය විවිධ කතා කීවත් අවසානය ජනාධිපතිවරයා වෙත රුගෙන යාමේ කොන්ත්‍රාත්තුව මන්ත්‍රීවරුන් විසින් බාරගෙන ඇත. ශ්‍රීලනිපය දැන් සිටින්නේ මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී යන තැනය.
මේ වන විට ජනාධිපතිවරණය සඳහා විශාල පිරිසක් සූදානමින් සිටින බව පෙනුණත් සියල්ල තීරණය වන්නේ එළැඹෙන අප්‍රේල් මාසයේය. ජනාධිපතිවරයා යම් හෙයකින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගියහොත් බොහෝ අයගේ බලාපොරොත්තු වෙනස් වනු ඇත. ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 18ත් ඔක්තෝබර් 18ත් අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කළේය. එහෙත් ඊට කුමක් සිදුවේද යන්න දැනගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවනු ඇත. ක්‍රීඩකයන් සූදානම් වුවත් පිච් එක ලෑස්තිද යන්න අප්‍රේල් මාසය තුළදී දැනගත හැකිවනු ඇත.
I ගයාන් ගාල්ලගේ